Type to search

අභද්‍ර භික්ෂුවක් කල්පිටියේ සහජීවනයට ගිනි තබයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ආගමික සංහිඳියාවෙන් හා සහජීවනයෙන් විසූ කල්පිටියේ දළුව නිර්මලපුර ජනතාවගේ ජීවිතවලට කණකොකා හඬමින් සිටී. ඒ නොදැමුණු ශ‍්‍රමණ ප‍්‍රතිරූපකයකුගේ ආගමනයත් සමගින්ය. කල්පිටියේ අප කළ සංචාරයකදී එහි ජනතාව මේ සම්බන්ධයෙන් පැවසූ දේවල් ඇසුරින් පැවසිය හැක්කේ මේ අවුලූවා තිබෙන අළුයට ගිනි ගොඩ කොයි මොහොතක හෝ මහා ගින්නක් බවට පත්ව දැඩි ජන විනාශයක් සිදුකරනු නොඅනුමාන බවය.

දළුව නිර්මලපුර ඒ.එම්.ඒ. කරුණාවතී නැතහොත් රානි පවසන තොරතුරු මෙහිලා අතිශය වැදගත්ය.
”උපන්දා සිටම දළුව නිර්මලපුර ගමේ වෙසෙන අපි බෞද්ධයො. මේ ගමේ බෞද්ධ, කතෝලික, ක‍්‍රිස්තියානි, හින්දු වගේම බයිබල් ආගම අදහන පිරිස් ඉන්නවා. කවදාවත් අපි අතර කිසිම ප‍්‍රශ්නයක් ඇතිවෙලා නෑ. බෞද්ධයෝ විදියට අපි ගියේ කරඹේ පන්සලට. මෙහෙ ඉඳලා කිලෝ මීටර් හත අටක් පන්සලට යන්න ඕනේ.”
දුර බැහැර යන්න බැරි නිසා අපට ගමේම පන්සලක් හදාගන්න වුවමනාව තිබුණා. මම ගමේ අනෙක් ආගම් අදහන අයගෙ ගෙවල්වලට ගිහින් කීවා ඔය අයට ගමේම පල්ලි තිබෙනවා අපිටත් ගමේම පන්සලක් හදාගන්න ඔය අය උදව් කරන්න කීවා.”

රානිගේ ආරාධනය පිළිගත් පිරිස් එකහෙළාම මෙයට කැමති වූහ. මේ කාර්යයේදී වැඩියෙන්ම උදව් කළෝ කතෝලික ආගමික පිරිස්ය. ඔවුන්ගේ සහයෝගය සහ ආශිර්වාදය හමුවේ ‘බොදු පුබුදු’ නමින් සමිතියක් ගොඩ නගා ගන්නා රානි ඇතුළු පිරිස ගමේ ප‍්‍රධාන මාවත අසල තිබූ රජයට අයත් හිස් බිමක් තෝරාගෙන එහි කුඩා බුදු කුටියක් ඉදිකර ගැනීම සඳහා කටයුතු කරගෙන ගියහ.

”2002.01.21 දින තමා අපි මුලින්ම රැුස්වීමක් තිබ්බෙ. මෙහෙ ඉන්න කතෝලිකයෝ ඔක්කොම ආවා. බුදු කුටිය ගොඩනගන්න එවෙලෙම සිමෙන්ති, ගල්, වැලි දෙන්න පොරොන්දු වුණා. මම ඒ අයගෙන් මුල්ගල් 100කුත් හදා දෙන්න කියල ඉල්ලූවා. ඒකත් ඒ අය භාර ගත්තා. 2002.01.31 ශ‍්‍රමදානයක් කරල බිම සකස් කෙරුවා. 2002.02.03දා බුදු කුටියට මුල්ගල් තිබ්බා. මුල්ගල් 100 තියන්න ඉදිරිපත් වුණ වැඩිදෙනා කතෝලිකයො. ඒ සෑම කෙනෙක්ම රුපියල් දාහට වැඩි ආධාරයකුත් කරලයි මුල්ගල් තිබ්බේ. 2002.05.11 බෝ පැළයක් රෝපණය කළා.”

ඉතා ඉක්මනින් බුදුකුටිය ඉදිකිරීමේ කටයුතු සිදු කළ ඔවුහු 2002.06.24 වන විට බුදු කුටිය ඉදිකරගෙන එය විවෘත කරගෙන තිබේ. බුදුකුටිය සඳහා රුපියල් හැට දහසක් වියදම් කර බුදුපිළිමය පූජා කර ඇත්තේ උපතින්ම කතෝලික කාන්තාවක් වන වින්සන්ට් නැන්දාය. එවක් පටන් ඇය බෞද්ධයකුද වූවාය.

මෙයින් පසුව දහම් පාසලක්ද ආරම්භ කිරීමට ඔවුහු සමත්ව ඇති අතර කුඩා පන්සල් කුටියක්ද ඉදිකර ගැනීමට සමත්ව ඇත. ඒ සඳහා සල්පිල්, වෙන්දේසි පවත්වා ඇති අතර, කතෝලිකයෝ වැඩිදෙනා මේ සඳහා සිය නොමසුරු ආධාරය සිදු කළ බව රානි කෘතවේදීව සිහිපත් කරන්නීය.

මල්වට්ටි වෙන්දේසිය රුපියල් 85,000ටත් යනවා. ගන්නේ කතෝලික අය. ඒ අරගෙන මල් වට්ටිය හිස මත තබාගෙන ඇවිත් බුදු කුටියට ඒ අය පූජා කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ පන්සල් කුටිය ඉදිකරන කොට මහදොර හදල දුන්නේ නසාර් කියල මුස්ලිම් මහත්මයෙක්. මින්නාස් කියල තවත් මහත්තයෙක් ජනෙල් දෙකක් හදල දුන්නා. මේ අය සතයක්වත් අපෙන් ගත්තෙ නෑ.”

සහජීවනයට බාධා

එවැනි අපූරු ආගමික සහජීවනයකින් යුතුව බෞද්ධාගමික මධ්‍යස්ථානයක් ගොඩනැගුණද පසුකලෙක එතැනින්ම ජාතීන් අතර ගැටුමක් නිර්මාණයවීමේ පසුබිමක් ඇතිවන්නේ නම් එය කොතරම් කනගාටුදායකද? දැන් එළැඹෙමින් තිබෙන්නේ එවැනි නස්පැත්තියක ලකුණුය.” ඒ මිගෙට්ටුවත්තේ සුමිත්ත නම් භික්ෂුවගේ ආගමනයෙන් පසුවය.

”එයා ඇවිත් කළේ අපිව කොන් කරලා එයාට හිතවත් අය සමග කුමන්ත‍්‍රණය කිරීමයි. වින්සන්ට් නැන්දා හදල දුන්න බුදුකුටිය කැඩුවා. අඩුම වශයෙන් එයාගෙන් අහන්නෙවත් නැතිව. කොහොම දුකක් එයාට ඇතිවෙන්න ඇතිද? දැන් එයා බෞද්ධාගමත් අතහැරල. බිහිසුණුම සිද්ධිය වනුයේ පන්සලට යාබදව තිබෙන පොදු සුසාන භූමිය ඇසුරින් පැන නැගුණ ගැටලූවය. සුමිත්ත භික්ෂුව මේ පොදු සුසාන භූමිය වටා කටුකම්බි ගසා වටකර බෞද්ධ සුසාන භූමිය නමින් නාම පුවරුවක්ද සවිකිරීමය.

මේ ගැන අදහස් දැක්වූයේ පී.සී. ලශාන් සිල්වාය.
”හාමුදුරුවො මුලදි හොඳ මුහුණ පෙන්වාගෙන හිටියට චරිතය හොඳ නෑ. මට සැක හිතුණ අවස්ථාවක් තිබුණා. එක අවස්ථාවකදි මම එයාට දොස් කීවා. ඒ වෙලාවෙ මට මුකුත් කීවේ නෑ. මම අනෙක් අය එක්ක කීවෙත් නෑ මේ ගැන. ඒත් මෙයා කලින්ම දායක සභාවෙ සභාපතිට එහෙම වෙන කතාවක් කියල. මම ඇත්ත කතාව කීවත් ඒ අය පිළිගත්තෙ නෑ. මම දැන් පන්සලෙන් අයින්වෙලා ඉන්නෙ.
මෙයා කරපු නරකම වැඬේ තමා පොදු සුසාන භූමිය කොටු කරල කම්බි ගහල බෞද්ධ සුසාන භූමිය කියල බෝඞ් එකක් ගහපු එක. පස්සෙ ගමේ අය කම්බි කඩල බෝඞ් එකත් ගලවල දාල තියෙනව. මේවට විරුද්ධ අයට දැන් ලවුඞ්ස්පීකර් එකෙන් බනිනවා. ජීවිත තර්ජනවලට බයෙන් මේ රානි අක්ක එහෙම ඉන්නේ. දැන් මේක පොදු සුසාන භූමියක් කරන්න කියල කල්පිටිය ප‍්‍රාදේශීය සභාවෙ මන්ත‍්‍රීවරු 31ක් දෙනාම අත්සන් කරල ලියවිල්ලක් හදල තියෙන්නෙ.”

බෞද්ධ සුසාන භූමිය නමින් පොදු සුසාන භූමිය වෙන්කර ගැනීමත් සමගම අන් ආගමිකයන්ගේ මළ සිරුරු මෙහි මිහිදන් කිරීමට සුමිත්ත භික්ෂුව ඉඩදී නැත.

බී.ඒ. මේරි මාග‍්‍රට්ගේ කතාව ඊට හොඳම නිදසුනය.
”පසුගිය මාර්තු මාසෙ 23දා මගේ පුතා නැතිවුණා. අපි ක‍්‍රිස්තියානි නිසා හාමුදුරුවො මළ සිරුර මේ කනත්තේ වළලන්න දුන්නේ නෑ. වැල්ලේ තියන කනත්තේ වළලන්න කීවා. ඒකේ වළලපුවහම ඒ ගමේ අය ගොඩ ගන්න කියල අපට රණ්ඩු කළා. පස්සෙ පොලිසි ගිහින් තමයි ප‍්‍රශ්නෙ විසඳ ගත්තෙ. පොලිසියෙන් කීවෙ මිනිය වළලල නිසා දැන් ගොඩ ගන්න බැහැ කියලයි. අපිට එහෙම වුණා. ඉස්සරහදි අපි වගේ ක‍්‍රිස්තියානි අයට කොහේවත් මිනී වළලගන්න නැතිවෙයි.”

සුසාන භූමියේ ඉතිහාසය

මෙම සුසාන භූමිය සම්බන්ධයෙන් විශ‍්‍රාමික හිටපු ග‍්‍රාම නිලධාරි විතානආරච්චිගේ සිසිර කුමාර මෙලෙස කීවේය.

”දළුව, නිර්මලපුර වසමේ මම අවුරුදු 12ක් වැඩ කළා. මගේ කාලයේදී නම් මෙය රජයේ ඉඩමක්. කතෝලික බෞද්ධ විතරක් නෙවෙයි අනෙක් අයගෙත් මිනී වැළලූවා. හින්දු අයගෙ ඒවත් ඔතන වළලල තිබෙනවා. මොකද මම ඔහේ රාජකාරි කළේ 1994 ඉඳල එතකොට ඔතන පන්සලක් තිබුණෙත් නෑ. ඒ කාලෙ මිනී වළලන්න මගෙනුයි මිනිස්සු ඇහැව්වෙ. ඔතන ශුද්ධ කරල බැලූවොත් සමහරවිට කතෝලික අය මිහිදන් කරපු ස්ථානවල පුවරුත් තිබෙන්න පුළුවන්. මට කියන්න තිබෙන්නේ මේක එක් කොටසකට විතරක් වෙන් කළ සුසාන භූමියක් නොවන එකක් කියල තමයි.”

වින්සන්ට් නැන්දා නැතිනම් ජේ.ඒ. විනීනෝනා මම උපතින්ම කතෝලික. අවුරුදු 12දි පන්සල් ගියා. ඊට පස්සෙ දිගටම ගියේ පන්සල්. ඒ මාදම්පෙ ඉන්න කාලේ. මෙහෙ ආවට පස්සෙත් කරඹ පන්සලට ගියා. මගේ පුතාල ආමි එකේ හිටියේ. වෙඩි වැදිල මැරුණා. අවුරුදු 22ක් විතර ඇති දැන්. රානි කීව නිසා තමයි මම බුදුපිළිමෙ පූජා කළේ. අනේ ඒක දැන් කඩලා.” වියපත් මවගේ දෑසින් කඳුළු කඩා හැලූණේ අපවද සසල කරවමිනි. ඉදින් ඉන් ඔබ්බට ඇයට යමක් කියන්නට නොහැකිව ඇය නිහඬ වූවා පමණක් නොව. ඇයව තවත් හඬවමින් ප‍්‍රශ්න කරන්නට අපට හැකියාවක්ද නොවීය.

සුමිත්ත භික්ෂුවට ඈඳෙන්නේ සුසාන භූමිය පමණක් නොවේ. ඔහුගේ ක‍්‍රියාකලාපය නිසා කල්පිටියේ තවත් බෞද්ධ භික්ෂූන්ද, බෞද්ධයෝද කලකිරී සිටිති. කල්පිටියේ කන්දකුලියේ ශ‍්‍රී සමුද්‍රාසන්න විහාරාධිපති බැඳිවැවේ දියසේන හිමියන් කියන තොරතුරු මෙයට හොඳම නිදසුනකි.

”කල්පිටියේ ඉන්නේ බෞද්ධයන් 3%යි. අනෙක් අය කතෝලික ඉස්ලාම් හා ක‍්‍රිස්තියානි ආගම් අදහන අය. හැබැයි බෞද්ධයෝ 3%යි කියල කිසිම දවසක ඒ අයට කවුරුවත් අනදරයක් කරල නෑ. සුමිත්තගේ පැමිණීම එක්ක දැන් දැන් එවැනි තත්ත්වයක් උදාවෙන්න යනවා කියලයි මට හිතෙන්නේ. මිගෙට්ටුවත්තේ සුමිත්ත 2016 තමා මෙහෙට එන්නේ. මුලින්ම කරඹ පන්සලට. ඊට පස්සේ තමයි දළුව නිර්මලපුර විහාරයට එන්නේ.

සුමිත්ත හාමුදුරුවෝ ආවට පස්සේ මට තැපෑලෙන් ලිපියක් ලැබුණා. ඒකේ තිබුණා පත්තර වාර්තා. සුමිත්ත කරපු කියපු වැඩ ගැන පළවුණ වාර්තා තමා ඒවා. හැබැයි හොඳ ගැන නම් නොවෙයි. මල්වතු පාර්ශ්වයෙ නායක හාමුදුරුවො කියල තිබෙනව සුමිත්ත බුද්ධ ශාසනයට ගැළපෙන කෙනෙක් නොවන බව. ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නෙ මෙයා ගැන.”

සුමිත්තට ආගමික සහජීවනය ගැන වගේ වගක් නෑ. එක වතාවක් බුදුපිළිමයක් තියන්න හැදුව අනවශ්‍ය තැනක. ඒක කළේ බුදුපිළිම තියන්න ඕනෑවට නෙවෙයි. කතෝලික මිනිස්සු අවුස්සන්නයි. මෙයා හාමුදුරුවන්ටත් බැණ තර්ජනය කරපු අවස්ථා තිබෙනවා. මගේ යටතේ තිබෙන පන්සලකුත් මෙයා ගන්න හැදුවා. මම අධිකරණයට ගියා. දැන් එයාට එතනට ඇතුළුවීමත් අධිකරණයෙන් තහනම් කරල තිබෙනව.

මෙයා කල්පිටියේ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී විදියට පත් කරල තියෙන්නෙත් වැඩි ඡුන්දෙන් නෙවෙයි. දේශපාලනඥයකුගේ උවමනාවට. මෙයා හදන්නේ මිනිස්සුත් කොටවල මෙතන මහ ජරමරයක් කරන්නයි. ඒකේ ප‍්‍රතිඵලය වෙන්නේ 3%ක් වන බෞද්ධයෝ තවත් අඩුවෙන එක මිසක් වැඩිවීමක් නම් නොවෙයි. මෙයා විනාශකාරයෙක්.

සුමිත්තගේ නරක පැටිකිරියක්

මිගෙට්ටුවත්තේ සුමිත්ත භික්ෂුව කලින් සිට ඇත්තේ ගාල්ලේ ඉඳුරුව ප‍්‍රදේශයේ. ඔහුගේ අවිචාරවත් ක‍්‍රියාකලාපය නිසා නඩු හබ කීපයකටද පැටලී සිට ඇති අතර, ප‍්‍රදේශයේ ජනතාවගේ අප‍්‍රසාදය නිසාවෙන් ඉඳුරුවේ නොසිට කල්පිටියට පලා ආවෙකි.

අතීත පැටිකිරිය එතරම් හොඳ නැති සුමිත්ත භික්ෂුව කල්පිටියට පැමිණියද කරනුයේ වසළ ක‍්‍රියාවන්ය. ඒ සඳහා තවත් හොඳ උදාහරණයක් කරඹ බෞද්ධ මධ්‍යස්ථානයට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළින් පෙනෙයි. කරඹ බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙහි පුරෝගාමියා වන විතානආරච්චිගේ සිසිර කුමාර පවසන කතාව ඊට උදාහරණ සපයයි.

”කරඹ බෞද්ධ මධ්‍යස්ථානය අපි හදල විවෘත කළේ 2018දී. වයඹ පළාතේ ප‍්‍රධාන සංඝනායක තම්මැන්නාවැටියේ රතන ජෝති හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් තමා මේක විවෘත කළේ. දැන් දහම් පාසලකුත් තිබෙනවා. හැබැයි මේක බෞද්ධ මධ්‍යස්ථානයක් විදියට ලියාපදිංචි කරන්න සුමිත්ත හාමුදුරුවො දෙන්නෙ නෑ. සසුන ආරක්ෂා කරන්නට කැපවී සිටින භික්ෂුවක් නම්, සැබැවින්ම සුමිත්ත භික්ෂුව කළ යුත්තේ මේ සඳහා ආධාර උපකාර කිරීම නොවේද?

කල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඒ.එම්. ඉම්ෆාස් පවසන්නේ මෙම ස්ථානය කලෙක සිටම පොදු කනත්තක් ලෙස පැවති බවය. ඉඩමේ අයිතිය ප‍්‍රාදේශීය ලේකම් සතු බවත්, පන්සලට ඉඩමේ අයිතියක් නැති බවත්ය. මේ වන විට ඉඩම ප‍්‍රාදේශීය සභාව සතු කරගෙන පොදු කනත්තක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කල්පිටිය ප‍්‍රාදේශීය සභාවෙන් කටයුතු කරමින් සිටින බවය.

කල්පිටිය දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේදීද මේ සඳහා එකඟතාවක් ඇති කරගත් බවත්, තමන්ට ආරංචි විදියට නම් අධිකරණයෙන්ද නියෝග කර ඇත්තේ ඉඩම ප‍්‍රාදේශීය සභාවට පවරා ගත යුතු බවට යැයිද ඔහු කීවේය. ලිපිය ලියන ජනවාරි 26 වැනි දින වනවිටත් දළුව ප‍්‍රදේශයේ කතෝලික අයෙකු මියගොස් ඇති බවට ගම්වැසියෙකු ලේඛකයාව දැනුවත් කළේය. සුමිත්ත භික්ෂුව එම දේහය පොදු කනත්තේ මිහිදන් කිරීමට නොදෙන බවත්, එසේ මිහිදන් කිරීමට අවසර දීමට නම් දේහය වෙනුවෙන් බෞද්ධාගමික සිිරිතට පාංශකූල කටයුතු සිදු කළ යුතු බව සුමිත්ත භික්ෂුව දන්වා එවූ බවද එම ගැමියා වැඩිදුරටත් කීවේය.

මෙනයින්ම පෙනෙන්නේ සුමිත්ත භික්ෂුව කටයුතු කරන ආකාරයය. එය බෞද්ධ භික්ෂුවකගෙන් සිදුවිය යුත්තක්ද?

මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි

මේ ගමේ සුසාන භූමි 03ක් තියෙනවා. කතෝලික අයට දළුව සුසාන භූමිය තිබෙනවා. ඒක පල්ලියේ සාමාජිකයන්ට පමණයි. නිර්මලපුර නිවාස සංකීර්ණයේ අයට අක්කර හයක පොදු සුසාන භූමියක් තිබෙනවා. පන්සල පිහිටල තියෙන්නේ බෞද්ධ සුසාන භූමියේ. මේ පන්සල ළඟ තිබෙන සුසාන භූමිය බෞද්ධ අයට විතරයි.” මේ ජනවාරි 24 දින සුමිත්ත භික්ෂුවගේ පන්සලට ගොස් අප විමසූ විට දුන් පිළිතුරය.

ජනවාරි 26 දිනද කතෝලික ආගමිකයකුගේ මළ සිරුරක් මේ සුසාන භූමියේ මිහිදන් කිරීමට සුමිත්ත භික්ෂුව ඉඩ නොදෙන බව ගම්වැසියකු දුන් දුරකතන පණිවුඩයක් නිසා නැවත සුමිත්ත භික්ෂුව දුරකතයෙන් ඇමතූ විට කීවේ රාවය පුවත්පතට කිසිදු ප‍්‍රකාශයක් ලබා නොදෙන බවය.

පුත්තලම් දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී
පාලිත රංගෙ බණ්ඩාර

මහජන නියෝජිතයෙක් විදියට මම සර්ව ආගමික ස්ථානවලටම උදව් කරනවා. දළුව පන්සලටත් උදව් කරල තිබෙනවා. ඉන් හැර සුමිත්ත හාමුදුරුවො එක්ක මගේ කිසිම දේශපාලන හිතවත්කමක් හෝ වෙනත් හිතවත්කමක් නෑ. ඒ වගේම සුමිත්ත හාමුදුරුවෝ ප‍්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් කරන්න මම කිසිම බලපෑමක් කරලත් නෑ. කොටින්ම කියනව නම් ඒ හාමුදුරුවො මගෙ මිතුරෙක් හෝ පාක්ෂිකයෙක් නොවෙයි.

සුමිත්ත භික්ෂුවගේ මුහුණුපොතට පිවිසෙන විට පැහැදිලිවම දැකගත හැකි කරුණක් වන්නේ ඔහුගේ වැඩ කටයුතු අනුමත නොකරන අයට මුහුණුපොත ඔස්සේ පහර දෙන බවය. කූඨ ලේඛන සැකසීම සහ අපරාධ සම්බන්ධ නඩුහබවලට පැටලූණ මෙන්ම තවමත් එවැනි දෑට ඇල්මක් දක්වන පුද්ගලයෙකු භික්ෂුවක් ලෙස සැලකිය හැකි නොවේ. ඉදින් කොකා ඉගිළෙන විට සුද නොපෙනේද?

– ravaya

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *