චීනයේ මාධ්‍ය නිදහස: වූහාන් කොරෝනා ආරම්භය ලොවට කීමේ ‘වරදට’ සිව් වසරක සිර දඬුවමක්

චීනයේ මාධ්‍ය නිදහස: වූහාන් කොරෝනා ආරම්භය ලොවට කීමේ 'වරදට' සිව් වසරක සිර දඬුවමක්

චීනයේ මාධ්‍ය නිදහස: වූහාන් කොරෝනා ආරම්භය ලොවට කීමේ 'වරදට' සිව් වසරක සිර දඬුවමක්

වූහාන් නගරයෙන් කොරෝනාවෛරසය ආරම්භවීම සම්බන්ධයෙන් වාර්තාකළ චීන මාධ්‍යවේදිනිය වසර හතරක කාලයකට බන්ධනාගාර ගතකරනු ලැබුණි.

ෂාන්ග් ෂාන් (Zhang Zhan) නම් එම මාධ්‍යවේදිනිය වැරදිකාරිය බවට පත්කරනු ලැබ තිබෙන්නේ “කුපිතකාරී තත්වයක් ඇතිකරනු ලැබීම සහ ආරාවුල් අඬදබර ඇතිකරනු ලැබීම” සම්බන්ධයෙනි. එය චීන ආණ්ඩුවට එරෙහි බොහෝ ක්‍රියාධරයන්ට එරෙහිව එල්ලකරනු ලබන පොදු චෝදනාවයි.

“කුපිතකාරී තත්වයක් ඇතිකරනු ලැබීම සහ ආරාවුල් අඬදබර ඇතිකරනු ලැබීම” (picking quarrels and provoking trouble) 1997 පටන් මහජන චීන සමූහාණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන නෛතික විධිවිධානයකි.

කලින් නීතිඥවරියක ලෙසත් කටයුතුකර ඇති 37 හැවිරිදි මාධ්‍යවේදිනිය පසුගිය මැයි මාසයේ දී රඳවා තබන ලද අතර ඇය මාස කීපයක් ආහාර වර්ජනය කිරීමක ද නිරතව සිටියාය.

ෂාන්ග් ෂාන් චීනයේ මහජන අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් වාර්තාකරණයේ නිරතවෙන මාධ්‍යවේදිනියක් (citizen journalist) ලෙස සැලකෙයි.

වූහාන් තොරතුරු වාර්තාකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කීපදෙනකු හිරිහැර ආදියට ගොදුරු වූ අතර, ෂාන්ග් ෂාන් ඔවුන් අතර එක් තැනැත්තියකි.

චීනයේ නිදහස් මාධ්‍යකරණයට අවසරයක් නොමැත. සමාජ ක්‍රියාධරයන් එසේත් නැත්නම්, අනතුරක් සම්බන්ධයෙන් කල්තබා දැනුවත් කරන්නන් විසින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග යටපත් කරන ලද බවට චෝදනා කරමින් බලධාරීන් විසින් ඔවුන් මර්දනය කරන ලද බවක් දැනගන්නට ඇත.

“නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරත්ම ෂාන්ග් ෂාන් දැඩි කම්පාවකට පත්වූ ආකාරයක් දකින්න ලැබුනා,” ඇය වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනීසිටි එක් නීතිවේදියකු වන රෙන් කොනියු (Ren Quanniu) AFP පුවත්සේවයට ප්‍රකාශ කළේය.

විනිසකරු සිය තීන්දුව කියවද්දී මාධ්‍යවේදිනියගේ මව මහත් හඬින් හඬා වැළපුන බවත් විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී රෙන් සඳහන් කළේය.

‘විප්ලවීය ආත්මයක්’
ඇය අත්අඩංගුවට ගනු ලැබීමට පෙර නිදහස් චිත්‍රපට නිෂ්පාදකයකු සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ ෂාන්ග් ෂාන් කොරෝනා වසංගතය ‘වුහාන්’ නගරයේ පැතිරයාම ආරම්භ වූ මොහොතේ එම නගරවාසියකු විසින් එහි පවතින තත්වය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළකරන ලද පෝස්ටුවක් කියැවීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි මාසයේ එම නගරයට යාමට තීන්දුකළ බව කියා සිටියාය.

ෂාන්ග් ෂාන් ‘වුහාන්’ නගරයට ලඟා වීමෙන් අනතුරුව නගරයේ වීදිවල,රෝහල්වල පවතින සැබෑ තත්වය දැකගත් අතර, ඒ සමඟ ඇය බලධාරීන්ගේ තර්ජන පවා නොතකා හරිමින් වාර්තාමය චිත්‍රපට සහ රචනා ප්‍රකාශයට පත්කරන්නට පියවරගත් අතර ඒවා සමාජ මාධ්‍ය ජාලයෙහි විශාල මට්ටමින් හුවමාරුවන්නට විය.

ෂාන්ගේ වාර්තා මගින් රඳවා තබනු ලැබ සිටි නිදහස් මාධ්‍යවේදීන් සහ කොරෝනාවෛරසයට ගොදුරු වූ පුද්ගලයන් වෙනුවෙන් වගවීමක් ඉල්ලා සිටි පවුල්වල සාමාජිකයන් හිරිහැර ආදියට භාජනය කරනු ලැබීමත් ලෝකයට අනාවරණය වූ බව චීනයේ මානව හිමිකම් ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටින්නන්ගේ ජාලය(CHRD) නම් මානව හිමිකම් සංවිධානය පවසයි.

“වෙන්න පුළුවන්-මට විප්ලවීය ආත්මයක් තියෙන්න පුළුවන්! මම කරන්නේ සත්‍යය වාර්තාකරනු ලැබීම. ඇයි, මට සත්‍යය හෙළිදරව් කරන්න බැරි? බීබීසීය ලබාගත් ඇයගේ අදහස් රැගත් හඬපටයක් මගින් ෂාන් ප්‍රශ්න කරයි.

“මම ඉටුකරමින් සිටින කාර්යභාරය නතර කරන්නේ නැහැ. මොකද? මේ රට (චීනය) ආපස්සට යන්න දෙන්න බැහැ.”

කෝවිඩ්-19 වෛරස් වසංගතය ‘වුහාන්’ නගරවාසීන්ගේ ජන ජීවිතය සහමුළින්ම කණපිට හරවමින් දුෂ්කර තත්වයක් ඇති කළේය

චීනයේ මානව හිමිකම් ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටින්නන්ගේ ජාලය (CHRD) පවසන පරිදි, ෂාන් පසුගිය මැයි 14 වෙනිදා පටන් අතුරුදහන්ව ඇත. ෂාන් අතුරුදහන්වීමෙන් දවසකට පසු දැනගන්නට ලැබී තිබෙන්නේ, වූහාන් නගරයේ සිට කිලෝමීටර් 640කටත් ඈතින් පිහිටි ෂැන්හයි නගරයේ පොලිසියක ඇය රඳවාගෙන සිටින බවය.

මාධ්‍යවේදිනියට එරෙහිව පළමුවරට නිලමට්ටමින් චෝදනා ගොණුකරන ලද්දේ පසුගිය නොවැම්බර් මාසයේය.

‘වීචැට්’ (WeChat) ‘ට්විටර්’ (Twitter) සහ ‘යූ ටියුබ්’ (YouTube) වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළකරන ලද පණිවුඩ, වීඩියෝ සහ වෙනත් ප්‍රකාශන මගින් “සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම” ෂාන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා පත්‍රයට ඇතුළත් කරුණු විය.

ඇයට එරෙහි තවත් චෝදනාවක් වුනේ විදේශීය මාධ්‍ය සඳහා සාකච්ඡා පිළිගැනීමය. එම චෝදනාව මගින් කියැවුණේ ‘වුහාන්’ නගරයේ කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් “ද්වේශ සහගත තොරතුරු පතුරුවා හැරීමය.”

අභිරහස් වෛරසයක් චීනයෙන් සොයා ගැනේ

‘අනතුරු ඇඟවීමේ දඬුවමක්’
තමා පොලිස් අත්අඩංගුවට ගනු ලැබීමට එරෙහිව ෂාන් ආහාර වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළාය. ඒ සමඟ ඇයගේ ශරීර සෞඛ්‍යය පිරිහීමට පත් විනැයි පැවසෙයි.

මෙම දෙසැම්බර් මාසය මුලදී සිය සේවාදායිකාව හමුවූ අවස්ථාවේ කරුණු දැක්වූ ඇය “බටයක් මගින් බලහත්කාරයෙන් තමාට ආහාර ශරීරගත කරන ලද” බව කියාසිටියේ යයි ෂාන් ප්‍රකාශකළ බව ඇය වෙනුවෙන් පෙනීසිටි එක් නීතිවේදියෙක් පැවසීය.

සිය සේවාදායිකව හිසරදය, ක්ලාන්තය සහ බඩරුදාවෙන් පෙළුන බවත් එම නීතිවේදියා පවසයි.

“දවසේ පැය 24 පුරාම සිරකර තබනු ලැබීම නිසා ඇයට නාන කාමරයට යාමටත් උදව්වක් අවශ්‍ය කරනවා. ඇය නින්දේදීත් එහාමෙහා පෙරළෙනවා,” නීතිවේදී ෂාන් කෙකේ (Zhang Keke) පවසයි.

“ඇය ඉන්නේ දැඩි මානසික පීඩාවක. හැම දවසකම ඇය පසුවන්නේ මහත් වධ වේදනාවකින්.”

එම පිරිහුණ සෞඛ්‍ය තත්වය ඉදරිපත් කරමින් සිය සේවාදායිකාවට එරෙහි නඩු විභාගය කල්තබන ලෙස නීතිවේදියා ඉල්ලීමක් ද කර තිබුණි.

ෂාන් 2019 වසරේත් චීන පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබ ඇත. එම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙන්නේ ඇය හොංකොං ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහයෝගය පළකිරීමය.

ෂාන් නිදහස් මාධ්‍යවේදිනියට සිරදඬුවම් නියමකරනු ලැබීම CHRD සංවිධානයේ උපදේශක සහ පර්යේෂක ලියෝ ලෑන් (Leo Lan) විසින් විග්‍රහකරන ලද්දේ “අනතුරු ඇඟවීමක්” හැටියටය.

“ඇයට නියමකරන ලද දඬුවම ඉතාම බරපතල එකක්. චීන ආණ්ඩුව ඇය නිහඬ කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළා. මෙය ‘වුහාන්’ නගරයේ සිද්ධවුණේ කුමක්ද? කියන කාරණය අනාවරණය කිරීමට උත්සාහ දරන සෙසු ජනයාත් බියගැන්වීමක් !” ලියෝ ලෑන් (Leo Lan) බීබීසියට අදහස් දක්වමින් සඳහන් කළේය.

“වසංගතය සම්බන්ධයෙන් වාර්තාකරණයේ නිරතවීම නිසා අත්අඩංගුවට ගෙන සිටින අනිත් පුරවැසියන්ගේ ඉරණම ගැනත් මම ඉන්නේ කණස්සල්ලකින්.”

‘වුහාන්’ නගරයේ සිට වාර්තාකරණයේ නිරතවෙමින් සිටි ලී ෂේහුආ (Li Zehua), චෙන් ක්විෂි (Chen Qiushi) සහ ෆෑන්ග් බින් (Fang Bin) යන මිනිස් අයිතිය වෙනුවෙන් පෙනීසිටින නිදහස් මාධ්‍යවේදීන් ද මේ වසර ආරම්භයේ පටන් අතුරුදහන්වීමට ලක්වූහ.

පසුව නිදහස් ලෝකයට පැමිණි ලී ෂේහුආ (Li Zehua) කියාසිටියේ තමා බලහත්කාරයෙන් නිරෝධායනය කළ බවය. මේ අතර චෙන් ක්විෂි (Chen Qiushi) ආණ්ඩුවේ අධීක්ෂණය යටතේ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ රැඳී සිටින බවක් වාර්තා වෙයි.

එහෙත් ෆෑන්ග් බින්ට (Fang Bin ) සිදු වූ දෙයක් තවමත් දැනගන්නට නැත.

-bbc

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *