පානීය ජල යෝජනා ක්‍රමයක් සඳහා බෝපත් ඇල්ලද විනාශ කිරීමේ අනතුරක් – මහා සංඝරත්නය අනාවරණය කරයි

පානීය ජල යෝජනා ක්‍රමයක් සඳහා බෝපත් ඇල්ලද විනාශ කිරීමේ අනතුරක් - මහා සංඝරත්නය අනාවරණය කරයි

පානීය ජල යෝජනා ක්‍රමයක් සඳහා බෝපත් ඇල්ලද විනාශ කිරීමේ අනතුරක් - මහා සංඝරත්නය අනාවරණය කරයි

පානීය ජල යෝජනා ක්‍රමයක් සඳහා සැලසුම් කිරීම තුළින් කුරු ගඟේ කුරුවිට පිහිටි දර්ශනීය බෝපත් ඇල්ලද විනාශ කිරීමේ අනතුරක් මතුව ඇතැයි මහා සංඝරත්නය අනාවරණය කරයි.

නව ජල යෝජනා ක්‍රමයට අවශ්‍ය ජලය බෝපත් ඇල්ල ඇලිකට මුදුනේ ගඟ හරස්කර බැම්මක් මැද ලබා ගැනීමට සැලසුම් කර ඇති බව බෝපත් අසපුව විහාරාධිපති සහ පරිවේනාධිපති තෙප්පනාවේ පියදස්සී හිමියෝ පවසති.

පානීය ජල යෝජනා ක්‍රම ඕනෑතරම් සැකසිය හැකි වුවත් බෝපත්ඇල්ල වැනි මනස්කාන්ත ස්වභාවික දියඇල්ලක් මේ ආකාරයට සැකසිය නොහැකි බවද උන්වහන්සේ කියති.

බෝපත්ඇල්ල අසපුවේදී (17) සවස රැස්වූ බෝපත්ඇල්ල සුරැකීමේ සංවිධානය විසින් කැඳවා තිබූ සාකච්ඡාවකදී පියදස්සි හිමියෝ මේ බව පැවසූහ.

එහිදී අදහස් දැක්වූ තෙප්පනාවේ පියදස්සී හිමියෝ පැවසුවේ විවිධ විජාතික සහ ජාතික බලවේග වරින් වර බෝපත්ඇල්ල විනාශ කිරිමට නොයෙක් මුහුණුවලින් කරළියට පැමිණි බවයි. මීට පෙර පුද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදිකිරිමට උත්සාහ ගත් බවත් මහජන විරෝධයන් හමුවේ එකී සැලසුම් අකුලාගත් බවත් උන්වහන්සේ පැවසූහ. දැන් ජනතාවට පානීය ජල පහසුකම් ලබා දෙන්න යැයි ජනතා අවශ්‍යතාව නම් කැරට් අලය ඉදිරියට දමා බෝපත් ඇල්ල විනාශ කිරීමේ සැලසුමක් සකස්කර අවසන් බවද උන් වහන්සේ කීහ.

මහජනතාවට පානීය ජලය ලබාදීමට තමන් වහන්සේ කිසිවිටක විරුද්ධ නැති බව අවධාරණය කළ පියදස්සී හිමියෝ ඒ සඳහා බෝපත් ඇල්ලේ ඉහළින් නොව ඇල්ලට පහළින් කුරුගඟේම පිහිටි පන්වලෙන් ජලය ලබාගන්නැයි ඉල්ලා සිටියහ. එවැන්නකට කිසිම කෙනෙක් විරුද්ධ නොවන බව කී උන්වහන්සේ එවිට බෝපත් ඇල්ලත් ආරක්‍ෂාවී මහජනතාවගේ පානීය ජල උවමනාවද සපිරෙන බව පැහැදිලි කරති.

තමන් වහන්සේද රැස්ව සිටින මහජන නියෝජිතයන්ගේ ඇතුළු පොදු ජනතාවගේ ද හඬට කන්නොදී බෝපත් ඇල්ල ඉහළින් ම මෙම පානීය ජල ව්‍යාපෘතියට වතුර ගැනීමට කටයුතු කළහොත් අපවත්වන තුරු උද්ඝෝෂණය කර හෝ බෝපත් ඇල්ල රැකගන්නේ යැයිද පවසති.

බෝපත්ඇල්ල සුරැකීමේ සංවිධානයේ සභාපති මාධ්‍යවේදී එල්. රුවන් ලියනගේ මහතා පැවසුවේ ගඟ ඉහළ ඇති පුද්ගලික ජල විදුලි බලාගාරවලින් පායන කාලයට විදුලිය නිපදවීමට ගඟේ ජලය හරස්කර නළ මගින් පහළට ගැනීම නිසා ගඟ දෙපස පාරිසරික ගැටලු දැනටමත් ඇතිවී තිබෙන බවයි. ඒනිසා ඇතැම් දිනවල බොපත්ඇල්ල පැය කිහිපයක් කේඩෑරිවී ජලය නොමැතිව කුඩා දියපාරක් සේ දිස් වෙද්දී ස්ථිරවම ගඟේ වතුරපාර වෙනතකට ගැනීමේදී බෝපත්ඇල්ල ගැන කවර කතාදැයි කියා සිටී.

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් මෙන්ම ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කුරුවිට ප්‍රාදේශීය සභා සභික ආර්.ඩිලාන් දර්ශන රණසිංහ මහතා පැවසුවේ මෙම පානීය ජල යෝජනා ක්‍රමය අලුත් එකක් නොව 2013- 2014 කාලයේ සැලසුම් කර ප්‍රතිපාදන නොමැතිව අතරමග නවතා තිබූ පුවක්වත්ත පානීය ජල යොජනා ක්‍රමය යළි ක්‍රියාත්මක කිරිමක් බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *