කොරෝනා මර්ධනයයේදී මුස්ලිම්වරුනට අසාධාරණයක් සිදුවීද ?

කොරෝනා මර්ධනයයේදී මුස්ලිම්වරුනට අසාධාරණයක් සිදුවීද ?

කොරෝනා මර්ධනයයේදී මුස්ලිම්වරුනට අසාධාරණයක් සිදුවීද ?

– කොරෝනා රෝගය මර්ධනයට මෙරට මුස්ලිම් ප්‍රජාව ප්‍රමාණවත් දායකත්වයක් නොදක්වන බවට චෝදනා නගන්නෝ බොහෝය. එහෙත් මුස්ලිම් සමාජය හා සාකච්චා කොට ඔවුන්ගේ කෝණයෙන් බලා ගැටළුව පිළිබඳ කෙරෙනා විශ්ලෙෂණයන් දුලබය. මේ මුස්ලිම් ප්‍රජාව සෞඛ්‍ය සේවකයන් සහ කොවිඩ් මර්ධනයට අදාල රාජ්‍ය සේවකයන් හා සාකච්චා කොට the colombopost වෙබ් අඩවිය වෙනුවෙන් මාධ්‍යවෙදිනී කලාවර්ෂ්ණී කනගරත්නම් ලියු ලිපියකි –

හැමෝම කතාකරන මොකක්ද මේ අටුළුගම?

කලුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම අසනයේ පිහිටි අටුළුගම, මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත්වන ප්‍රදේශයකි. කළුතර දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය වැඩිම ගම්මානය වන මෙහි අතිමහත් බහුතරයක් විවිධ ව්‍යාපාරවල නියැලෙන්නෝය. සමස්ත අටුළුගම වාසීන්ගෙන් 80%ක් පමණ දෙනා ප්‍රධාන ජීවනෝපාය ලෙස කුළුබඩු ව්‍යාපාරය කරගෙන යයි. ඔවුන් මතුගම හා රත්නපුර ප්‍රදේශවලින් එකතු කර ගන්නා ලද කුළුබඩු ද්‍රව්‍ය, අතරමැදියන් වී, විකිණීමට වෙළෙන්දන් වෙත ලබා දෙයි.

Source – Atulugama Youth Organization

තිහාරිය ගම්මානයේ විස්තර

තිහාරිය ඉතා ජනාකීර්ණ ප්‍රදේශයකි. රටේ අනෙක් ප්‍රදේශ හා සාපේක්ෂව සැළකීමේදී ඉහළ ජන ඝනත්වයක් දැකිය හැකි ප්‍රදේශයකි. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ, පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානය හා කොළඹ මැනිං වෙළෙඳ පොළෙහි රැකියා සඳහා තිහාරියේ ජනතාව දෛනිකව ගමනේ නිරතවේ.

Source-Thihariya Former GS

පී-සී-ආර්- අභිමුවෙහි පසුබට වීමට හේතුව ලෙස තිහාරිය හා අටුළුගම ප්‍රදේශවාසීන් පවසන දේ :

“වසංගත තත්ත්වය මුවාවෙන් වෙන් කොට සැලකීම,පී-සී-ආර්- පරීක්ෂණ ප්‍රතිඵල පැමිණි විට අදාළ මධ්‍යස්ථාන වෙත ආසාදිතයන් රැගෙන යාමට ප්‍රමාද වීම, බලහත්කාරයෙන් පී-සී-ආර්- පරීක්ෂණවලට ගැනීම නිසා ඇති වූ බිය, මෘත දේහ ආදාහනය, නිරෝධායනය සඳහා ඉතා දුර ප්‍රදේශවලට රැගෙන යෑම සහ මාධ්‍ය විසින් පී-සී-ආර්- පරීක්ෂණ පිළිබඳව ඇති කරපු අනියත බිය හේතුවෙන් ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා පසුගාමීස්ථාවරක් දැරීමට හෙතුවූ බවය …”

අටුළුගම ව්‍යාපාරික ෆර්හාන් සමඟ සාකච්ඡාවේදී ඔහු පැවසුවේ, ”අපි දැන් දින 50කට වැඩි කාලයක් හුදෙකලා වෙලා ඉන්නවා. මෙහේ පවුල් 17,000 ක් හා වෙළඳසැල් 300 ක් හෝ 350 කට වඩා තියෙනවා. අපිට, අසල්වාසී නගර වන පානදුර, බණ්ඩරගම, කළුතර සහ මොරටුව යන නගරවල රූපලාවණ්‍ය වෙළඳසැල් සහ ඇඟලුම් වෙළඳසැල් තියෙනවා. කෝවිඩ් රෝගීන් විදිහට අපිව හංවඩු ගහලා තියෙන නිසා අපිට සාප්පු විවෘත කරන්න එපා කියනවා. මේ විදිහට කොරෝනා රෝගය හේතුවකට අරගෙන අපිට වෙනස්කම් කරනවාද කියලා සැකයි. මේ ළඟදි එක්කෙනෙකුගේ කකුලක් කැපිලා තුවාල වෙලා රජයේ රෝහලකට ඇතුළත් කළා. එයා අටුළුගම නිසා කවුරුත් ළඟට ආවෙවත් නෑ. ෆර්හාන් පවසනුයේ වෙන් කොට සැලකීම ඔවුනට දැනෙනා හැටිය.

“මුලදී පී-සී-ආර්- පරීක්ෂණ 300 ක් 400 ක් විතර කළා. ආසාදනය වෙලා කියලා තහවුරු වෙච්ච අයව අරගෙන යන්න ඉක්මනින් ආවෙ නෑ. විශේෂයෙන් ඒ පිරිසට අයත් එක් පුද්ගලයෙකු ව අරගෙන ගියේ දින 10 කට පස්සේ. එතකල් ඔහු ගමේ හැමතැනම ඇවිදලා ලෙඩ පතුරවලා ඇති. ඒ වගේ ගැටළු අපේ පැත්තෙ සිද්ද වෙලා තියෙනවා. පස්සේ පුද්ගලයින් 500ක් විතර පරික්ෂා කලාම ඒකෙන් 180ක් විතර ආසාදනය වෙලා කියලා දැනගත්තා. එයාලව දින 7ක් 10ක් වෙනකල් මෙහෙමයි තියාගත්තෙ. අපේ පැත්තේ නූගත් අය ගොඩක් ඉන්නවා. එයාලා කිසිම සංයමයක් නැතුව හැම තැනම ඇවිදිනවා. රෝගයේ බරපතලකම එයාලට තේරෙන්නේ නැහැ. පොලිසිය ඉන්නේත් ගමේ සීමාවෙන් එළියේ. ආසාදිතයන්ව දින 10කට පස්සේ අරගෙන ගිහිං දින 5, 6කට පස්සේ ආපහු එවනවා.” ඒ බොහෝ දෙනෙක් නොදන්නා කතාවක කොටසකි.

අටුළුගම පල්ලිය

ප්‍රදේශය වසා දමා දවස් 2කට පස්සේ, ජංගම ඒටීඑම් එකක් එනවා කිව්වම මුදල් ගන්න ගියා. එතකොට බලෙන් අල්ලලා පී-සී-ආර්- කරපු නිසා මිනිස්සු බයවුනා. මෙහෙ අපිට වැඩකරන ක්‍රමයක් තියෙනවා. පල්ලිය හරහා ඕන එකක් කිව්වොත් අපි පිළිගන්නවා. ඒත් අපිව බලෙන් ත්‍රස්තවාදීන් වගේ අල්ලාගත්තම බයවුනා. ඒ නිසා තමයි මුලින් අදිමදි කලේ. තත්වය පැහැදිලි කළාට පස්සේ අපේ මිනිස්සු පී-සී-ආර්-වලට ඉදිරිපත් වුණා.

“දැන් අපිම සැලසුම් කරලා අපේ ජනතාව ස්වයං හුදෙකලා වෙලා ඉන්නවා. අපි ඒ සඳහා කණ්ඩායමක් පිහිටවලා අවශ්‍ය දේ කරනවා. මිනිස්සු දැනට ගෙවල්වලටම වෙලා ඉන්නවා. ඇත්තටම මේ විදිහට අපේ ප්‍රදේශය ඉලක්ක කෙරුවේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. එයාලා දිගටම අපිට ඒ විදිහට සලකනවා.” ඒ ෆර්හාන්ලාගේ පැත්තේන් කියනා කතාවය

ෆර්හාන් විසින් මෙසේ නගන ලද චෝදනා සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය වෛද්‍ය සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

උපුල් රෝහණ

”අපි කිසිවෙකු බලෙන් අල්ලා පී-සී-ආර්- පරීක්ෂණ කළේ නැහැ. ආසාදනයෙන් පසු කෝවිඩ් ව්‍යාප්තිය අපි විශ්ලේෂණය කරමින් ඉන්නේ. පී-සී-ආර්- පරීක්ෂණ සඳහා පැමිණෙන ලෙස අපි අවදානම් සහිත ප්‍රදේශවල පුද්ගලයින්ට ආරාධනා කරනවා. නමුත් ඔය ප්‍රකාශ කරපු ප්‍රදේශවාසීන් පරීක්ෂණ සඳහා නොපැමිණීමේ ගැටලුව අපට තිබුණා. ‘සම්බන්ධතා ලුහුබැඳීම‘ යන්න භාවිතා කරමින් යමෙක් ආසාදිතයා සමඟ සිටියාද, කොපමණ කාලයක් සිටියාද, කොපමණ පිරිසක් එහි සිටියාද, මුඛාවරණ පැළඳ සිටියාද ආදී සියල්ල විශ්ලේෂණය කරනවා. නමුත් ඔවුන් සහයෝගය දීම ඉතා අල්පයි.

ආසාදිත පුද්ගලයින් හුදකලා මධ්‍යස්ථානවල තැබීම අපේ රටේ නීතියයි. ඉහත ප්‍රදේශවාසීන් කියනවා ඔවුන්ම තමන්ගේ ගමේම නිරෝධායනය වෙනවා කියලා. අටුළුගම හා තිහාරිය යන ප්‍රදේවල එවැනි වෙනම නීතියක් ක්‍රියාත්මක කරන්න බැහැ. මෙම ගැටළුව මුස්ලිම්වරුන් වාසය කරන බොහෝ ප්‍රදේශවල දී මතුවෙනවා. බම්බලපිටිය, වැල්ලවත්ත, තිහාරිය සහ කාතන්කුඩි යන ප්‍රදේශ මෙවැනි සහයෝගය නොදක්වන ප්‍රදේශයි.”

පී-සී-ආර්- පරීක්ෂණ පිළිබඳව අටුළුගම ප්‍රදේශවාසී ඉස්මයිල් (නම වෙනස් කර ඇත) මෙසේ අදහස් දක්වයි.
”කොරෝනා පරීක්ෂණ මුලින් ප්‍රතික්ෂේප කළ බව ඇත්ත. ඒකට හේතුව ඔවුන් ආසාදිත පුද්ගලයෙකුව හුදකලා නොකිරීම සහ උපදෙස් ලබා නොදීම. ඒ නිසා ඒ පරීක්ෂණ තේරුමක් නෑ කියා හිතුව නිසා මුලින් සහයෝගය දුන්නේ නැහැ. ‘වසා දැමීම‘ කියලා කිව්වට අපේ මිනිස්සු ගම ඇතුලේ නිදහසේ සැරිසැරුවා. ඒකට හේතුව පොලිසිය හිටියේ ගමේ සීමාවෙන් එහා නිසයි. අපේ පැත්තේ උගත් මිනිස්සු අඩුයි. ඒ වගේම රජයේ දෙපාර්තමේන්තුවල තීරණ ගැනීමේ අංශවලත් එහෙමට අවබෝධයක් නැහැ. මේ ප්‍රශ්නය මෙතරම් දුරට යන්න හේතුව මේකයි.”

මෙම උක්ත ප්‍රකාශයද මහජන සෞඛ්‍ය වෛද්‍ය සංගමයේ සභාපති උපුල් රෝහාණ මහතාට යොමුකළ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

”ආසාදිත බව තහවුරු වීමෙන් පසු නිවාසතුළට වී සිටීම රටේ සෑම පුරවැසියෙකුගේම යුතුකමක්. ගමේ හැමතැනම ඇවිදිමින් රෝගය පතුරුවන්න සුදුසු නෑ. අපි කවදාවත් දින 8, 10 ක් පසුවෙනකල් ඉන්නේ නෑ. අපි මුලින්ම නිරෝධායන මධ්‍යස්ථානවල ඇති ඇඳන් පහසුකම් හා ප්‍රවාහන පහසුකම් පරීක්ෂා කරනවා. මේ වෙනකොට දිනකට පුද්ගලයින් 500 ක් පමණ ආසාදනය වෙන බව තහවුරු වෙනවා. කොහොම නමුත්, අපි හැමෝටම එක හා සමානව සලකනවා. ඇත්ත වශයෙන්ම මෙය මෙම ජනතාවගේ ගැටලුවක් නෙවෙයි. නමුත්, ඔවුන් අතර සමහර අන්තවාදී සංවිධාන තියෙනවා. මේ අය තුළින් ඉස්මතු වන්නේ ඔවුන්ගේ චින්තනයයි.”

නිරෝධායනයට රැගෙන යෑම

මෙවැනි වාතාවරණවලදී රෝග පිළිබඳව මහජන දැනුවත්භාවය අතිශයින්ම වැදගත් ය. ස්වයං නිරෝධායනය කාලීන අවශ්‍යතාවයක් වෙමින් පවතී. මෙම වසංගත ඛේදවාචකයේ ජනතාවගේ කාර්යභාරය අතිමහත් ය. රෝග ලක්ෂණ නොමැති නමුත් පරීක්ෂණවලින් ආසාදිතබව හඳුනාගතහොත්, පොලිසියේ හෝ නිසි අධිකාරිත්වයක බලපෑමකින් තොරව වූවද නිරෝධායනය කරා යොමුවීම සෑම පුරවැසියෙකුගේම ජාතික යුතුකමකි.

උක්ත ප්‍රස්තුතය පිළිබඳ ව අටුළුගම තරුණ සංගමයේ සාමාජික එම්.එච්.එම්. ෆායික් මෙසේ අදහස් දැක්වීය. ”මාධ්‍යයන් මිනිස්සුන්ට චෝදනා එල්ල කළත් ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව වාර්තා කරන්නේ නැහැ. අටුළුගම 4 දෙනෙක් ආසාදිතයො කියලා ඒ ඒ අය රැකියා ස්ථානවලදී කරපු පරීක්ෂණවලින් එළිවුනා. ඊට පස්සේ අපේ පැත්තේ පී-සී-ආර්- කරන්න පසුගිය නොවැම්බර් 18වෙනිදා එන්න කිව්වා. රෝගය හැදිලානම් එයාලට දුර පැතිවලට යන්න වෙනවා. දවස් 14ක්ම එහෙ ඉන්නත් වෙනවා. පවුල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න එක්ක මේක හරි අමාරුයි. මුලින් මිනිස්සු අකැමැති උනේ ඒකයි. පස්සේ වහලා තිබ්බත් කඩවල් ඇරලා නිදාගෙන හිටපු මිනිස්සුන්ව නැගිට්ටුවලා බලෙන් පී-සී-ආර්- කරන්න එක්කගෙන ගියා. මේකෙන් බය තවත් වැඩි වුණා. මේවගේ දේවල් ගැන මොකුත් කියන්නේ නැතිව, පී-සී-ආර්- පරීක්ෂණ සඳහා ගියේ නැති බව හා සහයෝගය නොදෙන බව විතරක් ගොඩක් මාධ්‍ය ප්‍රකාශ කළා.”

මෙවැනි වතාවරණයක් හමුවේ රාජ්‍යයේ සහ මාධ්‍යයේ වගකීම පිළිබඳව ද අප අවධාරනය කළ යුතුය. මෙම රෝගය මුල සිටම පුළුල් ලෙස වාර්තා වී ඇතත් එය නිල වශයෙන් සමාජයේ පැතිරී නොමැත. මධ්‍යස්තවූ මාධ්‍ය වාර්තාකරණයක් අත්‍යාවශ්‍ය ය. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය වාර්තාකරණය ජනතාව ආකර්ෂණය කර ගැනීමට අසමත් වී ඇත. නිල සමාජ වෙබ් අඩවි තුළින් ජනතාව සරලමතිකව දැනුවත් කිරීම් ක්‍රියාත්මක කළ යුතුව තිබුණි. මෙම දැනුමේ දුරස්ථභාවය නිසා ජනතාවෝ භීතියට පත්ව සිටිති. අටුළුගම වැසියන්ගේ පමණක් නොව තවත් බොහෝ ප්‍රදේශවල ජනතාවගේ තත්වය මෙසේය.

මෙම අර්බුදකාරී අවස්ථාවේදී තවත් ගැටළුවක් පැන නැගී තිබුණි. ඒ ආසාදිතයෙකු ලෙස හඳුනාගත් පුද්ගලයෙකු සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ගැසීමය. මේ ගැන විමසූ විට, එම්.එච්.එම්. ෆායික් ඊට මෙසෙ පිළිතුරු දුන්නේය.

”සෞඛ්‍ය පරීක්ෂකවරයාට කෙළ ගහපු සිද්ධියක් තියෙනවා. නමුත් ඔහු එදා මත් වෙලා හිටියේ. එහෙම කෙළ ගැසීම වැරදියි. ඒ වැරැද්ද පිළිගන්නවා. හැබැයි ඒකෙ අනෙක් පැත්ත කියන්න ඕන. එයා ආසාදිතයි කියලා ඔප්පු වුනාට පස්සෙ දින 12 ක් යනකල් කවුරුත්වත් ඔහුව අරගෙන යන්න ආවෙ නෑ. මේ නිසා මිනිස්සු බය වෙනවා.” යැයි එම්.එච්.එම්. ෆායික් තවදුරටත් පවසන්නේය.

ඕනෑම වාතාවරණයක මෙවැනි අනුචිත හැසිරීම් සම්බන්ධව වගකිවයුත්තන්ගෙන් අපි ප්‍රශ්න කර සිටියෙමු. මහජන සෞඛ්‍ය වෛද්‍ය සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගේ ප්‍රතිචාරය කුමක්ද?

“ඒ ප්‍රදේශවල සමහර උගත් තරුණයින් කිව්වා එයාලා අපට සහයෝගය දක්වනවා කියලා සහ ඒකට පල්ලියේ ඔවුන්ගේ ආගමික නායකයන් සමඟ සාකච්ඡා කරනවා කියලා. ආගමික නායකයන් කියන දේ එම ජනතාව පිළිගන්නා බවත් පැවසුවා. අපගේ අරමුණ වන්නේ රෝගය පාලනය කිරීමයි. ඒ නිසා අපි එම ක්‍රියාමාර්ගයනුත් ගත්තා. නමුත් ඇතැමුන් ආගමික නායකයන් පවසන දේවත් පිළිගත්තේ නැහැ. පී-සී-ආර්- පරීක්ෂණය සඳහා 500කට එන්න කිව්වොත් එන්නේ 100ක් විතරයි. අටුළුගම තුළ තවමත් ඒ තත්වය තියෙනවා.”

අටුළුගම ප්‍රදේශයේ පී-සී-ආර්- පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව බණ්ඩරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසූ විට ඔවුන් ප්‍රකාශ කළේ ඔක්තෝබර් පළමු සතියේ සිට ජනවාරි පළමු සතිය දක්වා පුද්ගලයින් 4076දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති බවත් ඔවුන්ගෙන් 1020දෙනෙකු ආසාදනය වී ඇති බවත්ය. වෙනත් ආකාරයකින් කිවහොත් පරීක්ෂා කල සෑම 4දෙනෙකුගෙන් එක් අයෙකු ආසාදිතය.

Source – Bandaragama – MOH

අටුළුගම සහන සේවා කටයුතු පිළිබඳ රජයේ නිලධාරියෙකු අප වෙත මෙසේ ප්‍රකාශ කරන ලදී.

”මේ පැත්ත දිගු කාලයක් හුදෙකලා කරලා නිසා ජනතාව අසීරුතාවයන්ට මුහුණ දෙනවා. මෙම තත්වය දිගටම තිබ්බොත් ඔවුන්ගේ තත්වය තවත් නරක අතට හැරෙන නිසා ඔවුන් දැන් ස්වයං තීරණ මත නිරෝධායනය වෙනවා. කොරෝනා කියලා දෙයක් නොමැති බව ඔවුන් පවසනවා. අනික අන්‍යෝන්‍ය වශයෙන් බොහෝ අය ඒකරාශීවීම් සිදුවෙනවා. ඒක හොඳ දෙයක් උනත් කොරෝනා වැනි වසංගත කාලයකදී ඒක සුදුසු නෑ. රෝගයේ බලපෑම ගැන ඔවුන් දැනුවත් නම් ඔය වගේ දේවල් වෙන්නෙ නෑ. ඒ වගෙම රජයේ වැඩපිළිවෙලවල් සමග සහයෝගයෙන් වැඩ කරන්නත් උවමනා වෙනවා.”

තිහාරියේ ජනතාව පී-සී-ආර්- පරීක්ෂණ ප්‍රතික්ෂේප කළාද?

අපි විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකුගෙන් මේ ගැන විමසුවෙමු. ”පී.සී.ආර්. පරීක්ෂණ ගැන මුලදී වැරදි හැඟීමක් තිබුණ නිසා ඒකට මුහුණ දෙන්න මෙහෙ අය බය උනා. මේ නිසා මුලදී ටිකක් අදිමදි කලා. නමුත් මුස්ලිම් පල්ලිවල පාලක මණ්ඩලයේ සාමාජිකයන්, කොවිඩ් මුලිනුපුටා දැමීමේ කමිටුවේ සාමාජිකයින්, රජයේ නිලධාරීන්, බුද්ධිමතුන් සහ දේශපාලන පුද්ගලයින්ගේ මඟ පෙන්වීමෙන් පසුව ජනතාව කැමැත්තෙන් පී-සී-ආර්- පරීක්ෂණවලට ආවා. නමුත්, සමහර ජාතිවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අපගේ ප්‍රජාව ගැන වැරදි තොරතුරු පැතිරෙව්වා. සමගියෙන් ජීවත්වන අපි අතර ප්‍රශ්න ඇති කරන්න සමහර අය හිතාමතාම අනවශ්‍ය ප්‍රවෘත්ති පතුරුවමින් ඉන්නවා.”

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය වෛද්‍ය සංගමයේ සභාපතිවරයා උක්ත ප්‍රකාශයද ප්‍රතික්ෂේප කළේය.

“දෙමළ, සිංහල සහ මුස්ලිම් කියලා අපි කිසිම වෙනස්කමක් කරලා නැහැ. පී-සී-ආර්- එක් පරීක්ෂණයකට ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 6000 ක් වැයවනවා. ඒ නිසා අවශ්‍ය අයට පමණක් එම පරීක්ෂාව කරන්න රජය උපදෙස් දීලා තියෙනවා. ඒ නිසයි අපි නිසි විශ්ලේෂණයක් කරන්නේ.

පී-සී-ආර්- පරීක්ෂණය සඳහා තෝරා ගැනීමේ ක්‍රමය:

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු සමඟ අයෙකු කොපමණ කාලයක් ආශ්‍රය කලාද?, ආසාදිත පුද්ගලයා මුඛ ආවරණයක් පැළඳ සිටියාද? ඔහු සමඟ දැන හඳුනා ගත් අය මුඛ ආවරණයක් පැළඳ සිටියාද? ඔවුන් පවත්වාගෙන ගිය දුරස්ථභාවය කෙසේද? මෙලෙස ක්‍රමවත්ව පවත්වන ලද විශ්ලේෂණවලදී ඔවුන් සිංහල, ද්‍රවිඩ හෝ මුස්ලිම් ද යන්න අපි බලන්නේ නෑ. ඒක වටහා නොගෙන, මෙම පුද්ගලයින් පරීක්ෂණ සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරනවා. එය පාලනය කිරීම දැන් විශාල ප්‍රශ්නයක්.

පසුගිය දෙසැම්බර් 18 ඉදලා අටුළුගම ප්‍රදේශයේ කිසිම පී-සී-ආර්- පරීක්ෂාවක් කරලා නැහැ. අපි නැවතත් ජනවාරි මාසයේ ආරම්භ කලා. සාපේක්ෂව දැන් ආසාදනය තරමක් අඩුවෙලා. ඔවුන් කියන්නේ මිය ගිය පසු සිරුරු ආදාහනය කිරීමත් ගැටළුවක් කියලා. නිරෝධායන කඳවුරුවල පහසුකම් මදි කියලා ඔවුන් කියනවා. පී-සී-ආර්- පරීක්ෂණය විශ්වාස කළ නොහැකි සහ ව්‍යාජ එකක් කියලා මතයකුත් ඔවුන් අතර තියෙනවා. ඒ වගේම සැබෑ තත්වය අනාවරණය වෙන්නෙත් නෑ.”උපුල් රෝහණ මහතා පැවසුවේය.

ඉහත වගුවේ දක්වා ඇති පරිදි ප්‍රදේශයේ සිදු කරන ලද පර්යේෂණාත්මක දත්ත අනුව 2020 දෙසැම්බර් වන විට පුද්ගලයින් 72දෙනෙකුට කෝවිඩ් ආසාදනය වී ඇත. ඇතැමුන් රෝහලකට ගොස් පිටතට යන විට සිදු කරන පී-සී-ආර්- පරීක්ෂණවලදී ආසාදිතයන් බව තහවුරු වී ඇති අතර ඒවා ඒකාබද්ධ කළහොත් මුළු සංඛ්‍යාව 115 කි.
“මෘතදේහ අනුකම්පාවක් නැතිව පුළුස්සා දාලා අළු කරනවා. ජනතාවගේ හැඟීම්වලට ගරු නොකර ක්‍රියා කිරීම මානසිකව අපට බෙහෙවින් බලපාලා තියෙනවා. මිය ගියත් මේ ආකාරයෙන් අපව පුළුස්සා දායි කියන බිය තවමත් අපි අතර තියෙනවා.” තිහාරියේ සිට අක්‍රම් (නම වෙනස් කර ඇත) පැවසීය. කොරෝනා ආසාදිත මෘතදේහ භූමදානයට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර දී තිබේ. එසේම මුඛාවරණ පැළැදීම අනවශ්‍යය යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ප්‍රකාශයද අමතක නොකළ යුතුය.

කොරෝනා ආසාදිත මෘතදේහ පුළුස්සා දැමීම

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (එම්.සී.එස්.එල්) සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මිය ප්‍රකාශ කළේ මෘතදේහ මගින් එය පැතිරීමට ඉඩක් නොමැත කියාය. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ මස 7වන දින පාර්ලිමේන්තුවට කියා සිටියේ රජය විසින් පත් කරන ලද විශේෂඥ මණ්ඩලයේ නිර්දේශය වන්නේ කොරෝනා ආසාදිත මෘතදේහ පුළුස්සා දැමීම බවත් රජය එය අනුගමනය කරන බවත් ය. අටුළුගම සහ තිහාරියේ ජනතාව කියා සිටියේ මෙය ද මුස්ලිම් ප්‍රජාව පී-සී-ආර්- පරීක්ෂාවට ලක් කිරීමට අකමැති වීමට හේතුවක් බවයි.

රජය විසින් සපයන ලද සහන පිලිබඳව අපි විමසුවෙමු. අටුළුගම වැසියන් කියා සිටියේ තමන්ට දෙවරක් ආහාර දාව්‍ය හා භාණ්ඩ ලබා දී දෙවරක් රුපියල් 5000ක් වශයෙන් ද ගෙවා ඇති බවයි. නගරයේ වෙළෙන්දන්ගේ ද සහාය ඇතිව සෑම කෙනෙකුටම භාණ්ඩ සහ සෑම පවුලකටම රුපියල් 2000ක් බැගින් ද ලබා දුන් බවත් ඔවුහු තවදුරටත් පැවසූහ. අටුළුගම ෆර්හාන් සඳහන් කළේ ප්‍රදේශය හුදකලා කිරීම නිසා රුපියල් මිලියන ගණනක ආදායම් අහිමි වී ඇති බවයි. තවද හුදකලාබව හේතුවෙන් මාස දෙකකදී පමණක් රුපියල් කෝටි 500ක ආදායමක් අහිමි වී ඇති බව තමා ගණනය කළ බව ද ඔහු පැවසීය.

ජාතීන් අතර සමගිය

සමස්තයක් වශයෙන්, පී-සී-ආර්- පරීක්ෂණ සදහා අදිමදි කිරීමට හේතුව ලෙස අනියත බිය, අධිකාරිත්වයන් විසින් ඔවුන්ගේ සංවේදීතාවන්ට අනුකූල නොවීම සහ එම ප්‍රජාවන් අතර වැරදි අදහස් ක්‍රියාත්මක වීම බව අපට පෙනී ගියේය. කොරෝනා ප්‍රපංචයේ වින්දිතයින් අපරාධකරුවන් නොව රෝගීන් ය. ඔවුන් පක්ෂග්‍රාහී වැරදිකරුවන් ලෙස හුවාදැක්වීම මගින් ඔවුන් විසින් තම රෝගී තත්වයන් වසන් කිරීමටත් සහ පී-සී-ආර්- පරීක්ෂණ ඉවතලෑමටත් පෙළෙඹවිය හැකිය. මෙය සමස්ථ ප්‍රජාවටම අනතුරුදායකය. ආසාදනය වීමෙන් පසු ඉබාගාතේ නොයා නිවසේ සුරක්ෂිතව සිටීම සෑම පුරවැසියෙකුගේම යුතුකමකි. හේතු කාරණා කෙසේ වුවද, සෞඛ්‍යය පරීක්ෂකවරයෙකුට කෙළ ගැසීම මෙන්ම ආසාදිතයන් ප්‍රවාහනයේ දී පොලිස් මුරපොල ට කෙළ ගැසීම වැනි වෛරී සහගත රෝගය පැතිර වීමේ අරමුණින් කළ ක්‍රියාවන් රටේ සියලුම ජනතාවට තර්ජනයකි. සෑම කෙනෙකුම වගකිවයුතු පුරවැසියෙකු ලෙස හැසිරීම අත්‍යවශ්‍ය වේ. මරණ 13ක් සහිත කොරෝනා පළමු රැල්ල පහව ගොස් ඇතත්, දැන් පවතින රැල්ල මරණ සංඛ්‍යාව 300 ඉක්මවා යන බැවින් එහි බරපතලකම සිහියට ගැනීම දැන් දැන් ඉතා අවශ්‍ය වේ.

–කලාවර්ෂ්ණී කනගරත්නම්–

– CP

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *