Type to search

සීගිරිය අභයභූමියෙත් ඉඩම් කොල්ලයක්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

සීගිරිය අභය භූමියේ වන අලි බහුලව ගැවසෙන රජයේ රක්ෂිත භූමියක් සංවිධානාත්මක කණ්ඩායමක් සහ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම මත අත්පත්කරගෙන ගස් සිටුවීමේ මුවාවෙන් ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වේ.

රාජ්‍ය නිලධාරීන්ගේ, ප්‍රබල දේශපාලනඥයන්ගේ, ඉඩම් ජාවාරම්කරුවන්ගේ ‍තර්ජනය හේතුවෙන් ප්‍රදේශවාසීන් මෙම ඉඩම් ජාවාරම දැක දැකත් දැඩි නිහඬතාවයක් රකින බවත් මේ පිළිබඳව කිසිදු අයෙකුගේ අවධානයක් යොමු නොකරන බවත් ඔවුහු පෙන්වා දෙති.

සීගිරිය අභයභුමියේ පොතාන ප්‍රදේශයේ පිහිටි මෙම රජයේ රක්ෂිතයේ අයිතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවටද පැවරේ.

කාලයක්ද තිස්සේ වන අලින්ගේ සහ වන සතුන්ගේ නිජභූමි බවට පත්ව ඇති අක්කර 60ක් 70ක් පමණ වූ විශාල භූමියක් මෙම සංවිධානාත්මක කණ්ඩායම් විසින් අත්පත් කරගෙන කැලෑව එළිපෙහෙලි කොට මායිම් වෙන්කර තම තමන් අල්ලා ගත් භූමිවල පොල් පැළ, අඹ පැළ, කටු අනෝදා පැළ, ඇඹරැල්ලා පැළ ආදී වර්ග සිටුවා තිබෙනු දැක ගැනීමට හැකි වේ. මෙම පැළ සිටුවා ඇත්තේද නියම ප්‍රමිතියකින් නොවන බවද එක උදළු තලයක් හාරා ඉඩම් අත්පත් කර ගැනීම සඳහා පමණක් මේවා පෙනුමට සිටුවා ඇති බවද අනාවරණය වේ.

සීගිරිය පොතාන වසම භාර ග්‍රාම නිලධාරීවරයා වන සංරක්ෂණ නිලධාරීන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේද සහාය ඇතිව මෙම වන විනාශය සිදු කරමින් පවතින බව ජනතාව පෙන්වා දෙති. සීගිරි ගල පෙනෙන මායිමේ වනසතුන්ගේ භූමි මෙසේ අත්පත් කර ගන්නා බවත් පසුව සංචාරක හෝටල් සඳහා මෙම ඉඩම් විකිණීම ජාවාරම්කරුවන්ගේ ඒකායන ක්‍රමවේදය බවත් කී ප්‍රදේශවාසීහු කියා සිටියේ මේ නිසා වන අලින් ගම්වදින බවය.

මෙම ඉඩම් අත්පත් කර ගැනීම පිටුපස දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සීගිරිය පොතාන ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරිවරයා සිටින බව ප්‍රදේශවාසීහු කියති. ග්‍රාම නිලධාරීවරයාගෙන් මේ ගැන විමසීමේදී කියා සිටියේ තමන් එවැන්නක් නොදන්නා බවත් එහි අවශ්‍ය කරුණක් වෙතොත් දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාව දැනුවත් කර ඇති බවත්ය.

සීගිරිය වනජීවී කාර්යාලයේ වනජීවී නියාමකවරයෙකු කියා සිටියේ දැනට ඉඩම් ජාවාරම වන ප්‍රදේශය තම භූමියෙන් පිටත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශයක් බවය. තම ප්‍රදේශවල අනවසර ඉදිකිරීම් සහ අත්පත් කර ගැනීම සියලු දෙනාට වනජීවී දෙපාර්තමේන්තුව මගින් නීතිය ක්‍රියාත්මක කොට ඇති බව එම නිලධාරියා පැවැසීය.

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ අනුර සාන්ත මන්ත්‍රීවරයා හමුවී ඒ පිළිබඳව විමසීමේ දී කියා සිටියේ මෙම ප්‍රදේශයේ විවිධ කණ්ඩායම් රජය මගින් බදු ක්‍රමය යටතේ මහ ගන කැලෑව රැගෙන ඩෝසර් දමා විනාශ කිරීමේ කටයුත්තක නිරත වන බවය. මෙම ක්‍රමවේදයන් වලට තමන් දැඩි ලෙස විරුද්ධ වන නිසා මෙම චෝදනා තමාට එල්ල කරන බවත් තමාට නැගෙන සියලු චෝදනාවන් තරයේ ප්‍රතික්ෂේප කරන බවද ඒ මහතා පැවසීය.

චෝදනා එල්ලව ඇති දඹුල්ල ඉනාමළුව වන සංරක්ෂණ කාර්යාලයේ බීට්ටු අඩවි වන නිලධාරී විජේවර්ධන මහතා හමුවීම සඳහා එහි ගියෙමු අප යනවිටත් කාර්යාලයේ වගකිය යුතු නිලධාරියෙකු සේවයේ නොසිටියේය.පසුව එම ස්ථානයේ සිටිම බිට්ටු වන නිලධාරී විජේවර්ධන මහතා ගෙන් දුරකථනයෙන් විමසීමේ දී කියා සිටියේ දැනට ජනතාව කණ්ඩායම් අත්පත් කර ගැනීම සඳහා සූදානම් වන මෙම ඉඩම් කොටස් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් වරයා වෙත පවරාදීමට අවශ්‍ය ලියකියවිලි සකසා ඇති බව ය. කෙසේ වෙතත් මේ වන තුරුත් ඒවා පවරා දී ඇත්දැයි ප්‍රශ්න කිරීමේ දී හෙතෙම කියා සිටියේ තවමත් ලිපි වලට පමණක් සීමා වී ඇති බව ය. කෙසේවෙතත් ප්‍රදේශවාසීන් නගන චෝදනාව මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තවමත් යටතේ පවතින මෙම වටිනා වන සතුන් සිටින ඉඩම් අත්පත් කරගෙන වෙනත් වගාවන් සඳහා යොදා ගැනීම පිළිබඳව විමසීමේ දී දඹුල්ල ඉනාමළුව වන සංරක්ෂණ කාර්යාලය බීට්ටු වන නිලධාරි වරයා කියා සිටියේ එවැන්නක් එම ප්‍රදේශයේ සිදු නොවන බවට තමාට වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ හැකි බව ය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා කියාසිටියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවශේෂ කැලෑ තමා විසින් ඉල්ලා ඇති වුවද මෙතෙක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමාට එවැනි ඉඩමක් පෙන්වා නැති බවය. කෙසේ වෙතත් මෙවැනි ඉඩම් ජාවාරමක් සිදු වන බව ජනමාධ්‍යවේදීන් තමන්ගෙන් විමසන තුරු නොදන්නා බවද සඳහන් කළේය. ග්‍රාම නිලධාරිවරයා තමාගෙන් විමසීම සඳහා ප්‍රකාශ කළ ද අඩුම තරමේ ග්‍රාම නිලධාරිවරයා මෙතෙක් තමා වෙත එවැන්නක් ප්‍රකාශ කොට නැති බවත් සඳහන් කළේය.ඒ අනුව තමන් වහාම ඒ පිළිබඳව සොයා බලන බවත් පෞද්ගලිකවම පොලිසියට කතා කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ මහ වනය වසර කිහිපයකට ඉහතදී බද්දකට කටුනේරිය ප්‍රදේශයේ එන්.එන් හෙට්ටිආරච්චි නැමැති පුද්ගලයකුට අක්කර 09ක ප්‍රමාණයක් ලබා දී තිබෙන බවත් ඔහු මේ දිනවල යන්ත්‍ර සූත්‍ර යොදාගෙන මෙම මහා වනාන්තරය කපා විනාශ කොට පෞද්ගලික විදුලි වැටවල් ඉදි කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවද මෙම හෙළිදරව්වේ දී අනාවරණය විය.

– LD

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *