විදෙස් රටවල් බැංකු ගිණුම් හැක් කර කෝටි 1 1/ 2 ක් බැර කර ගත් වව්නියාවේ තරුණයෙක් කොටු වෙයි

විවිධ පුද්ගලයන්ගේ ගිණුම්වලට අනවසරයෙන් පිවිස එම ගිණුම්වලින් වංචනිකව රුපියල් එක් කෝටි හැත්තෑ දෙලක්ෂ පනස් අට දහස් තුන්සිය අනූ නවයක් (17,258,399) සොරා ගත් පුද්ගලයකු මුදල් විශුද්ධිකරණ පනතේ ප්‍රතිපාදන යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (23) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වව්නියාව වෙප්පුකුලම් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකි. සැකකරු විසින් පුද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුමකට අමෙරිකා එක්සත් ජනපදයේ සිට රුපියල් එක් කෝටි හැත්තෑ දෙලක්ෂ පනස් අට දහස් තුන්සිය අනූ නවයක් ලැබී ඇති අතර එසේ ලැබී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ හෝ වෙනත් රටවල සිටින යම් යම් පුද්ගලයන්ගේ ගිණුම්වලට අනවසරයෙන් පිවිසීමෙන් අනතුරුව ගත් මුදල් බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස විවිධ පුද්ගලයන්ගේ ගිණුම්වලට පිවිස වංචනික ආකාරයෙන් මුදල් ගෙන එම මුදල් වෙනත් ගිණුම්වලට බෙදා හරින බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර එලෙස මුදල් ගත් පුද්ගලයන් රැසක් මෙරට තුළ සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් 2020 අප්‍රේල් මස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇති අතර එම පැමිණිල්ලේ සඳහන් වන්නේ වංචනික ලෙස විවිධ පුද්ගලයන්ගේ ගිණුම්වලින් ගත් රුපියල් කෝටි එකසිය හතළිහකට ආසන්න මුදලක් යම් යම් අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාවේ විවිධ පුද්ගලයන්ගේ ගිණුම්වලට බැරවී ඇති බවටය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිරන්තර පරීක්ෂණ කර ඇති අතර එලෙස මුදල් ගත් පුද්ගලයන්ගෙන් එක් පුද්ගලයකු වන්නේ පෙරේදා (23) අත්අඩංගුවට ගත් පුද්ගලයා වන අතර එවැනි පුද්ගලයන් 36 දෙනකු මීට පෙර අවස්ථාවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හරහා ගනුදෙනු කරන අවස්ථාවලදී විවිධ පුද්ගලයන් වෙනත් අයගේ ගිණුම්වලට අනවසරයෙන් පිවිස එම ගිණුම්වල ඇති මුදල් වෙනත් ගිණුම්වලට බැර කරන බවට වීසා ඉන්ටර්නැෂනල් ආයතනය විසින්ද මෙරට පුද්ගලික බැංකුවක් වෙත දැනම් දී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඊයේ (24) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *