ලංකාවේ ආදි මානවයන්ගේ ගුහා චිත්‍ර ලෝක අවධානයට

ලංකාවේ ආදි මානවයන්ගේ ගුහා චිත්‍ර ලෝක අවධානයට

ලංකාවේ ආදි මානවයන්ගේ ගුහා චිත්‍ර ලෝක අවධානයට

ප්‍රාග් ඓතිහාසික යුගයේ අපේ ආදි මුතුන් මිත්තන්ගේ පළමු සන්නිවේදන උත්සාහයන් අප හඳුනා ගන්නේ කෙසේ ද? ඊට ඇති හොඳම සහ ප්‍රමුඛ සාධකය වන්නේ “Rock Art” හෙවත් පර්වත චිත්‍රයි.

පුරාවිද්‍යාඥයෝ ලොව පුරා ඇති පර්වත ගුහා චිත්‍ර කියවා ගැනීමට හා සංරක්ෂණය කිරීමට විශාල මහන්සියක් දරති. රොක් චිත්‍ර කලාව සංරක්ෂණය කිරීම සඳහා කැප වූ සංවිධාන රාශියක් තිබේ. ඒ අතර බ්‍රැඩ්ෂෝ (Bradshaw Foundation) පදනමට විශේෂ ස්ථානයක් හිමිවේ.

බ්‍රැඩ්ෂෝ පදනම ශ්‍රී ලංකාවේ පර්වත සිතුවම් කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමුකර තිබේ. ඒ සඳහා ඔවුන් තෝරාගෙන තිබෙන්නේ මෙරට ප්‍රමුඛ පුරාවිද්‍යාඥයෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ පර්යේෂණ මගින් ලොවට හෙළිකළ පර්වත චිත්‍ර රැසකි. bradshawfoundation.com වෙබ් අඩවියෙන් ශ්‍රී ලංකාවේ පර්වත සිතුවම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ එකතුව දැන් නැරඹිය හැකිය.

අප ජීවත් වන යුගයට වඩා මුළුමනින් ම වෙනස් වූ යුගයක අදට වඩා හාත්පසින් ම වෙනස් මෙවලම් භාවිතයෙන් පර්වත සිතුවම් නිර්මාණය කර තිබෙන ආකාරය විස්මය දනවන්නේ ය.

බ්‍රැඩ්ෂෝ පදනම අනාගත පරපුර උදෙසා පර්වත චිත්‍ර ආරක්ෂා කිරීමට ඉන්ටර්නෙට්හි ලේඛනාගාරයක් පවත්වා ගනී. ගුහා සිතුවම් ගවේෂණය කිරීමටත් සංරක්ෂණයට හා වර්තමාන පරපුරට අවශ්‍ය ශිල්පීය නිපුණත්වය ලබාදීමත් එම වැඩපිළිවෙළට අයත්ය. ග්‍රැෆික් නිර්මාණය, දෘශ්‍ය සන්නිවේදනය, චිත්‍රපට නිර්මාණය, සංරක්ෂණය හා සමාජ මාධ්‍ය ව්‍යාප්තිය ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ එම කටයුතු සිදුවේ. පුරාවිද්‍යාව, මානව විද්‍යාව සහ ජාන පර්යේෂණ බ්‍රැඩ්ෂෝ පදනමේ අවධානය යොමුවූ ප්‍රමුඛ අංග වේ. යුනෙස්කෝව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් පදනම හා සහයෝගයෙන් කටයුතු කරති.

ශ්‍රී ලංකාවේ පර්වත සිතුවම් හා කැටයම් සම්බන්ධව කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පුරාවිද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව විසින් සිදුකළ පර්යේෂණයන්ගෙන් හෙළි කරගත් සිතුවම් බ්‍රැඩ්ෂෝ පදනමේ වෙබ් අඩවිය මගින් මෙලෙස ජනගත කර තිබේ. ශ්‍රී ලංකාවේ රොක් සිතුවම් සහ කැටයම් අඩවි යන ඔහුගේ ප්‍රකාශනය 2013දී හොඳම ශාස්ත්‍රීය ප්‍රකාශනය (ඉංග්‍රීසි) සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත්තේ ය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පාෂාණ සිතුවම් සහ කැටයම් ස්ථාන පිළිබඳ විධිමත් ලියකියවිලි සකස් කිරීම ආරම්භ කරන ලද්දේ 2011 වසරේ ය. ඔහු විසින් වාර්තා කර ඇති කැටයම් සලකුණු සහිත බොහෝ පර්වත පිහිටා තිබෙන්නේ මිනිසුන්ගේ පාසටහන් නොලබන ගන වනාන්තර තුළ සහ ගමන් කළ නොහැකි අසීරු ගිරිදුර්ගවලය. ඒවා ආරක්ෂා වීමට ද දුෂ්කර ස්ථානවල පැවැතීම හේතු වී තිබේ.

බ්‍රැඩ්ෂෝ පදනම එළිදැක්වූ මහාචාර්ය රාජ් සෝමදේවගේ පර්වත සිතුවම් එකතුවට ‍දොරවක ලෙන, කිරි පොකුණ හෙල, ලිහිණියාගල, ස්ත්‍රීපුර රජගල, සංගමන් කන්ද, තරු ලෙන්ගල, සිතුල්පව්ව, තන්තිරිමලේ, වෙට්ටම්බුගල ආදී ස්ථාන රැසක් අයත් වේ.

පර්වත චිත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අවධානය දිනාගත් වැදගත් අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකිය. තවමත් හඳුනා නොගත් පර්වත චිත්‍ර ගැන ශ්‍රී ලාංකේය සමාජය තුළ අලුත් උනන්දුවක් ඇතිවීමට ද මෙය හේතුවනු ඇත.

– MB

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *