ලෝකයේ රටවල් අතරින් සියදිවි නසා ගන්නන් අතර ලංකාව ඉහළින්ම
ලෝක සෞඛ්‍ය සංවිධාන දත්තවලට අනුව ලෝකයේ සෑම තත්පර 40 කට වරක්ම පුද්ගලයෙකු සියදිවි හානි කරගන්නා අතර, සෑම වසරකම ලක්ෂ අටකට ආසන්න පිරිසක් මිය යති. 90 දශකයේ මුල් භාගය වන විට සිය දිවි හානිකර ගැනීමේ සංඛ්‍යාව ඉහළ ගිය අතර, ලෝකයේ රටවල් අතරින් වැඩිම පිරිසක් සියදිවි හානි කරගන්නා රට බවට ශ්‍රී ලංකාව පත්විය.
මම මේ සමාජයට, පවුලට බරක්,මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට මට වෙන විකල්පයක් නෑ, මම ඉන්නේ වෙන කිසිවකුටත් උදවු කිරීමට හැකි තත්ත්වයක නොවේ,අන් අයගේ වැරදි වලට මට මගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නයි සිදුවෙලා තියෙන්නේ, මම ජීවිතයෙන් හෙම්බත්, සදාකාලිකවම මගේ ජීවිතයම දුකක් වැනි සිතුවිලි ඇතිවීම කෙනෙකු සියදිවි නසා ගැනීමේ අවදානමක් මවන අතර බොහෝ විට එවැනි මානසිත තත්ත්ව නිසා යමෙකු සියදිවි හානි කර ගැනීමේ තත්ත්වයට මුහුණ දිය හැකිය.
ශ්‍රී ලංකා පොලිස් සංඛ්‍යා ලේඛනවලට අනුව 2019 වසරේදී ලංකාවේ සියදිවි නසා ගැනීම් 3135 ක් වාර්තා වි ඇති අතර එයින් පිරිමි මරණ 2489 ක්ද, කාන්තා මරණ 646 ක්ද වාර්තා වෙයි. 2020 වසරේදී ජනවාරි මාසයේ සිට ජූලි මස අග දක්වා සියදිවි නසා ගැනීම් 1455 ක් වාර්තා වී ඇති අතර එිය් පිරිමි මරණ 1176 ක්ද කාන්තා මරණ 279 ක්ද වාර්තා වි ඇත.
පසුගියදා වේල්ලවිදියේ සිය අනියම් බිරිඳක වූ තරුණියක ඝාතනය කර ඇයගේ හිස කඳින් වෙන්කර සිරුරු කොටස ගමන් මල්ලක දා ගෙන වේල්ලවිදියට ගෙනැවිත් දැමූ පොලිස් කොස්තාපල්වරයා අවසානයේ සියදිවි නසා ගත්තේ ගෙල වැළලා ගෙනය. ඒ හා ආසන්න දිනයක යාපනය ප්‍රදේශයේ මවක් තමන් පණ සේ ආදරය කරන සිය දරුවන් තිදෙනා සමඟින් ළිඳකට පැනසිය දිවි නසා ගන්නට දැරූ ප්‍රයත්නය වැළකුණද දරු තිදෙනා පමණක් මිය ගියහ.
මෙහිදි ඇයට ප්‍රශ්න හමුවේ ඇති වු තදබල මානසික ව්‍යාධිය කොතරම් බරපතළ වී ඇත්ද යන්න කිවහොත් ඇය සියදිවි නසා ගන්නට උත්සාහ ගත්තේ තමන් ආදරය කරන්නන්ද සමඟිනි. මැතදී සිදුවූ මෙවැනි ව්‍යාධීන් පමණක් නොව සැම වසරකම මෙසේ අකාලයේ බොහෝ දෙනෙක් ජීවිතයට සමු දෙන්නේ අවාසනාවන්ත ලෙසය.
මනෝ වෛද්‍යවරුන්ගේ මතය අනුව යමෙකු සියදිවි නසා ගැනිමට ප්‍රධානතම හේතුව වන්නේ දරුණු විෂාදිමය තත්ත්වයයි.
“ සියදිවි නසා ගැනීම අතින් ලංකාව සිටියේ ඉහළ ස්ථානයක. 1997 වසරේ තමයි ඉහළම ප්‍රතිශතය වාර්තා කළේ. නමුත් පසුගිය කාලයේ ටිකෙන් ටික මේ ප්‍රමාණය අඩුවුණා. එසේ අඩුවුණත් ලංකාව පළමු රටවල් 20 අතර සිටිනවා. සියදිවි නසා ගැනීම සන්සන්දනයේදි එය තරුණ පිරිස් අතර වැඩි අගයක් ගන්නවා. වයස් වශයෙන් ගත්විට අවුරුදු 15-25 ත් හා අවුරුදු 60 ට වැඩි අය අතර වැඩි වීමක් පෙන්නුම් කරනවා.
එදා සියදිවි නසා ගැනීමට භාවිතා කළේ කෘමිනාශක වුවත් අද විවිධ බෙහෙතේ වර්ග හා රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නට පටන් ගෙන තියෙනවා. සියදිවි නසා ගැනීම හා ඊට උත්සහ දැරීම සඳහා විවිධ සාධක බලපාන්න පුළුවන්.
ලංකාවේ සියදිවි නසා ගැනීම්වලට බලපාන ප්‍රධානය සාධකය විෂාදය නම් රෝගී තත්ත්වයයි. විෂාදය මුලින්ම හඳුනා නොගැනීම, එම රෝගයෙන් දීර්ඝ කාලයක් පෙළිම මෙන්ම ඊට ප්‍රතිකාර නොගැනීම සියදිවි නසා ගැනීමකට පාර කැපිය හැකියි.
මෙම මානසික තත්ත්වයේදී තමා ගැන අවතක්සේරුව, ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට නොහැකිවිම මෙන්ම ඊට කාලයක් නැතිවීම, ඇතිවන මානසික වේදනාව දරා ගැනීමට නොහැකි වීම අවසානයේ මෙම ජිවිතය කෙළවර වන්නේ මරණයෙනි. මේ අය ජීවිතය විනාශ කර ගැනීමට උත්සහ කරන්නේ සැලසුම් සහගතවය. මෙවැනි අය මුලින්ම සිය ජීවිතය ගැනත් අවධානය යොමු කිරීම නිසා මිය යාම එකවර කරන්නේ නැහැ. තමන් ගැන, දරුවන් ගැන , තත්ත්වය නම්බුව ගැන සිතමින් සිටින අතර සිය වේදනාව දරා ගැනීමට නොහැකි තැන සියදිවි නසා ගනියි. මෙවැනි අයගේ පිහිටට කිසිවකු නොමැතිවිම, ප්‍රශ්න පැවැසීමට උපදෙස් දිමට කිසිවකු නොමැති විම කෙරවල වූ තැන ඊට පහසුම මාර්ගය ලෙස තෝරා ගන්නේ සියදිවි හානි කර ගැනීමයි.
සියදිවි නසා ගැනිමට බලපාන තවත් හේතුවක් වන්නේ පෞරුෂත්ව ආබාධයි. එනම් සීමාන්තික පෞරුෂ ආබාධයි. මේ අයට ජීවිතය ගැන දිගුකාලීනව ඇතිවන අසංතෘප්තිය, අධික මත්පැන් භාවිතය වැඩීවිම අවසානයේ සියදිවි හානි කර ගැනීමට උත්සහ කිරීම මෙන්ම මෙවැනි අය අනිකුත් අය බය කිරීමට සියදිවි නසා ගැනීමට උත්සහ කරන අවස්ථාද ඇත. තවත් මානසික රෝගි අවස්ථාවක් වන්නේ ද්වි ධ්‍රැව මානසික ආබාධයයි. මෙහි අන්ත දෙක වන්නේ විෂාදය හා මේනියාවයි.
මෙවැනි මානසික ව්‍යාකුලත්වයකට පත්වූ විට මෙම රෝගියා සතුට හා දුක යන අන්ත දෙකට විටින් විට මුහුණ දෙන අතර අවසානයේ සියදිවි නසා ගැනීමකට පෙලඹේ. කෙනෙකුට සියදිවි නසා ගැනීමකට බලපාන තවත් කරුණක් වෙන්නේ සාමාජීය කරුණු කාරණා වන ජීවිතයෙන් තනිවීම, හවුහරණක් නැතිවීම, තමන්ට ආදරය කරන පිරිස අහිමි විම මෙන්ම ආර්ථික ප්‍රශ්නයි. මෙවැනි අවස්ථාවක සිටින්නෙකුට ඉහත සඳහන් මානසික ව්‍යධීන්ට ගොදුරු වුවහොත් ඇතිවන තත්ත්වය භයානකයි.
යමෙකුට සුවකළ නොහැකි කායික රෝග ඇත්නම් සියදිවි හානි කර ගැනීමකට පෙලඹවීමේ ඉඩකඩ වැඩිය. මෙවැනි අයට විශාදය නැමැති මානසික රෝගය ඇත්නම් ඇතිවන තත්ත්වයද භයානක වෙයි. ජීවත් විමට වඩා මියයාම හොඳ යැයි නිතර පැවැසීම, නිතර නිතර මරණය හිතට වදදීම අවසානයේ සියදිවි නසා ගැනීමකින් කෙළවර විය හැකියි.
එසේම තරුණ පිරිසට ඇතිවන ක්ෂණික කෝපය මෙන්ම පෞරුෂත්ව ආබාධ, විභාගය අසමත්වීම වැනි අවස්ථාවලදි සමහරු සියදිවි නසා ගැනීමට ක්ෂණිකව තීරණය කරයි.
සමහරක් මාධ්‍ය මෙහිදි ක්‍රියාකරන ආකාරය හේතුවෙන්ද ඊට පෙලඹවීම් ඇති කරන අතර මාධ්‍ය ඔහු වීරයකු ලෙස හුවා දැක්වීම ඊට කරන බරපතළම හානියකි.
පසුගියදා වේල්ලවිදියේ තරුණියක ඝාතනය කළ පුද්ගලයා සියදිවි හානි කර ගැනිම මෙන්ම ඒ ආසන්න දිනකදි උතුරේ මවත් සිය දරුවන් තිදෙනා සමඟ ළිඳකට පැන සියදිවි හානි කර ගැනීමට උත්සහ කිරීම මෙන්ම එහිදි දරු තිදෙනා මියගොස් මව බේරීම වැනි කරුණු කාරණ සියදිවි හානි කර ගැනීමේ ආසන්න සිදුවීම්ය.
මෙහිදි සමාජයෙන් ඇති වු විවිධ පීඩන තත්ත්වයන් අවසානයේ මේ මව විෂාදමය තත්ත්වයකට පත් කර ඇත.
තමන් ආදරය කරන අය සමඟින් ජීවිතය හානි කර ගැනිම ඊට හොඳම විසඳුම ලෙස ඔවුහු තීරණය කරති. සමහර මවුවරුන්ට දරුවෙකු ලැබුණු පසු මාස 6 ක් යනතුරු අවදානම් කාලයක් වන්නේ මේ කාලයේ සිදුවන හෝමෝන වෙනස් විමය.
එහිදි විෂාදය නැමැති මානසික රෝගි තත්ත්වය උග්‍රවීමෙන් දරුවා මරා දැමීමට උත්සහ කිරිම, දරුවා විකෘති රෝගියකු යැයි නිතර නිතර සිතීම අවසානයේ දරුවාගේ මරණය දක්වා යා හැකි දරුණු තත්ත්වයකි. මීට අමතරව ගෘහස්ත ප්‍රචණ්ඩත්වය මෙන්ම සමහරු නීතිය හමුවේ වැරදි කර එයින් බේරීමට සියදිවි හානිකර ගන්නා අවස්ථා ඇත. සියදිවි නසා ගැනීම කිසිදු රටක සම්පූර්ණයෙන්ම තුරන් කළ හැකි තත්ත්වයක් නොවෙයි. මේවා වළක්වා ගැනීමේ හොඳම ක්‍රමය වන්නේ එවැනි පෞරුෂ ආබාධ කලින්ම හදුනා ගැනීමයි. මෙවැනි රෝගීන් සමඟ කතා කිරිම, ඇහුම්කන් දීම යම් තාක් පිළියමක් සැපයුවද විෂාදය නැමැති මානසික රෝගය සුවවීමට ඹෟෂධ ප්‍රතිකාර නොකඩවා ලබා ගත යුතුය. නමුත් කනගාටුදායක කරුණ වන්නේ මෙවැනි රෝගීන් ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාද වීමය. එසේම මෙවැනි මානසික රෝග කලින්ම හඳුනාගත යුතුව ඇත.
තමා සිය ජිවිතය නැති කර ගන්නවායැයි යමෙකු පවසයි නම් එය සුළුකොට තැකිය යුතු නොවේ. එවැනි ප්‍රකාශ කරන අයගෙන් තුනෙන් එකක්ම අනිවාර්යයෙන් සියදිවි නසා ගන්නා බව පර්යේෂණවලින් සනාථ වී ඇත. අද ලංකාව පුරා රෝහල්වල මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රියාත්මක නිසා ඊට යොමුවීම අනිවාර්යයෙන් සිදුවිය යුතුයි. මන්ද බොහෝ රෝගීන් නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් ස්ථීර සුවයක් ලබා ගැනේ. එසේ සුව නොවන අයට ප්‍රතිකාර ක්‍රම වෙනස් කිරීමෙන් සුවයක් කර ගැනීමට හැකියි.“ ඒ කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ය.
ලංකාවේ මෙවැනි විෂාදමය තතත්වයන්ට යොමු වූ අයට මෙන්ම සියදිවි හානිකර ගැනීමේ තත්ත්වය දක්වා ගිය අය වෙනුවෙන් මැල් මැදුරෙන් සිදු කරන්නේ සුවිශාල සේවයකි.
“ කොරෝනා සමයෙහි ඇති වූ නව යථාර්ථය තුළ නිවසේ සිටම රාජ්කාරි කටයුතු කිරීමට සිදුවීම, තාවකාලිකව රැකියා අහිමිවීම, දරුවන් නිවසේ සිට අධ්‍යාපන කටයුතුවල නිරත වීම, ආදරණීයයන්ගෙන් වෙන් වී සිටීමට සිදුවීම ආදී හේතු කාරණා නිසාම ශාරීරික සෞඛය මෙන්ම මානසික සෞඛ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙනවා. කලින් නොදන්නා හෝ අවිනිශ්චිත අවස්ථාවකට මුහුණ දුන් විට සැබෑ තර්ජන හෝ අප විසින් තර්ජනය යයි වටහා ගත්දේ සඳහා සාමාන්‍ය ප්‍රතිචාරයක් ලෙස බිය, කණස්සල්ල හා ආතතිය ඇති වන බව එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙවන් වටපිටාවක් තුළ තම සිතට දැනෙන බිය, සැක, සංකා සගවාගෙන නොසිට සාවධානයෙන් අසා සිටිය හැකි කෙනෙකුට පැවසීමෙන් දැවෙන සිතකට මහඟු අස්වැසිල්ලකි.“
1974 වර්ෂයේ දී ජෝන් ද මැල් නම් කාන්තාව විසින් අරඹන ලද සුමිත්‍රයෝ ආයතනය වසර 46ක් පුරා සිය දිවි තොර කර ගැනීමේ තත්ත්වයන්ට පත්ව සිටින පුද්ගලයින්ට පමණක් නොව අප සමාජයේ පුද්ගලයන් එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන විවාහක, පවුල්, රැකියා, අධ්‍යාපන, ආදර සබඳතා පිළිබඳ ගැටලු, තනිකම, කාංසාව හා නොයෙකුත් ඇබ්බැහිවීම් වැනි දේ සම්බන්ධව සාවදානව සවන්දී ඒවායින් මිදීමට විකල්ප මාර්ග සාකච්ඡා කර එම පුද්ගලයන්ගේ මානසික තත්ත්වය ශක්තිමත් කළේය. මේ සඳහා වසරේ සෑම දිනකම උදෑසන 9.00 සිට රාත්‍රී 8 දක්වා විවෘත වෙයි.
එසේම සියදිවි හානි කර ගැනීම් තත්ත්වයට පත්වූවන්ට යළි හරිමඟ යාමට ඔවුහු විශාල දායකත්වක් දක්වා ඇත.
ශ්‍රී ලංකා පොලිස් සංඛ්‍යා ලේඛණවලට අනුව 2019 වසරේදි ලංකාවේ සියදිවි නසා ගැනීම් 3135 ක් වාර්තා වි ඇති අතර එයින් පිරිමි මරණ 2489 ක්ද, කාන්තා මරණ 646 ක්ද වාර්තා වෙයි. 2020 වසරේදී ජනවාරි මාසයේ සිට ජූලි මස අග දක්වා සියදිවි නසා ගැනීම් 1455 ක් වාර්තා වී ඇති අතර එිය් පිරිමි මරණ 1176 ක්ද කාන්තා මරණ 279 ක්ද වාර්තා වි ඇත.