ISIS කියා පිළිගන්නා තුරු කවියා රඳවා තබාගැනීමට පොලිසිය සමග උසාවිය එකඟවෙයි

අන්තවාදී අදහස් දරමින් ISIS සංවිධානයට ලැදිව කටයුතු කළ බවට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට (CTID) අවශ්‍ය ආකාරයට පාපොච්චාරණයක් ලබා දෙනතුරු, මුස්ලිම් ජාතික තරුණ කවියකු නඩු ඇසීමකින් තොරවම රැඳවුම් භාරයේ තබන්නට අධිකරණය ඉඩ දී තිබේ.

කොළඹ අංක 8 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා විසින් එවැනි නියෝගයක් නිකුත් කොට තිබෙන්නේ CTID ය විසින් අත්අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කලක් රැඳවුම් භාරයේ තබාගෙන සිටින මන්නාරම, සිලාවතුර පදිංචි දෙමළ භාෂා ගුරුවරයකු මෙන්ම කවියකුද වන මුහම්මදු අහ්නාෆ් මුහම්මදු ජසීම් පිළිබදව අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබුණු අංක බී / 44230/8/20 දරණ නඩුවට අදාල පොලිස් වාර්තාවෙන් කරන ලද ඉල්ලීමට අවසර දෙමිනි.

අත් අඩංගුවේදී ඔහු ශාරීරික හා මානසික වධයටද ගොදුරු වී තිබේ.

මන්නාරමුදු අහ්නාෆ් ලෙසින් දෙමළ පාඨකයන් අතරේ ප්‍රකට 26 හැවිරිදි කවියා රඳවා තැබීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්සන් කළ නියෝගය අධිකරණය හමුවේ අභියෝගයට ලක්ව තිබේ.

“මගේ පුතා අවුරුද්දකට ආසන්න කාලයක් රඳවාගෙන ඉන්නවා. ඔහුම කිසිම විදිහක අන්තවාදී අදහස් දරන්නෙක්වත්, අනුන්ට හානියක් කරන්න හිතන කෙනෙක්වත් නෙවෙයි,” ඔහුගේ පියා වන අබ්දුල් ගෆූර් මුහම්මදු ජසීම් ජේඩීඒස් සමග ප්‍රකාශ කළේය.

“එයා කවි ලියන්නත්, සාහිත්‍යයටත් ළැදි දරුවෙක්. එයාගේ නිර්මාණවලින් එයා කතාකළේ සාමයත්, සමාජ වගකීමත් ගැනයි. එයාගේ පවුලේ අය විදියට අපිට ඒක සහතික කරලා කියන්න පුළුවන්. මේ වගේ කරදර වැඩි කාලයක, එයාව මේ විදියට හේතුවක් නැතිව රඳවාගෙන ඉඳීමෙන් අපේ වේදනාවට හේතුවක්” යැයි ඔහු කීය.

JDS වෙත මෑතදී පිටපතක් ලැබී ඇති CTID ය විසින් පසුගිය වසරේ දෙසැම්බර් 11 දින ඉදිරිපත් කොට තිබුණු එම බී වාර්තාවේ සඳහන් වන්නේ අන්හාෆ් ජසීම් මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් කිරීමට කැමැත්තෙන් සිටින බවකි.

නොකරන ප්‍රකාශයකට තර්ජන

”තවද සැකකරු 2012 වසරේ සිට 2019 වසර දක්වා බේරුවල පිහිටි ජලියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයට ඇතුළත්ව අධ්‍යාපනය ලබා ඇති කාලය තුළ දි මුස්ලිම් අන්තවාදි මතවාදවලට යොමුවි අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා ඇතිවු කැමැත්ත මත මුස්ලිම් අන්තවාදයට යොමුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සැකකරු විසින් ගරු අධිකරණය වෙත ප්‍රකාශයක් ලබා දීමට කරන ලද ඉල්ලීම මත සැකකරු අ.න.වි.ස 127 වගන්තිය ප්‍රකාරව අද දින ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරන අතර සැකකරුගේ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලා ප්‍රකාශය සටහන් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි,” යනුවෙන් බී වාර්තාවේ සඳහන් වේ.

නීතීඥ සංජය විල්සන් ජයසේකර

අහ්නාෆ් අධිකරණ හමුවේ සිය කැමැත්තෙන් ප්‍රකාශයක් ලබා දීමට සුදානම් බව CTID ය බී වාර්තාවක් මගින් අධිකරණයට පවසා තිබුණද ඔහු විසින් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සඳහා කැමැත්ත එම කොට්ඨාශයේ නිලධාරින් හමුවේ ප්‍රකාශ කොට නොමැත. එය හුදෙක්ම අහ්නාෆ් ට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන ව්‍යාජ චෝදනා අධිකරණය හමුවේ සනාථ කිරීමට මාස ගණනක් තිස්සෙම නොහැකි වූ කල ගොතන ලද්දක් බවට ඔහුගේ නීතිඥයෝ තහවුරු කරති. එමෙන්ම ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කොට තිබෙන චෝදනා මෙන්ම, අන්තවාදී අදහස් දරමින් කටයුතු කළ බව පවසා අධිකරණය හමුවේ ප්‍රකාශයක් කිරීමට තමන් එකඟ වී ඇතැයි යන වාර්තා ද අහ්නාෆ් විසින් සිය නීතිඥවරයා හමුවේ දැඩිව ප්‍රතික්ෂේප කොට තිබේ.

”අහ්නාෆ් චෝදනා පිළි අරන් මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ ස්ව කැමැත්තෙන් කිසිම ප්‍රකාශයක් කරන්න කැමති වෙලත් නෑ, එහෙම කරන්න ඕනේ කියලා CTID යේ නිලධාරින් එක්ක කියලත් නෑ. මම ඒක ඉතාම වගකීමෙන් කියනවා,” යි අහ්නාෆ් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින නීතිඥ සංජය විල්සන් ජයසේකර ජේඩීඑස් හා පැවසීය.

”CTID ය අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන බී වාර්තාවේ තියෙන ප්‍රකාශයක් දෙන්න කැමැත්තෙන් ඉන්නවාය කියන කතාව අමු බොරුවක්. අහ්නාෆ් ට විරුද්ධව ගොතලා තියෙන චෝදනා ටික ඔප්පු කර ගන්න ක්‍රමයක් නැතුවයි ඒ ගොල්ලෝ ඉන්නේ. ඒ නිසාම තමයි මාස ගානක් රඳවගෙන ඉඳලා දැන් ඔය විදියට වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක නීතිය අමු අමුවේම උල්ලංඝණය කිරීමක්. නමුත් ගැටළුව තමයි අධිකරණයත් මේ තත්වය සැලකිල්ලට අරන් නැති එක,” යි නීතිඥ සංජය විල්සන් වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රසන්න ද අල්විස්ගේ තර්ජනය

තමන් අපරාධකරුවකු කරන ප්‍රකාශයක් දීම කිවියර අහ්නාෆ් විසින් ස්ථිරව ප්‍රතික්ෂේප කරන ලද විට ඔහු නම්මා ගැනීම වෙනුවෙන් CTID යේ ප්‍රධානියාම ඔහුගේ පියාට තර්ජනය කර තිබෙන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ මඩුල්ලක් විසින් අප්‍රේල් 10 දා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක කියැවේ.

“ඔහේගේ පුතා නලීමියා එකේ ඉන්දැද්දී තමයි (මුස්ලිම්) අන්තවාදය ඉගෙනෙගෙන තියෙන්නේ. ඔහේගේ පුතා ඒගොල්ලන්ට අන්තවාදය ඉගැන්නුවා කියලා 15 කට වැඩිය ශිෂ්‍යයෝ ප්‍රකාශ දීලා තියෙනවා. පුතා ඉගෙනගත්තු තරුණයෙක්. එයාට තාම 24යි. එයාට දීප්තිමත් අනාගතයක් තියෙනවා. මිනිහා මං කියන එක කිව්වොත්, මම එයාව රජයේ සාක්කිකරුවෙක් කරලා නිදහස් කරන්නම්. නැතිනම්, එයාට තව අවුරුදු 10ක් 15ක් රිමාන්ඩ් එකේ ඉන්න වෙයි,” යනුවෙන් CTID අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස් කවියාගේ පියා වන අබ්දුල් ගෆුර් මොහම්මදු ජසීම් බිය ගැන්වූ බව පෙත්සමේ සඳහන් වේ.

අහ්නාෆ් ජසීම් රඳවා තබාගැනීම සඳහා පළමුවෙන්ම නිකුත් කළ නියෝගයේ වලංගුභාවය අභියෝගයට ලක් කරන නීතිඥයන් පෙන්වා දෙන්නේ ආරක්ෂක අමාත්‍යවරයකු හැර වෙන කිසිවකුට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් අත්සන් කිරීමේ බලයක් නැති බව ය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරයකු නොසිටි 2020 මැයි 19 වැනිදා එම නියෝගය අත්සන් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

“ජනාධිපතිවරයා මෙම රඳවා තබා ගැනීමේ නියෝගය අත්සන් කරන්නේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද යන්න රඳවා තබා ගැනීමේ නියෝගයේ සඳහන් නොවේ,” යි මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා තිබේ.

“මන්ද, ඔහුට එය කළ නොහැකි හෙයිනි. කෙසේ වෙතත්, අහ්නාෆ් ජසීම් අත් අඩංගුවට ගන්නා වකවානුවේ, එකල ව්‍යවස්ථාවේ 43 (2) වගන්තිය යටතේ සලසා දී ඇති ප්‍රතිපාදන අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් කිසිදු ආරක්ෂක අමාත්‍යවරයකු පත් කොට තිබුනේ නැත.”

CTID අත්අඩංගුවේ දී අහ්නාම් ජසීම් වධහිංසාවට ගොදුරු වූ බවද පෙත්සමේ දැක්වේ.

“අත් අඩංගුවට ගත් දවසේ සිට සති දෙකක් පමණ ගතවන තුරු ඔහු සැම විටම පුටුවකට අල්ලා මාංචු දමා තිබුණි,” යි මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වේ.

“ඉන් අනතුරුව, ඔහු මාංචු දමා සිටි කාලය අඩු කරන ලදී. කෙසේ වෙතත්, ඔහු වැඩිපුරම සිටියේ පුටුවට අතකින් මාංචු දමන ලදුව හෝ දෑතටම මාංචු දමා ය. නිදාගන්නා විට පවා ඔහුගේ අතක් මේසයකට මාංචු දා තිබුණි. මෙය ඔහුට මහත් වේදනාකාරී වී තිබෙන අතර ඒ බව තුන්වැනි වගඋත්තරකරු යටතේ ඉන්නා නිලධාරීන්ට කිහිප වතාවක් පැමිණිලි කර තිබේ.”

තුන්වැනි වගඋත්තරකරු නම්, CTID අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස් ය.

අහ්නාෆ් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටීම අභියෝගයට ලක් කරමින් ගොනු කොට තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන් වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, පොලිස්පති, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ ත්‍ර.වි. කොට්ඨාශයේ වවුනියා ඒකකයේ පොලිස් පරික්ෂක කේ.කේ. ජේ අනුර ශාන්ත සහ නීතිපතිවරයා ය.

”පොලිසිය ඉල්ලන ප්‍රකාශය දුන්නොත් අන්හාෆ්ව ඉතා පහසුවෙන් වෙන කිසිම සාක්ෂියක් නැතුව වුණත් තමන්ට උවමනා විදිහට හිර කරන්න පුලුවන් කියලා CTID ය දන්නවා ඔහු කරන්න කැමති නැති ප්‍රකාශයක් බලහත්කාරයෙන් හරි ගන්න බලන්නේ ඒකයි,” නීතිඥ විල්සන් පැවසීය.

2020 මැයි මස 16 දින අත්අඩංගුවට ගනු ලැබූ අහ්නාෆ්ට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන චෝදනා වන්නේ ගොඩනැගිල්ලක් තුළ අන්තවාදී දේශනා පැවැත්වීම, අන්තවාදී වීඩියෝ දර්ශන පෙන්වීම හා අන්තවාදී කරුණු ඇතුළත් නවරසම් නමැති කාව්‍ය ග්‍රන්ථයක් මුද්‍රණය කොට සිසුන් හා වෙනත් සංවිධානවලට බෙදා හැරිම යන ඒවා ය.

නීතිඥ විල්සන් පවසන්නේ මේ සියළු චෝදනා කිසිදු පදනමක් නැතිව ගොතන ලද ඒවා බව ය. ත්‍රස්ත විමර්ශනයේ නිලධාරින් නිර්දෝෂී තරුණ කවියකු අපරාධකරුවකු බවට පත් කොට සිරකිරීම සඳහා ක්‍රමන්ත්‍රණකාරි ලෙස කටයුතු කරමින් සිටින බවට තවත් විස්තර ද ඔහු ජේඩීඑස් හා අනාවරණය කර සිටියේය.

ISIS විරෝධී කවි

”ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අහ්නාෆ්ට විරුද්ධව දාලා තියෙන චෝදනා ගැන ඇහුවට පස්සේ ඔහු මට කිවුවේ එයා කවදාවත් අන්තවාදය ඉගෙන ගෙනත් නෑ, ළමයින්ට උගන්වලත් නෑ කියලායි. ඔහු අවංක, අහිංසක තරුණ කවියෙක්. අහ්නාෆ් ලියලා තියෙන ‘නවරසම්’ කියන කවි පොතේ තියෙන්නේ අන්තවාදයට විරුද්ධ කවි; අයිසිස් සංවිධානයට විරුද්ධ කවි. ඔහු උගන්වපු පාසැලේ දරුවන්ට අන්තවාදය ගැන විඩියෝ දර්ශන පෙන්නුවාය කියන චෝදනාවත් සම්පූර්ණ බොරුවක්. ඒකයි මම කියන්නේ මේක අහිංසකයෙක්ව හිරේ දාන්න සැලසුම් සහගතව කරන දෙයක් කියලා,” නීතිඥ සංජය විල්සන් අවධාරණයෙන් කියා සිටියේය.

‘නවරසම්’ කාව්‍ය සංග්‍රහය

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් විසින් අහ්නාෆ් පළමුවරට අධිකරණය හමුවට පමුණුවා ඔහු සම්බන්ධයෙන් ‘ බී ‘ වාර්තාවක් ඉදිරිපත් කොට තිබෙන්නේ අත්අඩංගුවට ගෙන මාස 7 ට පසුව ය. ඒ ඉහතින් උූපුටා දක්වන ලද ‘බී’ වාර්තාවයි. රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින යම් තැනැත්තකු පිළිබඳව සිදුකරන විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින යමකු වුවද ඒ ආකාරයෙන්ම අධිකරණය හමුවට පැමිණ වීම අනිවාර්ය වන්නේ ය. නමුත් අහ්නාෆ් සම්බන්ධයෙන් CTID ය එවැනි පිළිවෙතක් අනුගමන කොට නොමැති අතර, දිගින් දිගටම විලංගු ලා ශාරීරිකව සහ මානසිකව වධහිංසාවන්ට ලක් කරමින් තමන්ට අවශ්‍ය ප්‍රකාශය ල‌බා වෙනුවෙන්ම සිරකර තබා ගෙන තිබේ.

CTID ය එසේ නීති විරෝධිව කටයුතු කරමින් සිය භාරයේ සිටින සැකකරුවකුව අධිකරණයට හෝ ඉදිරිපත් නොකොට රඳවා තබා ගෙන සිට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද සැනින්ම ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ වාර්තාව අනුමත කරමින්ම මහෙස්ත්‍රාත්වරයා විසින් ඉඩ ලබා දී තිබෙන්නේ ඔවුන් විසින් පවසන ප්‍රකාශයකට අහ්නාෆ් එකඟවී එය ලබා දෙන දිනෙක පමණක් ඔහු අධිකරණය හමුවට පමුණුවන ලෙසට ය.

ප්‍රසන්න ද අල්විස්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනකුට 1998 තරම් ඈත කාලයක පටන් වධහිංසා දුන් බවට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් චෝදනා ලබා සිටින අයෙකි.

නඩු නැති සැකකරුවෙක්

”මේක හරි පුදුම තත්ත්වයක්. මේ නියෝගයත් එක්ක අපි දන් නෑ අහ්නාෆ් ව ආයේ කවදා උසාවියට ඉදිරිපත් කරයිද කියලා. ඔහුගේ නඩුව කැඳවලා අධිකරණය හමුවට පමුණුවන්න කියලා ඉල්ලන්න දැන් තියෙන එකම අවස්ථාව තමයි මෝසමක් ඉදිරිපත් කරන එක. ප්‍රායෝගිකව ගත්තාම සැරෙන් සැරේ මෝසම් දදා පුද්ගලයෙක්ව අධිකරණය හමුවට පමුණුවන්න, ඔහුගේ නඩුව කැඳවන්න කියලා ඉල්ලන එක තරමක් අපහසු වැඩක්. නීතිඥවරයා හැටියට මම අහ්නාෆ් ව අන්තිමට මුණ ගැහුනේ පහුගිය මාර්තු 08 වැනිදායි. එදායින් පස්සේ සිද්ධ වුණ දේවල් මට දැන ගන්න කිසිම විදිහක් නෑ. අධිකරණයත් හවුල් කරන් CTID ය කරන්න හදන දේ මේ සිදුවීම්වලින්ම පැහැදිලියි වෙනවා”යි නීතිඥ සංජය විල්සන් ජයසේකර පැවසීය.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙයට පෙර ලබා දී තිබෙන නෛතික අර්ථ නිරුපණයන්ට අනුව කවර හෝ සැකකරුවකු හැකි ඉක්මනින් අධිකරණය හමුවට පමුණුවන ලෙස පොලිසියට නියෝග කිරීමේ බලයක් මහේස්ත්‍රාත්වරුන්ට හිමි වන්නේ ය. එය ත්‍රස්ත විමර්ශන පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින සැකකරුවන් සම්බන්ධයෙන්ද නොවෙනස් නීතියකි. ගැටළුව වන්නේ එවන් නියෝග පවා නොසලකා හරිමින් කොළඹ අංක 8 මහේස්ත්‍රාත් අධිකරණයේ, මහේස්ත්‍රාත්වරයා කටයුතු කරන්නේ ඇයිද යන්න ය.

අහ්නාෆ් ව්‍යාජ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමේ සැබෑ අරමුණ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විටත් රැඳවුම් භාරයේ රඳවාගෙන සිටින ප්‍රකට නීතිඥ හිජාස් ඔමර් හිස්බුල්ලහ් ට එරෙහිව ගොනු කොට ඇති, ඔප්පු කොට ගත නොහැකි චෝදනාවන්ට සාක්ෂි රැස් කිරීම සඳහා ය. ඒ සඳහා කායික සහ වදහිංසාවන්ට භාජනය කරමින් අහ්නෆ් ව සිරකොට සිටින අතර, යම් හෙයකින් ඔහුගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට අවශ්‍ය ආකරයේ ප්‍රකාශයක් ලබා ගැනීමට හැකි වුවහොත් එමගින් හිස්බුල්ලාහ් ව සහ අහ්නාෆ් යන දෙදෙනාවම සරරකළ හැකි බවට CTID ය විශ්වාස කරන බැව් පෙනෙන්නට තිබේ.

නිහඬ මානව හිමිකම් කොමිසම

සිය පුත්‍රයා වන මුහම්මදු අහ්නාෆ් මුහම්මදු ජසීම් ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් නොකොට රඳවා තබා ගෙන සිටීමට එරෙහිව අහ්නාෆ් ගේ පියා විසින් අංක MM 029/2020 යටතේ පසුගිය වසරේ මැයි මස 22 ත්, ඒ පිළිබඳව ‌සිදු කෙරෙන්නාවු විමර්ශනයන් ගැන විමසමින් 2021 මාර්තු මස 16 දින නීතිඥ සංජය විල්සන් ජයසේකර විසිනුත් ජාතික මානව හිමිකම් කොමිසම වෙත ලිඛිත පැමිණිලි ඉදිරිපත් තර තිබුණි. නමුත් පුදුමය වන්නේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් අහ්නාෆ්ගේ පියාට හෝ නීතිඥවරයා වන සංජය විල්සන් ජයසේකරට හෝ මේ දක්වා කිසිදු පිළිතුරක් මානව හිමිකම් කොමිසම වෙතින් නොලැබීමය. ඒ වෙනුවට කොමිසම විසින් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් අහ්නාෆ් සම්බන්ධයෙන් කරණු ලැබු පැමිණිල්ලක් උපුටා දක්වමින් ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටීම පිළිබඳව කරුණු විමසා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය වෙත ලිපියක් යොමු කිරීම ය. කොමිසමේ ලේකම්වරයකු වන ටී.ඩී විමලසුරිය එයින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ගෙන් ඉල්ලා තිබුනේ අහ්නාෆ් සම්බන්ධ වාර්තාවක් අප්‍රේල් 8 වැනිදාට පෙර ෆැක්ස් මගින් ඉදිරිපත් කරන ලෙසය.

එම වාර්තාව සම්පාදනය කරන ලද බවක් පොලිසිය හෝ කොමිසම විසින් මේ තාක් හෙළි කොට නැත.☐

-jdslanka

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *