යුද අපරාධ චෝදනා සනාථ කරන ප්‍රබල සාක්ෂියක් ජනාධිපතිවරයාම ඉදිරිපත් කර තියෙනවා! – හෙළ බොදු සවිය චෝදනා කරයි

හෙළ බොදු සවිය

හෙළ බොදු සවිය

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවුනු බවට කරන චෝදනා සනාථ කරන සාක්ෂි ජනාධිපතිවරයාම ඉදිරිපත් කර ඇති බව හෙළ බොදු සවිය සංවිධානය අනතුරු අඟවා ඇත.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් දැඩි ස්වරූපයෙන් අදහස් දක්වමින්, ප්‍රභාකරන් තමා ආරක්ෂක ලේකම්ව සිටියදී පිත්තල හන්දියේ බෝම්බ ගැසූ බවත් තමා නැවත එයට පිළිතුරු දුන් ආකාරයෙන් ක්‍රියා කිරීමට තමාට දැනුත් හැකි බවත්, අවසානයේ ප්‍රභාකරන්ව බල්ලෙකු ලෙස මරා රැගෙන ආ තමන්ට, එලෙසටද වැඩ කළ හැකි බව කියා සිටියේය. මෙවැනි ප්‍රකාශ නැති ප්‍රශ්න ඇති කිරීමක් බව හෙළ බොදු සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමි පවසා සිටියහ.

මෙවැනි ප්‍රකාශ මානව හිමිකම් කොමිසමට අපේ රටේ ත්‍රිවිධ හමුදාව හා සේනාධිනායකයා යුද අපරාධ සිදුකලා යැයි කියන චෝදනාවට ප්‍රබල සාක්ෂියක් බවත් එය දෙමළ ඩයස්පෝරාවට හොඳ වස්තු බීජයක් බවත් එම හිමි පවසා ඇත. තවද උන්වහන්සේ, ජනාධිපතිතුමාට උපදෙස් දෙන හා උත්සව වලට කතා ලියාදෙන උපදේශකයන් වහාම ඉවත් කර ඊට සුදුසු පුද්ගලයන් පත් කළ යුතු බවත් පවසූහ.

ඒ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමාට මරණීය තර්ජන එල්ල කළ බැවින් තමා හට ආරක්ෂාව සපයන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පොලිස්පතිතුමාගෙන් ඉල්ලා ඇත.

මුල් නම සඳහන් කිරීමෙන් ජනාධිපතිවරයා මෙතරම් ව්‍යාකූල වීම ගැන තමා පුදුම වන බවත් පැවසූ ඔහු, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී වසර 12 කට පසු ජනාධිපතිවරයා තමාට තර්ජනය කිරීම ගැන පුදුමයට පත්ව ජීවිත ආරක්ෂාව පතා ආරක්ෂාව ඉල්ලා සිටී.

මේ පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, තම පක්ෂයේ හරීන් ප්‍රනාන්දුගේ ආරක්ෂාව වෙනුවෙන් මුළුමනින්ම කැපවී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට සිදුවන හානියක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය වගකිව යුතු බව අවධාරණය කළේය.

ගම්පහ පැවති රැස්වීමකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියේ, තමාට භූමිකාවන් දෙකක් ඇති බව කළ ප්‍රකාශය ඔහුගේ චරිත දෙක පෙන්වා දෙන බවයි. සමාජය තර්ජනය කිරීම මගින් සිදුකරන පාලනය ලාංකික දේශපාලනයට තවදුරටත් වලංගු නොවන බව පවසා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *