අනුමැතියක් නැති චීන ” Sinopharm” එන්නත ගැන අත්තනෝමතිකව තීරණ ගන්න එපා – වෛද්‍ය සංගමය

චීනයෙන් පරිත්‍යාග කරන ලද Sinopharm එන්නත ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයින්ට පවා ලබා දීම අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ, Sinopharm එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී නොමැති බවය.

Sinopharm එන්නතේ ආරක්ෂාව, ඵලදායීතාව සහ ප්‍රතිශක්තිකරණ හැකියාව සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කරන ලද කමිටුව මෙතෙක් තීරණයකට එළඹ නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

අදාළ ලිපියෙහි සඳහන් කර ඇත්තේ, කොවිඩ්-19 රෝගය ප්‍රශ්සත ලෙස පාලනය කිරීම සඳහා විද්‍යාත්මක සාක්ෂි මත පමණක් පිහිටා තීරණ ගත යුතු බවය.

වෙනත් බාහිර බලපෑම් නොමැතිව ජාතික ඖෂධ නියාමන අධිකාරියට නිදහසේ තීරණ ගැනීමට හැකි පසුබිමක් සහතික කිරීම අතිශයින් වැදගත් බව එහි දැක්වේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කර ඇති ලිපියෙන් අවධාරණය කර ඇත්තේ, ශ්‍රී ලාංකිකයින්ට යම් එන්නතක් ලබා දීමට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බවය.

දැනට ලැබී ඇති තොරතුරු අනුව Sinopharm එන්නත සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම එන්නතේ සුරක්‍ෂිතතාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ලැබී ඇති දත්ත ප්‍රමාණවත්  නොවන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කරන ලද ස්වාධීන විශේෂඥ මණ්ඩලයේ මතය වී ඇතැයි පෙනී යන බවය.

විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබී ඇති පරිදි ස්වාධීන විශේෂඥ මණ්ඩලයේ තීරණය වෙනස් කරමින් මෙම එන්නත හදිසි භාවිතය සඳහා නිර්දේශ කිරීමේ උත්සහයක් පවතින බව ද එම ලිපියෙහි සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සාර්ථක එන්නත් වැඩසටහනක් ඇති කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීනත්වය පවත්වා ගැනීම අවශ්‍ය බව ද ඉන් අවධාරණය කර තිබේ.

“ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරිය 2015 වසරේදී පිහිටුවන ලද්දේ පාර්ලිමේන්තු පනතක් හරහා වන අතර රට තුළ පවතින වෛද්‍ය නිෂ්පාදන සුරක්‍ෂිතතාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව සහතික කිරීම මගින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන,” බව එම ලිපියෙහි දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *