“ආයුර්වේද ධූමපානය” ජනගත කිරීම දුම්කොළ කර්මාන්තකරුවන්ගේ කුමන්ත්‍රණයක් ද?

"ආයුර්වේද ධූමපානය" ජනගත කිරීම දුම්කොළ කර්මාන්තකරුවන්ගේ කුමන්ත්‍රණයක් ද?

"ආයුර්වේද ධූමපානය" ජනගත කිරීම දුම්කොළ කර්මාන්තකරුවන්ගේ කුමන්ත්‍රණයක් ද?

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් (17)’ආයුර්වේද ධූමපානය’ක් ලෙස හඳුන්වන කුරුඳුවලින් නිෂ්පාදිත දුම්වැටියක් ජනගත කිරීම සිදු විය.
මේ පිළිබඳව බොහෝ විවේචන මේ වන විට එල්ල වෙමින් පවතී.

2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනතෙහි 38 (2) උප වගන්තිය අනුව දුම්කොළ නිෂ්පාදනයක් සේ දර්ශනය වන දුම්කොළ නිෂ්පාදනයක් නොවන යම් ද්‍රව්‍යයක් කිසි ම තැනැත්තෙකු නිෂ්පාදනය කිරීම හෝ විකිණීම සඳහා ආනයනය කිරීම හෝ නොමිලේ බෙදා හැරීම නොකළ යුතුය. එසේ තිබියදීත් ඒ පිළිබඳව එම අවස්ථාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙවැන්නකි.

“ඒකට බාධාකාරී වෙනව නම් යම්කිසි පනතක තියෙන යම්කිසි වගන්ති ඒවා සංශෝධනය කරලා හරි මේ නිෂ්පාදනයට ඉදිරියට යන්න අවශ්‍ය කරන වාතාවරණය අපි හදනවා.”

අදාළ දුම්වැටිය ජනගත කිරීම පිළිබඳව විද්වතුන් බොහෝ පිරිසක් විරෝධය පළ කරන අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ‘මව්බිම’ වෙබ් අඩවියට ප්‍රකාශ කළේ, එයට විරෝධතාව දැක්වීමට (18) පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බවය.

තවද එහි තිබෙන අනතුරුදායක තත්ත්වය පිළිබඳව පැහැදිලි කර දීම සඳහා විමල් වීරවංශ අමාත්‍යවරයාගෙන් අවස්ථාවක් ලබා දෙන ලෙස තම සංගමය ඉල්ලා සිටින බවද වෛද්‍යවරයා පැවසීය.

මෙම දුම්වැටිය හඳුන්වා දීම හරහා මෙය ආරම්භක පියවරක් ලෙස ගෙන ළමුන් සහ වැඩිහිටියන් ඊළඟ පියවරක් ලෙස අනෙකුත් දුම්වැටි සහ අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතයට හුරු විය හැකි බවට වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා අනතුරු ඇඟවීය.

මෙවන්නක් ප්‍රවර්ධනය කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය හෝ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියෙන් අනුමැතිය ගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ද මෙම කරුණ පිළිබඳව ජනතාව දැනුවත් කර මෙය නිවැරදි කරන ලෙස ඉල්ලීමක් කරන බව වෛද්‍යවරයා පැවසීය.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියෙහි සභාපතිවරයාට ද මෙය නිවැරදි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කළ බව ඒ මහතා සඳහන් කළේය. මෙය වැරදි පූර්වාදර්ශයක් බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියෙහි සභාපති වෛද්‍ය සමාධි විශ්වනාත් රාජපක්ෂ මහතාගෙන් ද අපි මේ පිළිබඳව විමසීමක් කළෙමු.

ඒ මහතා ප්‍රකාශ කළේ, මෙය නිර්ලජ්ජිත උත්සහයක් බව ය. දුම්කොළ කර්මාන්තයේ යෙදෙන බහුජාතික සමාගම්වලින් ජනතාව දුම්පානයට ඇද ගැනීම සඳහා දරන උත්සහයක් ලෙස කුරුඳුවලින් නිෂ්පාදිත දුම්වැටිය ජනගත කිරීම ඒ මහතා හඳුන්වා දුන්නේ ය. එම සමාගම්වලට අවශ්‍යව ඇත්තේ, දුම්පානය ප්‍රවර්ධනය කිරීම බවටද සභාපතිවරයා චෝදනා කළේය. පසුගිය වර්ෂයන්හි සිදු කරන ලද සමීක්ෂණවලට අනුව දුම්කොළ කර්මාන්තය විශාල පසුබෑමකට මුහුණ දෙමින් පවතින බව අනාවරණය වූ බව ද ඒ මහතා හෙළි කළේය. දුම්කොළ භාවිත කරන්නන් සිටින්නේ මෙරට ජනගහනයෙන් 15%ක් පමණක් බවත් 48% පිරිසක් කිසිදු ආකාරයකින් දුම්කොළ භාවිත නොකරන බවත් ඒ මහතා පැහැදිලි කළේය.

දුම්කොළ භාවිතයක් නොමැති 48%ක පුද්ගලයින් පිරිස අතර මෙම දුම්වැටිය හරහා දුම්වැටි භාවිතය සාමාන්‍යකරණය කිරීමක් සිදු කිරීමට දුම්කොළ සමාගම් උත්සහ දරන බව සභාපතිවරයා පැවසීය.
තවද මෙරට දුම්කොළ භාවිත කරන කාන්තාවන් පිරිස 0.33%ක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මහා පරිමාණ දුම්කොළ කර්මාන්තකරුවන් මෙම දුම්වැටිය ජනගත කිරීම පිටුපස සිටින බවට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සැක කරන බව සභාපතිවරයා පැවසීය. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මෙම දුම්වැටිය ප්‍රවර්ධනය කිරීම නතර කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පැවසූ ඒ මහතා මේ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීම් ද බලධාරීන් වෙත කර ඇති බව පැහැදිලි කළේය.

අදාළ දුම්වැටිය සෞඛ්‍යාරක්ෂිත බව විමල් වීරවංශ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳව වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ කුරුඳු දුම් පානය සෞඛ්‍යාරක්ෂිත බවට අනුමත කර තිබේ ද යන්න ය.

– MB

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *