ප්‍රහාරයෙන් පැය කීපයක් තුළ සහරාන්ගේ ප්‍රතිඥාව ලොවටම බෙදූ අන්තවාදියා අත්අඩංගුවට

TIDයෙන් ප්‍රශ්න කිරීම් දිගටම

පාස්කු ප්‍රහාරය එල්ල කර පැය කිහිපයකට පසුව සහරාන් හෂීම් විසින් පුද්ගලයන් පිරිසක් සමඟ යම් ප්‍රතිඥාවක් දෙන වීඩියෝව අන්තර්ජාලයට මුදාහළ පුද්ගලයා ඇතුළු සහරාන්ගේ අන්තවාදී මත ප්‍රචාරණ කටයුතු කළ තවත් පුද්ගලයන් 03 දෙනකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් පෙරේදා (31) අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (31) ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් එක් අයෙක් විසින් එම වීඩියෝව හා ඡායාරූපය අන්තර්ජාලයට මුදාහැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාද අන්තර්ජාලය හරහා විකාශනය කිරීම සම්බන්ධයෙන් මොවුන් කොළඹදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර, අනෙක් පුද්ගලයා 32 හැවිරිදි තිහාරියේ පදිංචි අයෙකි.

මොවුන් විසින් ‘වන් උම්මා‘ නමින් වට්ස් ඇප් කණ්ඩායමක් නිර්මාණය කරමින් අන්තවාදී මතවාද කටාර් රාජ්‍යයේ සිට විවිධ ආකාරයෙන් ප්‍රචාරය කර තිබෙන බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ පුද්ගලයන් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් කටාර් රාජ්‍යයේ රැකියා කර තිබේ. පසුව ශ්‍රී ලංකා පොලිසිය විසින් කරන ලද දැනුම් දීමක් අනුව නොවැම්බර් 21 වැනිදා ඔවුන් කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවා ඇත.

2018 වසරේ අවසන් කාලයේදී මුතූර් ප්‍රදේශයේදී අන්තවාදී පන්ති පවත්වාගෙන යෑමට පහසුකම් දීමේ චෝදනාව මත පෙරේදා (31) දිනයේදී තවත් පුද්ගලයන් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මුතූර් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි හා 38 හැවිරිදි පුද්ගලයන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සහරාන් හෂීම්ගේ අනුගාමිකයන් විසින් 2018දී සාමාන්‍ය පෙළ අවසන් කළ මුස්ලිම් දරුවන් සඳහා එලෙස පන්ති පවත්වා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයන් සිව්දෙනාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *