(VIDEO) ලොව ම බලා සිටි Ever Given නෞකාව සූවස් ඇළෙන් නිදහස් වේ

සතිකයට ආසන්න කාලයක් සූවස් ඇළ අවරහිර කරමින් තිබුණු Ever Given නෞකාව මුදා ගෙන ඇළ මාර්ගය නිදහස් කිරීමට හැකිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, පසුබෑමට ලක් ව තිබුණු ගෝලීය නැව් ගමන් නැවතත් ආරම්භ කිරීමට හැකිවනු ඇති බවට බලාපොරොත්තු ඇති කරමිනි.

අද (මාර්තු, 29) අලුයම නෞකාව මෙලෙස සිරවී තිබුණු සූවස් ඇළේ ඉවුරෙන් මුදා ගැනීමට සමත්ව තිබේ.

සූවස් ඇළ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ, නැව නියමිත මාර්ගයට ගැනීමට තවත් පැයක පමණ කාලයක් ගත වනු ඇති බව ය.

අවම වශයෙන් නැව් 369ක් සූවස් ඇළ හරහා ගමන් කිරීමට බලා සිටින බවත් ඒ අතර ඉන්ධන ප්‍රවාහන නෞකා, එල්.පී. ගෑස් අඩංගු නෞකා සහ බහාලුම් රැගත් නෞකා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අමතර දින 7-10ක කාලයක් සහ ඉන්ධන පිරිවැය අධික වුව ද තවත් බොහෝ නැව් සූවස් ඇළ මාර්ගය මග හැර දකුණු අප්‍රිකාවේ කේප් ඔෆ් ගුඩ් හෝප් හරහා ආසියාව සහ යුරෝපය අතර ගමන් කිරීමට කටයුතු කර තිබිණි.

සූවස් ඇළෙහි සිරවී තිබුණු Ever Given දැවැන්ත කන්ටේනර් ප්‍රවාහන නෞකාව නිසා දිනකට ඇමෙරිකානු ඩොලර් බිලියන 9.6ක් වටිනා භාණ්ඩ සිරවී පවතින බවට ඇස්තමේන්තු කර තිබිණි.

මෙම සුවිශාල නෞකාව නිසා සූවස් ඇළ අවහිර වීමෙන් තවත් නෞකා විශාල සංඛ්‍යාවක ගමනාගමනයට බාධා එල්ල විය.

එමෙන් ම, මෙම නෞකා මාර්ගය ලෝකයේ ඇති කාර්ය බහුල ම නැව් මාර්ගවලින් එකකි.

ලෝකයේ ප්‍රවාහනය කෙරෙන භාණ්ඩ අතරින් 12%ක පමණ ප්‍රතිශතයක් මෙම ඇළ හරහා ප්‍රවාහනය කෙරේ. එහෙයින් ඇළ මාර්ගය අවහිර වීම ලෝකයේ භාණ්ඩ ප්‍රවාහනය කෙරෙහි ඍජුව බලපා තිබිණි.

වැලි කුණාටුවක් සමග ඇති වූ තද සුළං හේතුවෙන් Ever Given නෞකාව හැරී ඉකුත් අඟහරුවාදා (මාර්තු, 23) සූවස් ඇළේ ඉවුරුවල සිරවීමට ලක් විය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *