Type to search

කෝවිඩ් වසංගතයෙන් ලෝකය බේරාගන්නා තුර්කි සරණාගත පුත්‍රයා – උගුර් සහීන්

Share

කෝවිඩ් වසංගතයෙන් ලෝකය බේරාගන්නා ෆයිසර් බයොන්ටෙක් එන්නතේ පුරෝගාමී විද්‍යාඥයා සහ බයොන්ටෙක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන උගුර් සහීන් (Ugur Sahin)ගේ ළමා කල යැයි කියන ඡායාරූපයක් පසුගිය දිනවල විදුලි වේගයෙන් අන්තර්ජාලයේ සංසරණය විය.

සමාජ ජාලවලින් කියැවුණේ ඒ, 1970 වසරේදී තුර්කියේ සිට ජර්මනිය බලා පැමිණි උගුර්ගේ පවුලේ ඡායාරූපයක් බවයි. නමුත් මේ වන විට බයොන්ටෙක් සමාගම ඇතුළු පාර්ශවයන් ගණනාවක් ම විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම ඡායාරූපය ජර්මානු ඡායාරූප ශිල්පියෙකු වන කැන්ඩිඩා හෝෆර් විසින් ගනු ලැබූ “Turks in Germany 1979” නමැති ඡායාරූපය බවත්, එහි උගුර් සහින් නොමැති බවත් කැන්ඩිඩා හෝෆර් පදනම විසින් ද තහවුරු කර තිබේ. තුර්කි ඩයස්පෝරාව (@diaspora_turk) විසින් 2020 අගෝස්තු මස ට්විටර් හරහා ප්‍රචලිත කළ බව සැලකෙන මේ ඡායාරූපයේ සිටින්නේ උගුර්ගේ පවුල විය නොහැක්කේ, එය ‘ජර්මනියට පැමිණි තුර්කි සරණාගතයෝ‘ යන මාතෘකාවෙන් 1970 වසරේදී ගනු ලැබූ ඡායාරූපයක් ද වීම නිසා ය. උගුර් සහින්ගේ පවුල ජර්මනියට පැමිණ තිබෙන්නේ 60 දශකයේදී ය.

නමුත් අපගේ ප්‍රස්තුතය එය නොවේ. මේ ඡායාරූපයේ සිටින්නේ උගුර්ගේ පවුල නොවුණද, උගුර්ගේ පවුල වැනිම සංක්‍රමණික පවුලකි. සරණාගත පවුලකි. ජාතිවාදීන්ගේ හා ජාතිකවාදීන්ගේ බසින් කියන්නේ නම් ‘පරදේසික බෝට්ටුකාර‘ පවුලකි.

සරණාගතයාගේ පුතා
සහීන්ගේ පවුල 1960 දශකයේදී ජර්මනිය බලා පැමිණෙන්නේ තුර්කියේ මධ්‍යධරණී මුහුද අසබඩ පිහිටි ඉසෙන්දෙරුන් නගරයේ සිට ය. ජර්මනියේ කොලොන් නගරයට එන විට මේ කොලුවාගේ වයස අවුරුදු 4 කි. ඔහුගේ දෙමාපියෝ ෆෝඩ් මෝටර් රථ කම්හලේ වැඩ කළහ. කම්කරුවාගේ පුතා කම්කරුවෙකු විය යුතුම නොවේ. ඒ වෙනුවට ජර්මනිය බඳු, එදා පවා යම් තරමකට ලිබරල් වූ රටකදී කම්කරුවෙකුගේ පුතෙකුට අවශ්‍ය නම් ලෝකයේම ජීවිත බේරාගන්නා වෛද්‍යවරයෙකු පවා විය හැකිය.

සහින්ගේ සිහිනය
උගුර් සහින්ගේ සිහිනය වූයේ වෛද්‍යවරයෙකු වීමයි. ඔහු අති දක්ෂයෙකු විය. අනතුරුව කොලෝන් සරසවියෙන් වෛද්‍ය උපාධිය ලබා විශේෂඥ වෛද්‍යවරයෙකු බවට පත් විය. 1993 වසරේදී පිළිකා සෛලවල ඉමියුනොතෙරපි හෙවත් ප්‍රතිශක්ති චිකිත්සාව සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණය සමග ඔහු ඒ සරසවියෙන්ම ආචාර්ය උපාධිය ද දිනා ගත්තේය.

උගුර්ගේ වැක්සිනය
උගුර් සහීන් සිය බිරිඳ වන ඔස්ලෙම් තුරෙසි සමග එක්ව, ජර්මනියේ මයින්ස් නගරයේදී බයොන්ටෙක් සමාගම පිහිටුවා ගන්නේ 2008 වසරේදී ය.

එම සමාගමේ ඇමරිකානු හවුල්කරු වන්නේ ෆයිසර් සමාගමයි. 2020 නොවැම්බරයේදී ඔවුන් නිවේදනය කරන්නේ සිය ෆයිසර්/බයොන්ටෙක් වැක්සිනය 3 වන අදියරේ පරීක්ෂණවලදී 90%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති බවයි. ඒ අනුව එය කෝවිඩ්-19 වසංගතයට ක්ෂණික පිළිතුර ලෙස ලොව පුරා කතා බහට ලක් වේ.

2020 දෙසැම්බර් 2 වැනිදා, සිය ජනතාව ට මෙම එන්නත භාවිතා කරන බව එක්සත් රාජධානිය නිවේදනය කරයි. ඒ අනුව දෙසැම්බර් 8 වැනිදා පටන් ‘මහා පරිමාණ වැක්සින් වැඩසටහන‘ ආරම්භ වේ. මේ වන විට යුරෝපා සංගමය සහ ස්විට්සර්ලන්තය ද මෙම එන්නත භාවිතය සඳහා අනුමැතීන් ලබා දී ඇත.

අද වන විට වයස 55 ක් වන උගුර් සහීන් ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ දළ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 4.2 ද ඉක්මවයි.

ලෝකයම බේරාගත හැකි, කොරෝනාවෛරසයේ නව මාදිලිවලට පවා ඔරොත්තු දෙන එන්නතක් නිෂ්පාදය කළත් උගුර් සහීන් තවමත් මෙම එන්නත ලබාගෙන නැත. මෙයට දින 2කට පෙර මේ සම්බන්ධව මාධ්‍යවේදියෙකු විමසූ විට ඔහු මෙසේ කියයි.

‘‘ඔව්, මම තවම මේක ගත්තේ නැහැ. මොකද මම මගේ වාරය එනකල් ඉන්න ඕනි අපේ රටේ නීතියට අනුව. අනික මට වඩා වැදගත් වෙන්නේ මගේ සහායකයින් මේ එන්නත ලබා ගන්න එක. එයාල තමයි දවසේ පැය විසි හතරම ගොඩක් අනතුරුදායක විදියට මේ වැඩේ නියැලිලා ඉන්නේ. ඊට පස්සේ මම මේක ගහගන්නම්!”

දරුවන් ද නැති ඔහු, වසංගතයෙන් ආතුර වී සිටින මිනිස් ලොව සියලු දරුවන් ගැන සිතන්නේ එසේ ය.

නැවතත් මෙය කියවන්න.. ඔහු ‘‘අපේ රට‘ක් ගැන කතා කරයි. ඔහු කතා කරන ‘අපේ රට‘ ඔහු ජීවත් වන ජර්මනිය මිස ඔහු උපන් තුර්කිය නොවේ. මිනිසෙකුගේ මව් රට යනු ඔහුගේ හෝ ඇයගේ හද බිම මිස අන් දෙයක් නොවේ. එය උපන් තැනද, ජීවත් වන තැන ද යන්න වැදගත් නැත. මේ තුර්කි ජාතිකයා තුර්කියේම සිටියා නම් කිසිදාක වෛද්‍යවරයෙකු නොවීමට පවා ඉඩ තිබිණි.

එදා 2015 වසරේදී ඇන්ගෙලා මර්කෙල් ජර්මන් චාන්සලර්වරිය මිලියනයක් වූ සංක්‍රමණිකයන්ට සිය දේශසීමා විවර කරන විට දක්ෂිණාංශික බලවේග පසුවූයේ ඇයව නොමරා මැරිය හැකි තරම් කෝපයකිනි. එදා මර්කෙල්, මේ සංක්‍රමණික අර්බුදය යුරෝපයට ඓතිහාසික පරීක්ෂාවක් (‘historic test’) වන බව කීවාය. තව වසර 20 ක් ගිය තැන මීළඟ පරපුරේ ලෝකය වෙනස් කරන මිනිසුන් ඒ සංක්‍රමණිකයන් අතරින් බිහිවනු නොඅනුමාන ය.

නමුත් අද වන විට 60 දශකයේදී බෝට්ටුවක නැගී ජර්මනියට ආ සංක්‍රමණිකයෙකුගේ පුතෙකු, පොඩි කොල්ලෙකු හැදූ එන්නතක් විදගෙන ඒ ජර්මානුවෝ පවා මරණ බය පහ කර ගනිති. ඒ අතරම ආපස්සට හැරී සංක්‍රමණිකයන්ට සහ සරණාගතයන්ට උන්ගේ මව් සිහි කරමින් බැණ වදිති. ඒ අපේ මිනිසුන්ගේ තුච්ඡ ගතියයි. නමුත් ඒ තුච්ඡ ගතියට උගුර් සහීන්ලාගේ බහු සංස්කෘතික උරුමයන් හෝ බුද්ධිමය උරුමයන් මරා දැමිය නොහැක. අද වන විට උගුර් සහින් තමන්ව තුර්කි ජාතිකයෙකු ලෙස පවා හඳුන්වා ගන්නේ නැත. ඔහු, විසල් බුද්ධියක් සහ විසල් මනසක් හිමි ලෝකයටම අයිති මිනිසෙක් වන නිසාය, ඒ.

උගුර් සහින් පමණක් නොවේ.
සාපේක්ෂතා වාදය සොයාගත් ඇල්බට් අයින්ස්ටයින් ඇමරිකාවට පැමිණි සංක්‍රමණිකයෙක් විය. Google නිර්මාතෘවරයෙකු වන සෙර්ගෙයි බ්‍රින්, මොස්කව් නුවර සිට ඇමරිකාව බලා ආවේ යුදෙව් ඝාතනයන්ගෙන් බේරෙනු පිණිස ය. Levis ඩෙනිම් කලිසම සොයාගෙන විලාසිතා ක්ෂේත්‍රය සොලවාලූ ලෙවී ස්ට්‍රෝස් 19 වන සියවසේ ජර්මනියෙන් ඇමරිකාව බලා ආ සංක්‍රමණිකයෙකි. ඇමරිකාවේ පළමු රාජ්‍ය ලේකම්වරිය මැඩ්ලීන් ඕල්බ්‍රයිට් පැමිණියේ චෙක් සමූහාණ්ඩුවේ සිට ය. Queen රොක් සංගීත කණ්ඩායමේ නියමුවා ෆ්‍රෙඩී මර්කරිගේ පවුල සැන්සිබාරයේ සිට ඇමරිකාව බලා ආ සරණාගතයන් ය. මේ ලැයිස්තුව ඉතා දිගු ය. ලෝකය වෙනස් කළ බුද්ධිමතුන්, කලාකරුවන්, විද්‍යාඥයන් යනාදී විවිධත්වයෙන් පිරිපුන් ලෝකය වෙනස් කළ මිනිසුන් සිය ගණනකින් එය සෑදී තිබේ. ඔවුන් එක්කෝ සංක්‍රමණිකයන් ය. එක්කෝ සංක්‍රමණික සරණාගතයන් ය.

Live Science සුප්‍රකට සඟරාව Is anyone on Earth, not an immigrant? ‘සංක්‍රමණිකයෙකු නොවන කිසිවෙක් මිහිපිට සිටියිද?‘ යනුවෙන් මේ අතර අපෙන් අසන්නේය.
ඒ ප්‍රශ්නය අප අපෙන්ම අසා ගත යුතුව ඇති එකකි.

කෝවිඩ්-19 වසංගතය ගෙවී යන 2020 වසරේදී අපට කියා දුන්නේ අප අතර ඇති සියලු ආකාරවල බෙදීම් එකම පොදු ඉරණමක් හමුවේ, මනුෂ්‍ය වර්ගයා මුහුණපාන එක ඛේදාන්තයක් හමුවේ කොතරම් නොවැදගත් ද යන්නයි.

එනිසා, සමාජ ජාලවල ප්‍රංශ, ඉතාලි, බොස්නියානු, උර්දු සහ අරාබි යනාදී භාෂා රැසකින් යුතුව ඔහුගේ වැරදි ඡායාරූපයක් ලක්ෂ වතාවක් ෂෙයා වී බව ඇත්ත ය. ඡායාරූපය ව්‍යාජ එකක් හෙයින් එය නොවටිනා විය හැකි නමුත්, එයින් කියා දෙන කතාව, කරළියට ආ සංවාදය ඉතා වටියි. දහසක් බෙදීම් තුළින් අනන්‍යතා දේශපාලනයක් කරා ලෝකය උමතුවෙන් තල්ලුවන අතරවාරයේ උගුර් සහින් වැනි මිනිස්සු, ලෝක සිතියම තුළින් වරින් වර මතු වී, අපව සොළවා තබති.

– රදිකා ගුණරත්න
– අවුට්බවුන්ඩ් ටුඩේ

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *