“ජනාධිපතිතුමා මාධ්‍යට උගන්වන්න හදන පාඩම ගැන අපි දන්නවා” – අනුර දිසානායක

"ජනාධිපතිතුමා මාධ්‍යට උගන්වන්න හදන පාඩම අලුත් එකක් නොවන බව අපි දන්නවා" - අනුර දිසානායක

"ජනාධිපතිතුමා මාධ්‍යට උගන්වන්න හදන පාඩම අලුත් එකක් නොවන බව අපි දන්නවා" - අනුර දිසානායක

ජනාධිපතිතුමා මාධ්‍යට උගන්වන්න හදන පාඩම අලුත් එකක් නොවන බව අපි දන්නවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

එම මාධ්‍ය හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික සමන්ත විද්‍යාරත්නද එක්වී සිටි අතර එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් පල වේ.

“ජනාධිපතිවරයා සෑම සෙනසුරාදාවකම ‘ගම සමග පිළිසඳරක්’ පවත්වා ගමේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා යැයි කියන මාධ්‍ය මෙහෙයුමක් දියත්කර තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා කරන්නේ ඒ සතියේ ආණ්ඩුවට එල්ලවී තිබෙන චෝදනා, විවේචනයන් පිළිබඳව පිළිතුරු සැපයීම සහ ඔහුගේ අඬවැඩියාව ඉදිරිපත් කිරීමේ සංදර්ශනයයි. ජනතාවගේ ගැටලුවලට ඇහුම්කන් දෙනවා වෙනුවට ඔහු මුහුණදී තිබෙන ගැටලු පිළිබඳව අඳෝනා නැගීමයි කරන්නේ.

හැබැයි ඒක අඳෝනාවක් පමණක් නොවෙයි, යම් බිහිසුණු චිත්‍රයක් තිබෙන බව පේනවා. ඊයේ දිනයේදී එතුමා විසින් කළ ප්‍රකාශ අතර, විශේෂයෙන් මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන දෝෂාරෝපණ හා තර්ජනයන් එල්ලකර තිබෙනවා. “ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕනෑ නම් උගන්වන විදිහත් මම දන්නවා. මාධ්‍ය නිදහස මම දීලා තිබෙනවා. මාස 14ක් මම පාලනය කළා. නමුත් කිසිම මාධ්‍යයකට මම කිසිම බලපෑමක් කරලා නැහැ.” ඔහු බලපෑමක් කරලා නැහැ කියනවා. ඒකෙන් ඔහු ගම්‍ය කරන්නේ බලපෑමක් කරන්න අයිතියක් තියෙනවා කියලා. නෑ ඔහුට එහෙම අයිතියක් නැහැ. ජනාධිපතිවරයාට මාධ්‍ය ආයතනවලට බලපෑම් කරන්න හෝ මාධ්‍ය ආයතන බියවද්දන්න අයිතියක් නැති බව ජනාධිපතිවරයා පළමුවෙන්ම තේරුම් ගන්න ඕනෑ.

දෙවනුව ඔහු කියනවා මාධ්‍ය නිදහස දීලා තියෙනවා කියලා. මාධ්‍ය නිදහස ජනාධිපතිවරයාගේ ලයිසන් එකක් නෙවෙයි. ජනාධිපතිවරයා විසින් ලබාදිය යුතු වරප්‍රසාදයක් නෙවෙයි. මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍යවේදීන්ගේ මේ රටේ පුරවැසියන්ගේත් තොරතුරු දැනගැනීම සඳහා තිබෙන යුක්තිසහගත අයිතියයි. ඒක අයිතියක්. ඒක ජනාධිපතිවරයාගේ ලයිසන් එකකින් ලබාදෙන ලද නිදහසක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිසේසේ මේ රටේ මානව සංවර්ධනය පිළිබඳව අනාගතය පිළිබඳ කල්පනා කරන ලද ප්‍රගතිශීලී පුරවැසියන් විසින් අරගල කරලා අත්කරගෙන, ආරක්ෂා කර ගත් දෙයක්. “ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕනෑ නම් උගන්වන විදිහත් මම දන්නවා.” කියලත් ඔහු කියනවා. ජනාධිපතිවරයා මාධ්‍යයට පාඩම් උගන්වන්න මොන සිහියෙන් යුතුව කතා කරනවාද කියලා මම දන්නේ නැහැ.

මෑත ඉතිහාසයේ මාධ්‍ය ආයතනවලට බිහිසුණු පාඩම් උගන්වපු තත්වයක් තිබෙනවා. ඒවා මාධ්‍ය ආයතනවලටත් මාධ්‍යවේදීන්ටත් අතිශය බිහිසුණුයි. ‘සිරස’ මාධ්‍ය ආයතනයට ක්ලේමෝ බෝම්බ දෙකක් එල්ල කොට මැදිරි සංකීර්ණය විනාශ කළා. එය සිරස මාධ්‍ය ආයතනයට උගන්වන ලද බිහිසුණු පාඩමක්. ඒ යුගයේ අධි ආරක්ෂක කලාපයක පිහිටා තිබූණු ‘ලීඩර්’ පුවත්පත මුද්‍රණය කළ මුද්‍රණාලයට දෙපාරක් ගිනි තැබුවා. එය ඔවුන්ට උගන්වන ලද බිහිසුණු පාඩමක්. ‘සියත’ මාධ්‍ය ආයතනයට 2010 ජනාධිපතිවරණය අවසන් වූ වහාම බෝම්බ ගසා ගිනි තිබ්බා. එය ‘සියත’ මාධ්‍ය ආයතනය වෙත උගන්වන ලද බිහිසුණු පාඩමක්. ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කළා. එය මාධ්‍යවේදීන්ට උගන්වන ලද බිහිසුණු පාඩමක්. එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කළා. පෝද්දල ජයන්තව පැහැරගෙන ගොස් අත-පය කඩලා කොණ්ඩෙ බාගෙට බූගාලා මහපාරේ දාලා ගියා. කීත්නොයාර් පැහැරගෙන ගිහිල්ලා පහරදීලා මාරාන්තික තුවාල සිදුකොට පාරේ දාලා ගියා. උපාලි තෙන්නකෝන් පැහැරගෙන පහරදීලා මහමග දාලා ගියා. ඒවා අපේ රටේ මාධ්‍යවේදීන්ට උගන්වන ලද බිහිසුණු පාඩම්. ‘ඊ නිව්ස්’ කාර්යාලයට ගිනි තිබ්බා. ඒ මේ රටේ වෙබ් මාධ්‍ය ආයතනවලට උගන්වන ලද බිහිසුණු පාඩම්.

අපේ රටේ මාධ්‍ය ආයතනවලටත් මාධ්‍යවේදීන්ටත් මෑත ඉතිහාසයේ බිහිසුණු පාඩම් උගන්වා තිබෙන බව අපි දන්නවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ “ඒවා මාත් එක්ක බෑ. මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕනෑ නම් උගන්වන විදිහත් මම දන්නවා.” කියන දේ නූතන ජන මාධ්‍ය පිළිබඳව පාඨමාලාවක් නොවෙන්න පුළුවන්. මෙය ඍජුවම මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ඉලක්කකොට එල්ල කර තිබෙන බලපෑමක්. මේ කතාව කියන විගසම කියනවා, ඔහු එවැනි බලපෑමක් එල්ලකොට නැහැ කියලා. ජනාධිපතිවරයා ඉතා හොඳින් තේරුම්ගත යුතුව තිබෙනවා මේ යුගය වෙනස් බව. පැරණි පාඩම්වලින්, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට උගන්වන ලද බිහිසුණු පාඩම්වලින් ඒ යුගයේ පාලකයනුත් පාඩම් ඉගෙන තිබෙනවා. ඒ වගේම මේ රටේ පොදු ජනතාව පාඩම් ඉගෙනගෙන තිබෙනවා. නැවත එවැනි බිහිසුණු පාඩම් මාධ්‍ය ආයතන වෙත හෝ මාධ්‍යවේදීන්ට ඉගැන්වීම සඳහා ජනාධිපතිවරයා උත්සුක වෙයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

අනික් පැත්තෙන් ජනාධිපතිවරයා තේරුම් ගන්න ඕනෑ, නීති සම්පාදනය කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව. විවිධ ප්‍රකාශයන් හරහා ඔහු පෙන්නුම් කර සිටින්නේ ඔහුගේ ආණ්ඩුවට හිතකර වන, එය ප්‍රවර්ධනය කරවන මාධ්‍ය මෙහෙයුම්වලදී ඉතාමත්ම ලැදියාවෙන් මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ මාධ්‍යවේදීන්ව බදා වැළඳගෙන තිබෙනවා. නාගලෝකයෙන් නයි කරඬුව අරගෙන එනකොට, එය ඔහුගේ දේශපාලන ව්‍යාපෘතියේ ප්‍රවර්ධනයක් බව දන්නා නිසා ඔහු එය විවේචනය කළේ නැහැ. ඒ වගේම වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ බෙහෙත්, වඳ දොස්තරලා වැනි ප්‍රවෘත්ති නිර්මාණය කරමින් ප්‍රවර්ධනය කරනකොට ඒවා ඔහුගේ දේශපාලන ව්‍යාපෘති ප්‍රවර්ධනය කරන මාධ්‍ය මෙහෙයුම් නිසා විවේචනය කළේ නැහැ. ජාතික චින්තනය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය පවා පරිසර වාර්තා කරණයේදී වෙනස්වීම පිළිබඳවත් අනතුරු ඇඟවීමක් කරනවා. ඔහුත් ඔහුගේ දේශපාලන ව්‍යාපෘතියත් ප්‍රවර්ධනය කිරීම සහ එම හිමිකරුවන්ගේ උවමනාවන් සමපාත වන විට ප්‍රතිවිරෝධයක් පැන නගින්නේ නැහැ. හැබැයි ඔහුගේ දේශපාලන ව්‍යාපෘති ගැන ජනතාවගේ පැත්තේ ඉඳන් වාර්තා කරනකොට, ඔහුගේ ආර්ථික හා පාරිසරික විනාශකාරී ක්‍රියාමාර්ග ගැන ජනතාවගේ පැත්තේ ඉඳන් වාර්තා කරනකොට එය මාධ්‍ය හිමිකරුවන්ගේ මෙහෙයුමක් හැටියට ඔහු අර්ථකථනය කරන බවයි පේන්නේ. ජනාධිපතිවරයාට මාධ්‍ය පිළිබඳව තිබිය යුත්තේ ඍජු ප්‍රතිපත්තියක් මිස දෙබිඩි ප්‍රතිපත්තියක් නොවේ. නමුත් පෙන්නුම් කරමින් තිබෙන්නේ දෙබිඩි ප්‍රතිපත්තියක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *