‘පොල් තෙල් ගෙදරම හිඳගන්න” – GMOA සභාපති වෛද්‍ය පාදෙණියගෙන් යෝජනාවක්

දුම්වැටි සහ මත්ද්‍රව්‍ය පුරුදු කිරීම, පාසල් දරුවන්ට ටැබ් ලබාදීම සහ ආහාර සංස්කෘතිය වෙනස් කිරීම ආයු අපේක්‍ෂාව අඩු කරයි - වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

දුම්වැටි සහ මත්ද්‍රව්‍ය පුරුදු කිරීම, පාසල් දරුවන්ට ටැබ් ලබාදීම සහ ආහාර සංස්කෘතිය වෙනස් කිරීම ආයු අපේක්‍ෂාව අඩු කරයි - වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

මෙරට පොල්තෙල් යැයි විකුණන තෙල්වලින් 75%කම ඇත්තේ වෙනත් තෙල් වර්ග සහ අපද්‍රව්‍ය බවට දත්ත ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

වෙළෙඳ පොළෙන් මිල දී ගන්නා පොල්තෙල් නිසා සෞඛ්‍ය තර්ජනයක් ඇති බව පවසන ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, පොල්තෙල් නිවසේ සකසා ගැනීම සඳහා යොමු වන ලෙස ය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

පොල්තෙල් පරිභෝජනය කිරීමෙන් ඉදිරියෙන්ම සිටින රට වන්නේ නෙදර්ලන්තය වන අතර මැලේසියාව, ජර්මනිය වැනි රටවල් ද පොල්තෙල් පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියෙන්ම සිටින බව වෛද්‍ය පාදෙණිය මහතා පැවසීය.

එලෙස බටහිර රටවල් පොල්තෙල් භාවිතයේ වැදගත්කම හඳුනාගෙන තිබුණ ද ලංකාව පොල්තෙල් යන නාමය යටතේ අනෙකුත් තෙල් වර්ග විකිණීම සිදු කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මෑතකාලීනව වෙනත් තෙල් වර්ග ප්‍රවර්ධනය කර තම වාණිජ අරමුණු සපුරා ගැනීමට ඇතැම් පිරිස් උත්සහ කළ අතර පොල්තෙල් හෘදයට නුසුදුසු බවට අසත්‍ය ප්‍රචාර පතුරවමින් පොල්තෙල් පිළිබඳව වැරදි මතයක් සමාජගත කිරීමට එම පිරිස් උත්සහ ගත් බවට ඒ මහතා චෝදනා කළේ ය.

තවද ඒ මහතා ප්‍රකාශ කළේ, වසරකට රුපියල් බිලියන 250ක වටිනාකමකින් යුත් කෘෂි රසායන මෙරටට ආනයනය කරන බවය.

පොල්තෙල් මෙන්ම වෙනත් ආහාර වර්ග බොහොමයක් කෘෂි රසායන සහ වෙනත් රසායනික ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කිරීම හේතුවෙන් ජනතාව පිළිකාවලට ගොදුරු වීමේ ඉහළ අවදානමක් ඇති නිසා එය වළක්වා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා 4ක් ඉදිරිපත් කර තිබේ.

එම යෝජනා මෙසේ ය.

1. පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා වෙළෙඳපොළට නිකුත් කරන ආහාරයක නිෂ්පාදනය ආරම්භයේ සිට අවසානය දක්වා දත්ත ඇතුළත් වාර්තාවක් නිෂ්පාදකයන් විසින් ඉදිරිපත් කළ යුතු බව.

විදෙස් රටවල ආහාර නිෂ්පාදනයේදී එම ආහාරයට යොදාගන්නා බෝග වගා කළ ප්‍රදේශය, එයට කෘෂි රසායන ද්‍රව්‍ය යොදා ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු, කල්තබා ගැනීමට යොදා ගත් ද්‍රව්‍ය මොනවාද යන දත්ත අදාළ ආහාරය විකුණන අවස්ථාවේ පාරිභෝගිකයාට ලබා දීමේ නීති රාමුවක් පවතින බව ඒ මහතා පැහැදිලි කළේ ය. එලෙසම මෙරට ද ආහාරයක සෞඛ්‍යාරක්ෂිත බව සනාථ කරන වාර්තාවක් ඉදිරිපත් කළ යුතු යැයි ඔහු පැවසීය.

2. ආහාර සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශයට පැවරෙන ආකාරයේ නීති සංශෝධනයක් විය යුතු බව.

මෙරට ආහාර පනත දුර්වල එකක් බවත් ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ තීරණ ගැනීම වෙනත් ආයතනයකට නොපවරා එම සියලු ආයතන සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වය යටතේ ක්‍රියා කළ යුතු බව මෙම යෝජනාවෙන් අදහස් වේ.

3. ආහාර සම්බන්ධයෙන් උසාවියක් බිහි කළ යුතුය.

වාණිජ උසාවියක් තිබෙන්නාක් මෙන් ආහාර සම්බන්ධයෙන් ද වෙනම උසාවියක් තිබිය යුතු බව අවධාරණය කළ පාදෙණිය මහතා පැවසුවේ, යම් ආහාරයක් සම්බන්ධයෙන් නඩුවක් පැවරූ විට නඩුව අවසන් වීමට කල්ගත වුවහොත් ආහාරය නරක් වීම හේතුවෙන් යම් පාර්ශවයකට අසාධාරණයක් සිදු විය හැකි බව ය.

එම නිසා ආහාර සම්බන්ධ නඩු විසඳීම සඳහා වෙනම උසාවියක් ස්ථාපනය කිරීමෙන් එම නඩු කටයුතු කාර්යක්ෂමව ඉටු කළ හැකි බව ඒ මහතා පැවසීය.

4. රාජ්‍ය සේවයෙහි නියුතු කිසිදු නිලධාරියෙක් තම සේවා කාලය තුළ හෝ විශ්‍රාම ගෙන වසර 5ක් ඉක්මවන තෙක් නිෂ්පාදන සමාගම් සමග සම්බන්ධතා පැවැත්වීම නීතියෙන් වරදක් බවට පත් කළ යුතු ය.

අකටයුතුකම් කරන ආහාර නිෂ්පාදන සමාගම් සමග රජයේ නිලධාරීන් සම්බන්ධතා පැවැත්වීම හරහා එවැනි සමාගම්වල කටයුතු අඩාල වූ විට ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් සියලු දත්ත රාජ්‍ය නිලධාරීන් විසින් ම සපයන බවට චෝදනා කළ පාදෙණිය මහතා එය වැළැක්වීම සඳහා මෙවන් යෝජනාවක් ඉදිරිපත් කරන බව පැහැදිලි කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *