ජොන්ස්ටන්ට එරෙහි නඩු 5ක් යළි විභාග කරන්න – අභියාචනාධිකරණයෙන් මහාධිකරණයට නියෝග

0
ජොන්ස්ටන්ට එරෙහි නඩු 5ක් යළි විභාග කරන්න - අභියාචනාධිකරණයෙන් මහාධිකරණයට නියෝග

ජොන්ස්ටන්ට එරෙහි නඩු 5ක් යළි විභාග කරන්න - අභියාචනාධිකරණයෙන් මහාධිකරණයට නියෝග

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සේවකයන් රාජකාරි නොවන කටයුතු සඳහා යොදවා සංස්ථාවේ මුදලින් වැටුප් හා අතිකාල දීමනා ගෙවීමෙන් රජයට රුපියල් මිලියන 60කට ආසන්න පාඩුවක් කිරීමේ චෝදනාව යටතේ හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරනු ලැබ තිබූ නඩු 05ක් නැවත විභාගයට ගන්නා ලෙස අභියාචනාධිකරණය ඊයේ (04) නියෝග කළේය.

එම නඩු 5ම මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමටද පංචපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (04) නියම කළහ.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාරත්නම්, දමිත් තොටවත්ත, කේ.එම්.එස්. දිසානායක, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ඒ. ප්‍රේමශංකර් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංචපුද්ගල විනිසුරු මඬුල්ල අදාළ නියෝගය නිකුත් කළහ.

ඉන් එක් නඩුවකින් හිටපු ඇමැතිවරයා නිදහස් කරමින් මහාධිකරණය මින් පෙර දුන් තීන්දුව පංචපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (04) බලරහිත කළහ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහාධිකරණයට ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් ඔවුන් නිදොස් කර නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කිරීමටද පංචපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියම කළහ.

අල්ලස් කොමිසම සහ විත්තිකරුවන්ගේ නීතිඥවරුන් ගොනු කර තිබූ අභියාචන පෙත්සම් පහක් විමසා බැලීමෙන් අනතුරුව පංචපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල එලෙස නියම කළහ.

මීට වසර 16කට පමණ පෙර කරන ලද බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් නමැත්තන්ට එරෙහිව පවරා ඇති නඩු පහම විභාග කිරීමට එලෙස නියම කෙරිණි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහාධිකරණයට ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් විත්තිකරුවන් නිදොස් කර නිදහස් කිරීමට මහාධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් අල්ලස් කොමිසම එක් පෙත්සමක් ගොනු කර තිබූ අතර, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් තමන් මහාධිකරණයට ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණය දුන් නියෝග ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් විත්තිකාර පාර්ශ්වය ද පෙත්සම් හතරක් ගොනු කර තිබිණි.

නීතිමය ගැටලු මත අල්ලස් කොමිසම සහ විත්තිකාර පාර්ශ්වය වෙන වෙනම ඉදිරිපත් කර ඇති පෙත්සම් පහ ඒකාබද්ධව පංචපුද්ගල විනිසුරු මඬුල්ල විසින් සලකා බලන ලදි.

පෙත්සම් විභාග කෙරුණු අවස්ථාවේදී දෙපාර්ශ්වයේ නීතිඥවරුන් දීර්ඝ වශයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විත්තිකරුවන්ට එරෙහි නඩු විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තියේ මූලික විරෝධතාව පිළිගනිමින් විත්තිකරුවන් නිදොස් කරමින් දුන් නියෝගය දෝෂ සහිත බව තීරණය කළ පංචපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල එම මහාධිකරණ තීන්දුව ප්‍රතිශෝධනය කිරීමට තීන්දු කළහ.

විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණය දුන් නියෝග නිවැරදි බව තීරණය කළ පංචපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල, මහාධිකරණ නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් විත්තිකාර පාර්ශ්වය ගොනු කර තිබූ පෙත්සම් හතර නිෂ්ප්‍රභ කිරීමට ද තීරණය කළහ.

අල්ලස් කොමිසම වෙනුවෙන් සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය පෙනී සිටියාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com