ශ්‍රී ලංකා AI සතිය 2026 නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
සලේ වෙනුවෙන් සත්‍යග්‍රහය කළ පිරිසට අධිකරණ අපහාස චෝදනා
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කරමින්, කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ තාක්ෂණික බලවතෙකු ලෙස රට ඉදිරියට ගෙන යාමේ ජාතික වැඩසටහන වන “ශ්‍රී ලංකා AI සතිය 2026” (Sri Lanka AI Week 2026) පිළිබඳ නිල මාධ්‍ය හමුව අද (05)පැවැත්විණි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech Sri Lanka සහ SLT-MOBITEL ආයතනය එක්ව සංවිධානය කරන මෙම සුවිශේෂී ජාතික වැඩසටහන එළඹෙන 2026 සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 04 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම මාධ්‍ය හමුවේදී ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා විසින් “Sri Lanka AI Week 2026” නිල වෙබ් අඩවිය එළිදක්වන ලදී. එහිදී නිල ප්‍රධාන දේශනය සිදුකළ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පෙන්වා දුන්නේ, ගල් යුගයේ සිට තොරතුරු යුගය දක්වා පැමිණි මානව සංවර්ධනය මේ වන විට “IQ යුගය” (IQ Era) වෙත සංක්‍රමණය වී ඇති බවයි. ගෝලීය තාක්ෂණික සේවාවන්හි හුදෙක් පාරිභෝගිකයෙකු පමණක් නොවී, AI තාක්ෂණය තුළින් සක්‍රීය නිෂ්පාදකයෙකු බවට ශ්‍රී ලංකාව පත්විය යුතු බවත්, ඩොලර් බිලියන 5 ක අපනයන ආදායම් ඉලක්කය සපුරා ගැනීමට නම් දේශීය IT ක්ෂේත්‍රය පර්යේෂණ සහ සංවර්ධන (R&D) සමඟ මුසු වූ AI හැකියාවන්ගෙන් බලගැන්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
තවද, 2025 වසරේ පැවැත්වුණු ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනයෙන් සහ සමුළුවෙන් ලබාගත් සාර්ථක පළපුරුද්ද පදනම් කරගනිමින්, මෙවර කලාපීය සහ ගෝලීය හවුල්කරුවන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන වඩාත් පුළුල් ලෙස සංවිධානය කර ඇත. මෙවර “AI Amplified” තේමාව යටතේ ජාත්‍යන්තර සමුළුවක් (Conference), තාක්ෂණික ප්‍රදර්ශනයක් (Exhibition) සහ දේශීය නවෝත්පාදකයින් ඇගයීමේ සම්මාන උළෙලක් (Award Ceremony) ලෙස මෙය වඩාත් පුළුල්ව පැවැත්වේ.
කොළඹට පමණක් සීමා නොවී සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි නව පරපුර AI තාක්ෂණය වෙත යොමු කිරීමත්, DIGIECON 2030 සහ SLUDI ව්‍යාපෘති හරහා ශක්තිමත් කෙරෙන ස්වෛරී ඩිජිටල් යටිතල පහසුකම් මත පදනම්ව ජාතික AI ආයතනයක් (National AI Institute) පිහිටුවීමත් අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුව ඇමතූ SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා සඳහන් කළේ, මේ වසරෙහි SLT සමාගමේ විශාලතම AI පරිවර්තනය සිදුවන බවයි. ඒ අනුව 5G ජාල ව්‍යාප්තිය වේගවත් කිරීම, IP යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ AI දත්ත මධ්‍යස්ථාන (AI Data Centers) ඉහළ මට්ටමකට යාවත්කාලීන කිරීම මඟින් ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රමුඛ AI කලාපීය මධ්‍යස්ථානයක් (Regional AI Center) ලෙස ස්ථානගත කිරීමට SLT-MOBITEL පූර්ණ දායකත්වය ලබාදෙන බව ඔහු පැවසීය.
අමාත්‍යාංශ ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති වරුණ ශ්‍රී ධනපාල මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ GovTech Sri Lanka සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා සහ SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා ද මෙහිදී අදහස් දැක්වීය. මීට අමතරව ළමා ආරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් ‘Child Friendly Internet’ හි නිර්මාතෘ තීක්ෂණ කුමාර මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
මෙම නිල මාධ්‍ය හමුවේදී ‘AI Hub’ සහ ‘SMART AI’ යන නව වැඩසටහන් ද නිල වශයෙන් එළිදක්වන ලද අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech, SLT-MOBITEL, විශ්වවිද්‍යාල, නවෝත්පාදකයින් සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්ගේ ඒකාබද්ධ දායකත්වයෙන් පැවැත්වෙන මෙම “Sri Lanka AI Week 2026” හරහා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛතම AI තාක්ෂණික මධ්‍යස්ථානයක් ලෙස ජාත්‍යන්තර තලයේ ස්ථානගත කිරීමට අපේක්ෂා කෙරේ.




