හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගන්නැයි නියෝග
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගන්නැයි නියෝග
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන ජාතික නිදහස් පෙරමුණේ කටයුතු සඳහා ලබාගෙන අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා නඩුවට අදාළව, ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මෙම නඩුව ඊයේ (27) විවෘත අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර හිටපු මන්ත්‍රීවරයා උසාවියේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළා.
මෙම වාහන අවභාවිත කිරීමේ සිද්ධියට සම්බන්ධව දැනට ඇප මත පසුවන ජාතික නිදහස් පෙරමුණේ හිටපු මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් සහ සේනාරත්න ද සිල්වා ඇතුළු සෙසු සැකකරුවන් පස්දෙනා ඊයේ (27) දින අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේ, මෙම සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ ඉදිරි පියවර ගැනීම සඳහා මේ වන විටත් කරුණු නීතිපති උපදෙස් වෙත යොමු කර ඇති බවයි.




