Type to search

ආණ්ඩුවේ ජනප‍්‍රියතාව හීන වූයේ ඇයි?

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ආණ්ඩුව ඉතා ඉක්මනින් නොසිතූ අර්බුදයකට මුහුණපාමින් සිටියි. එය නම් ජනප‍්‍රියතාව ශීඝ‍්‍රයෙන් අහිමි කරගනිමින් සිටීමය. මෙම තත්ත්වය කොවිඞ් නිසා ඇතිවූවක් නොවේ. ආණ්ඩුව ගත් හා ගනිමින් සිටින සෑම ක‍්‍රියාමාර්ගයක් තුළින් ම උද්ගතවූ විවාදාත්මක ප‍්‍රශ්නාවලියක ප‍්‍රතිඵලයකි. අදුරදර්ශී හා ඒකමානී පාලන රටාවක අනිවාර්ය තත්ත්වයක් තුළින් පැන නැගුණකි.

ජනාධිපතිවරයා මීට පිළියමක් ලෙස ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ප‍්‍රශ්න විමසා බලා ක්ෂණික නූඞ්ල්ස් වර්ගයේ පිළිතුරු දෙන ප‍්‍රතිපත්තියකට මාරුවී තිබුණත්, එය මහජන ආකර්ෂණය ඇතිකර ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයේදී අතීසාරයට අමුඩ ගැසීමක් බඳුව තිබේ. ආණ්ඩුවේ කටයුතු මිලිටරිකරණය කිරීම, හිතවතුන් නිදොස් කොට නිදහස් කිරීම, ජනාධිපති සමාව දීම යන කාරණා තුන සලකා බැලූවත් එම කරුණු තුනෙහිදීම ආණ්ඩුව අත් කරගෙන ඇත්තේ අපකීර්තියකි. ජනපතිට මිලිටරි ලෝකයෙන් තොර ලොවක් නැද්ද? නිදොස් කොට නිදහස් කරන අය කිසිම වරදක් කර නැද්ද? ජනාධිපති සමාව ඕනෑම තක්කඩියකුට, මිනීමරුවකුට දෙනවාද? මේවා දැන් විපාක්ෂිකයන්ගේ ප‍්‍රශ්න නොව, පාක්ෂිකයින් හැට නව ලක්ෂයේ ප‍්‍රශ්න බවට පත්ව තිබේ. එවිට ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය පිරිහෙන එක වැළැක්විය හැකිද?

කැලෑ කැපීම දිනපතා සිදුවෙයි. එවැන්නක් සිදු නොවන බවට ජනාධිපති අවස්ථා ගණනාවකදී ප‍්‍රකාශ කිරීමට සමාන්තරව ඇතැම් නිලධාරීන්ගේ අනුග‍්‍රහයෙන් කැලෑ කැපෙන බව ආරක්ෂක ලේකම් වෙතින් ප‍්‍රකාශ කැරිණි. ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙසුණු හිමිවරු ද කැලෑ කැපීමට එරෙහිව හඬ නගති. පාහියංගල ආනන්ද සාගර හිමියන් එය නිතර අවධාරණය කරන්නේ කැලෑ පාළුව නැවැත්වීම ආණ්ඩු හිතවාදීව කටයුතු කරන භික්ෂූන් වහන්සේලාගේ වගකීමක් බව කියමිනි. ඒ අනුව කිසිම කැලෑවක් නොකැපෙන බවට සාවද්‍ය ප‍්‍රකාශ කරමින් සිටින්නේ ජනාධිපතිවරයාය. මෙම අයාලේ යන හා සාවද්‍ය හැසිරීමද ආණ්ඩුවේ ජනප‍්‍රියතාව ශීඝ‍්‍රයෙන් හෝදා පාළුවීමට හේතුවී තිබේ. ඊළඟට බරපතළම කළු පැල්ලම ආණ්ඩුවට එක්වී තිබෙන්නේ වරාය විකිණීම පිළිබඳ ප‍්‍රශ්නයේදීය. නැගෙනහිර ජැටියේ මෙහෙයුම් කටයුතු 49%ක් අදානි සමාගමට දීම පිළිබඳව ඔවුන් කීවේ එය විකිණීමක් නොවන බවය. සමහර ඇමතිවරු කීවේ විකුණන බවය. අගමැති කීවේ කොටස් හිමිකමවත් ඉන්දියාව සතු නොකරන බවය. මෙම හැසිරීමට කියන අසභ්‍ය වචනයක් තිබේ. එම වදන භාවිත කිරීම ආණ්ඩුවේ මෙන්ම මෙම ලේඛකයා දක්වා කාගේත් ගෞරවයට හානියකි. අනතුරුව ආණ්ඩුව නිරත වූයේ ඉතා අවලස්සන ක‍්‍රීඩාවකය. නැගෙනහිර පර්යන්තය පිළිබඳව එල්ල වූ විරෝධය බෙදා දියකර හැරීමට බටහිර පර්යන්තය විකිණීම ඉදිරියට දැමීමෙන් හැකිවිය. එය ආණ්ඩුවේ වෘත්තීය සමිති අනුමත කරන්නක් වූයේ සැලසුම්සහගත ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙසිනි. එකට සිටි වරාය වෘත්තීය සමිති දැන් බෙදී ඇත. මේ කවර සම්පතක් වුව විකිණීමට එරෙහිව ප‍්‍රගතිශීලී ස්ථාවරයක කටයුතු කරනු පෙනෙන්නේ වෘත්තීය සමිති කිහිපයකි. මෙම බෙදීම නිසා බටහිර ජැටිය ගැන ආණ්ඩු හිතවාදී සංඝයා වහන්සේලාත් නිකාය භේදයටත් වඩා බෙදීමකට ලක්ව සිටිති. බුදුන් සරණ යනවාටත් වඩා ආණ්ඩුවේ සරණ ගොස් සිිටිනා ඇතැම් හිමිවරු බටහිර ජැටිය ගැන මීක් නොකියති. මේ නිසාම අද වන විට බටහිර ජැටිය විකිණීමට කැබිනට් අනුමැතියද හිමිවී තිබේ. රටේ සම්පත් විකිණීමට එරෙහිව සටන් පාඨයක් නිර්මාණය කොට මහජන කැමැත්ත ලබා ගත් ආණ්ඩුවක් රට දියුණු කරන කිසිදු වැඩපිළිවෙළක් නොමැතිව රටේ සම්පත් විකිණීම තම එකම වැඩසටහන හා අභිලාෂය බවට පත් කරගෙන තිබෙන තත්ත්වය තුළ ඔවුන් කුමන තත්ත්වයකට මුහුණ දිය හැකිද? නිසැකවම ආණ්ඩුව පිළිබඳව ඔවුන්ගේ හිතෛෂීවන්තයන් තුළ පවා උණුසුම පැවතිය හැක්කේ තවත් වසර දෙකක් වැනි සීමිත කාලයකට පමණය. ඉන්පසු ඔවුන් අවරෝහණ පටිපාටියෙන් ගමනක් යනු ඇත.

බුද්ධි මණ්ඩලයක් නැද්ද?

ගෝඨාභය රාජපක්ෂ මහතාට රටට වැඩක් කිරීමට වුවමනාවක් තිබුණි. තවමත් එම වුවමනාව නොතිබෙනවා යැයි කිව නොහැකිය වටේ සිටින සහචරයන් කවර වැරදි කළත් සිය ධුර කාලය තුළ රට සංවර්ධන ඉලක්කයකට යොමු නොකළහොත් එහි ඓතිහාසික වරද ජනපතිට භාර ගැනීමට සිදුවෙයි. ඒ නිසා ඔහු පළමුව සහචරයන්ගේ අවකල් ක‍්‍රියාකාරීත්වය අත්හිටුවිය යුතුව ඇත. කිසිම නායකයෙක් අපකීර්තියට ලක්වීමට කැමති නැත. එය ගෝඨාභයටත් අදාළය. බොහෝ විට අපකීර්තිමත් සහචරයන් නොසලකා ජනාධිපති හිතුමතේ වැඩ කරන තත්ත්වයක් දක්නට ලැබෙන්නේද ඔහු තුළ ඇති අධික වුවමනාව නිසා විය හැකිය. එහෙත් බරපතළම ප‍්‍රශ්නය වන්නේ ඔහු එසේ තනියම වැඩ කිරීමට තරම් දේශපාලන පරිචයක් ලබා නොතිබීමය. සොහොයුරාගෙන් තිළිණ ලද සහචර ඇමතිවරුන් කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමට ද ඔහුට නොහැකිය. මේ තත්ත්වය තනිකරම ජනපති පෙළන උභතෝකෝටිකයකි. ජනාධිපති රාජ්‍ය පාලනය විෂයෙහි මනා පරිචයක් ඇත්තකු වුව ව්‍යාවෘත විය යුතු විවිධ විෂයයන් අරභයා අදාළ බුද්ධි මණ්ඩලවල සහාය ලබාගත යුතුය. නිදසුනක් ලෙස පාසල් විෂය නිර්දේශයන්ට අදාළ පෙළපොත් අහෝසි කර Module ක‍්‍රමයකට යාමට මෙම කාලය තුළ සැලසුම් සකස් කැරෙන්නේ ඊට පක්ෂ එක් පාර්ශ්වයක තොරතුරු මත පමණක් බව දැනගැනීමට තිබේ. යම් ක‍්‍රියාවලියකට පක්ෂ පිරිස් යොදාගෙන වැඩ කරගත යුතුය. එහෙත් දිගු කලක් ස්ථාපිතව තිබුණු ක‍්‍රමයක් වෙනස් කරන විට පැවති ක‍්‍රමයේ සාධනීය ලක්ෂණ ද නව ක‍්‍රමයට උකහා ගත යුතුය. පැරණි ක‍්‍රමය මුළුමනින් නොසලකා එය සපුරා වෙනස් කිරීම උචිත නැත. මන්ද ඉන් අනතුරුව පැන නගින ප‍්‍රශ්න වඩා බලවත් විය හැකිය. අවසානයේ ප‍්‍රශ්නය පඹගාලක් වී විසඳීම උගහට විය හැකි ය.

ගෝඨාභය මහතා වියත්මග, එළිය වැනි සංවිධානවල සංවාදමාලාවලට සහභාගි වන කාලයේ ඔහු වියතුන්ගේ ඇසුර ලැබුවේය. එහෙත් බලයට පත්වූ පසු වියතුන් හැලීගොස් රොඩු බොඩු ඔහු සමග ඉතුරු විය. සමහරවිට රොඩු බොඩුවලට තනතුරු ලැබුණි. මේ නිසා අවසානයේදී සිදුවූයේ ඔහු වියතුන්ගෙන් වියෝවීමය. එම අත්දැකීම ලද වියත්හු අද මැසිවිලි නගති. මේ තත්ත්වය නිසා ජනපතිට උපදෙසක් ගැනීමට තරම් වියතකු ළඟපාතක නොමැතිවීම ඔහුට බලවත් පාඩුවකි. අද වන විට ජනාධිපති අනාගන්නවා නේද යනුවෙන් අසන්නේ ගෝඨාභය විරෝධීහු නොවෙති. ඔහුට ඡන්දය දුන් පිරිස්ය. ඒ ඇතැම්හු ගෝඨාභයට ඡන්දය නොදුන්නවුන් ලෙස හැසිරීමටද වෙර දරති. එය නායකයකුගේ කීර්තිය කෙමෙන් බිඳ වැටෙන විට ඇතිවන තත්ත්වයකි. අනෙක් අතට කවර වියතුන් ඔහු පෙර ඇසුරු කළත් ජනාධිපති වූ පසු ප‍්‍රධාන උපදේශකයා වූයේ ලලිත් වීරතුංගය. ලලිත් යනු නිදොස් කොට නිදහස්වීමෙන් යාන්තම් ජීවිත දානය ලද පුද්ගලයෙකි. එම තනතුර පෙර දවස දස වසක් කඹුට ලද සැනසුම් තිළිණ බඳුය. රාජ්‍ය සේවයට නුසුදුසු යැයි මුද්‍රාව වැදුණු පුද්ගලයෙකු ගෝඨාභය රාජපක්ෂ රජයේ ඉහළම තනතුරකට පත් කිරීමට සිදුවිය. ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිතිය යුතුව ඇත්තේ සියලූ ජනාධිපතිවරුන් ඉක්මවන වැඩ කන්දරාවක් කිරීමට පැමිණි තමන් මේ පත්වූ ඉරණම කුමක්ද යන්න ගැනය.

ගෝඨාභය මහතා රුවන්මැලි සෑය වඳින්නට නිතර යන බෞද්ධයෙකි. අනුරාධපුර ජනාධිපති නිල නිවසේ විශාල තාප්පයක් විවර කර රුවන්මැලිසෑය හොඳින් නිරාවරණය වන ලෙස සකසා ගත් බවක් අනුරාධපුරයේ පුරාවිද්‍යා නිලධාරියකු මෑතකදී මා සමග කීවේය. එසේ ජනාධිපතිවරයා රුවන්මැලි සෑය දෙස අනිමිස ලෝචනයෙන් බලාගෙන සිටින අවස්ථාවක හෝ තමන් යාමට පැමිණි ගමන වෙනස් වී වෙන ගමනක් යාමට සිදුව තිබෙන්නේ මන්ද යන්න ගැන එළඹි සිහියෙන් සිතා බැලිය යුතුය.

ආර්ථික වැඩපිළිවෙළක් නැතිකම

සුළු පරිමාණ නිෂ්පාදන හා කර්මාන්ත දියුණු කිරීම සඳහා අමාත්‍යාංශ ගණනාවක් ඇති කැරිණි. එහෙත් ඒ එකකදීවත් දීර්ඝකාලීන ප‍්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා පදනමක් දමා ඇති බවක් දක්නට නැත. බතික් අමාත්‍යාංශය සිදුකළේත් ප‍්‍රදර්ශන වැඩසටහන්ය. පිත්තල කර්මාන්තය, කොහු කර්මාන්තය ඇතුළු සෙසු කර්මාන්තවලට අදාළ අමාත්‍යාංශවල මොනවා කෙරෙනවාදැයි පැහැදිලි නැත. ජනාධිපතිවරයා ගම සමග පිළිසඳරට යනවිට මේ සමහර ඇමතිවරුන් යායුතුව ඇතත්, එවැන්නක්ද සිදුවන බවක් නොපෙනේ. නිදසුනක් ලෙස මාතලේ පිළිසඳරට යනවිට ලාක්ෂා හා සේසත් කර්මාන්තයට අදාළ විෂය භාර ඇමති එහි යා යුතුය. එහෙත් ජනාධිපතිවරයා යන ගම්වල ජනයා කෘෂිකර්මාන්තය හැර වෙනත් කර්මාන්ත නොකරන බවක් ද පෙනෙයි. ජනපතිගෙන් බොහෝ අය ඉල්ලා තිබෙන්නේ කැලේට යාමේ ඉඩ ප‍්‍රස්ථාවය. එසේ ඉල්ලන්නේ ඇත්ත ගම්වැසියන්ද, වෙන පිරිසක්ද යන්න ජනපති සොයා බලන බවක් නොපෙනේ. සැබැවින්ම ඒවා ජනපතිට කළ නොහැකි දේවල්ය. නිලධාරීන් සොයා බැලිය යුතු දේවල්ය. ජනපති කරන්නේ වනජීවී නිලධාරීන්ට සරල මට්ටමේ සත්තමක් දමා ගොවීන්ට කැලේට යාමට ඉඩදෙන ලෙස කීමය. රටේම ප‍්‍රශ්න විශ්ලේෂණය කර හඳුනා ගැනීමත් ජනපතිගේ පාර්ශ්වයෙන් සිදු නොවෙයි. ඔහු ගමින් ගමට ගොස් එකම වර්ගයේ ප‍්‍රශ්න විසඳන මහදැනමුත්තා ටයිප් නායකයකු වෙමින් සිටියි. ජනපතිවරයා ප‍්‍රායෝගික නොවුණහොත් කුරුම්බා බී ඒවා ළිඳේ වතුර යැයි කී විට ළිඳ තඩලන නායකයකු වන්නට ඔහුට සිදුවනු ඇත. පුහුල්ගෙඩිය අස්ස බිත්තරයක් යැයි සිතන මට්ටමට වැටෙන්නටද සිදුවනු ඇත. පුහුල්ගෙඩිය බිම වැටී දෙපළු වී හාවා පලා ගියදා මහදැනමුත්තාට සිදුවුණු දේ ජනපතිට සිදු නොවිය යුතුය.

ආණ්ඩුව බිඳ දැමීමට සැලසුමක් තිබේද?

ඇතුළත සිට යළිත් වතාවක් ගල්ලෙන බිඳින්නට ඉඩ නොදෙන බවට ප‍්‍රකාශයක් බැසිල්ගෙන් නිකුත් වී තිබුණි. එහි සංඥාව වන්නේ යම් පිරිසක් ආණ්ඩුව තුළින්ම ආණ්ඩුවට එරෙහිව කැරැුල්ලක් නිර්මාණය කරමින් සිටින බවද? ශ‍්‍රීලනිපයේ සමහරු මැසිවිලි නැගුවත් කිසිදාක එවැන්නක් නොවනු ඇත. එසේ නොකරන්නේ ඔවුන්ට එවැන්නකට කකුල් පණ නැති නිසාය. වම නමැති පරඬලා පතට එවැනි හැකියාවක් ද නැත. වීරවංස ගම්මන්පිල යනු ද රිමෝට් කොන්ට්‍රෝලයෙන් හසුරුවන රොබෝවරුය. එබැවින් ඇතුළත සිට ගල්ලෙන බිඳින්නට නම් කෙනකු නැත. යම් දවසක ආණ්ඩුව, කරන ක‍්‍රියාවලින්ම දුර්වල වී විපක්ෂයට ජනතාව ඡුන්දය දෙන තුරුම කැපී පෙනෙන ප‍්‍රගතියකින් තොරව ආණ්ඩුවට ඉදිරියට යා හැකිවනු ඇත.

විපක්ෂය ගොඩ නැගිය හැකිද?

අද විපක්ෂයට කළයුත්තේ සංවර්ධනාත්මක විවේචනයක්ද? (Constructive Criticism) එසේ කළයුත්තේ බලය තිබෙන කාලයේ යම් සාධනීය වැඩ කොටසක් කිරීමෙහි නිරත වූ විපක්ෂයක් වෙනුවෙනි. රටේ ලොකුම මූල්‍ය වංචාව සිදුවන තුරුත්, රටේ බිහිසුණුම අනතුරක් සිදුවනතුරුත් ඇස කන පියාගෙන සිටි විපක්ෂයත් ගැන අවශ්‍ය වන්නේ නිර්දය විවේචනයකි. ඒ අනුව ආණ්ඩුවත් විපක්ෂයත් යනු එකම කාසියේ දෙපැත්ත මිස අනෙකක් නොවේ. රටේ ජනතාව මෙම අවබෝධය ලබා ගන්නා තුරු රට අත් කරගනු ඇත්තේ පරාජයකි.

ගම සමග පිළිසඳරට සමාන්තරව අද වනවිට සජිත් පේ‍්‍රමදාස මහතාත්, ගම් වැදීම ලොකුම විහිළුවක් වී ඇත. එය ගෝඨාභයගේ පිළිසඳරටත් වඩා දුර්වල නාටකයකි. කාර්ය සාධනයක් නැති, විපක්ෂයේ සිටින විට කරන කාලය ගෙවා දැමීමේ ක‍්‍රියාවකි. ජනතාව තේරුම් ගත යුතු සත්‍ය වන්නේ මේ නායකයන් දෙදෙනාම අර්ථසම්පන්න දේශපාලනඥයන් නොවන බවය. දෙදෙනාම ගැඹුරක් නැති රටේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඉතා කුඩා සිතුවිලි ලෝකයක අතරමංවූ නායකයන් දෙදෙනෙක් බවය. ඔවුන්ගෙන් මිදිය හැකි මග ඇත්තේ කොහිද? ජනතාව කළයුත්තේ ඒ ගවේෂණයය. ඒ අභ්‍යාසයය.

– ravaya

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *