තත්ත්වය භයානකයි: රටට කියන සංඛ්‍යාලේඛන බොරු; කොරෝනා රට පුරා පැතිරිලා – PHI සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ප්‍රසිද්ධ කරනු ලබන සංඛ්‍යා දත්ත සාවද්‍යයි; විශාල ප්‍රමාණයක් රෝගින් වාර්තා වනවා - උපුල් රෝහණ

ප්‍රසිද්ධ කරනු ලබන සංඛ්‍යා දත්ත සාවද්‍යයි; විශාල ප්‍රමාණයක් රෝගින් වාර්තා වනවා - උපුල් රෝහණ

කොවිඩ් 19 වසංගතය මේ වන විට රට පුරා දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති බවත්, බලධාරීන් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මව්රට පුවත්පතට පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙම ව්‍යාප්තිය පිළිබඳව බිම් මට්ටමේ නිවැරැදි තොරතුරු නොසොයා ඇතැම් නිලධාරීන් ලබා දෙන සංඛ්‍යා ලේඛන මත රැඳී සිටීමෙන් එම තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවය.

එමෙන්ම ඇතැම් විද්‍යුත් මාධ්‍ය මඟින් හෙළි කරනු ලබන කොවිඩ් 19 සංඛ්‍යා ලේඛන ගැන තම සංගමයටද ගැටලුවක් වී ඇති බව පවසන සෞඛ්‍ය නිලධාරි සංගමයේ සභාපතිවරයා බිම් මට්ටමේ නිවැරැදි තොරතුරු අවශ්‍ය වේ නම් රජයේ වගකිව යුතු අංශ තම සංගමය සමඟ නිරන්තර සම්බන්ධතාවයක් ඇතිව කටයුතු කළ යුතු බවද අවධාරණය කර සිටියේය.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ රෝහණ මහතා සඳහන් කළේ බස්නාහිර පළාතට බලපා තිබූ මේ ප්‍රශ්නය දැන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකට පාහේ විහිදී ගොස් ඇති බවය. දිවයිනේ දිස්ත්‍රික් ගණනාවක කර්මාන්ත පුරවල සහ පෞද්ගලික අංශවල සේවක පිරිස්ද කොවිඩ් ආශ්‍රිත තත්ත්වයට පත් වී ඇති බවද මේ වන විට හෙළි වී තිබේ. එබැවින් මේ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු සොයා දැඩි තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බවද උපුල් රෝහණ මහතාගේ අදහස වී ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19 වැළැක්වීමේ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාද රට තුළ ආසාදිතයන්ගේ වැඩි වීමක් තිබෙන බව තහවුරු කර සිටියේය. වෙනදා ආසාදිතයන් 400, 500ක් පමණක් හමු වුවද, දැන් එම සංඛ්‍යාව 700 දක්වා වැඩි වන අවස්ථාව ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

පසුගියදා පැවැති වාර්ෂික උත්සව අවස්ථා තුනකදී බස්නාහිර පළාතෙන් පිට පළාත්වලට ගිය පිරිස්වල සංඛ්‍යාව වැඩි වීම ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පෙන්වා දුන් සිල්වා මහතා බොහෝ දෙනා සෞඛ්‍ය නීති රීති සහ උපදෙස්වලට අනුව කටයුතු නොකිරීමෙන් එම තත්ත්වය උත්සන්න වී ඇති බවද සඳහන් කළේය.

එහෙත් ආරක්ෂක හමුදාවලද සහාය මත පවතින තත්ත්වයට මුහුණ දීමට කටයුතු යොදා ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

-MR

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *