Type to search

කොරෝනා වෛරසය: රතිඤ්ඤා, ගිනිකෙළි ජයබිම කිඹුලාපිටියට වසංගතය බලපෑ හැටි

Share

”නත්තල් කියන්නේ අපේ අතට කීයක් හරි වැඩිපුර ලැබෙන කාලයක්. නමුත් ගිය අවුරුද්දේ පටන් අපට නත්තලක් නැහැ . ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරය. මේ අවුරුද්දේ කොරෝනා. මේ දෙකෙන්ම වැඩිපුර අසරණ වුනේ අපේ කර්මාන්තයේ නිරත කම්කරුවන්”

රතිඤ්ඤා කර්මාන්තයේ නිරත මීගමුවේ කිඹුලාපිටියේ කම්කරු කාන්තාවක් වන මේරියන් පෙරේරා මේවනවිට රතිඤ්ඤා කර්මාන්තය වැටී ඇති තත්ත්වය කියාසිටියේ එවැනි වදන් සමූහයකිනි. මේරියන් පෙරේරා ශ්‍රී ලංකාවට රතිඤ්ඤා කර්මාන්තය හඳුන්වා දුන් ඒමිස් පෙරේරා ගේ ඥාති මිණිපිරියකි.

රටේ පැවති තත්ත්වයන් හේතුවෙන් පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළ දේශීය කර්මාන්තයක් වන රතිඤ්ඤා කර්මාන්තයත් බලවත් පිරිහීමකට ලක්ව පවතී. අද පවතින වසංගතය හමුවේ උත්සව සැමරුම් මහජන සෞඛ්‍යයට හානිකර නමුත් මේ කතාවේ තවත් නොපෙනෙන පැත්තක් වන්නේ රතිඤ්ඤා කර්මාන්තයෙන් යැපෙන විශාල පිරිසකගේ දෛනික ජීවිතය කනගාටුදායක අඩියකට වැටී තිබීමය.

රතිඤ්ඤා ලංකාවට පැමිණ වසර සියයක් සපිරෙයි. එදා සිට අද දක්වා ලොකු කුඩා කාටත් රතිඤ්ඤා සමීප වී ඇත්තේ උත්සව අවස්ථා සදහා නැතිවම බැරි අංගයක් ලෙසිනි. එහෙත් කොරෝනා වසංගතය හේතුවෙන් උත්සව සැණකෙළි සීමාවීමත් සමඟ රතිඤ්ඤා කර්මාන්තය බලවත් පසුබෑමකට ලක්ව ඇත.


භාණ්ඩ සූදානමින් ඇතත් ගනුදෙනුකරුවන් හිඟ කිඹුලාපිටියේ ගිනිකෙළි වෙළෙඳසලක්

රතිඤ්ඤා සහ වෙනත් ගිනි කෙළි නිමැවුම් ගැන ඇසූ පමණින් සිහියට එන්නේ මිගමුව කිඹුලාපිටිය ප්‍රදේශයයි. කිඹුලාපිටිය එතරම්ම මේ ගිනි කෙළිවලට සුවිශේෂී භූමියකි. උත්සව සමයකදී කිඹුලාපිටිය ගම්මානයට ඇතුලු වන්නෙකුගේ නෙතට පළමුව ලක්වන්නේ පාර දෙපස දකින්නට ලැබෙන විසිතුරු රතිඤ්ඤා හා ගිනිකෙළි කම්හල් හා වෙළෙඳසල් සමූහයයි. නමුත් මෙවර එහි එවැනි තත්ත්වයක් දකින්නට නොමැති අතර පාරම්පරික ගිනිකෙළි වෙළෙඳුන් සිය නිෂ්පාදන සුළු වශයෙන් අලෙවිය සඳහා තබා තිබෙනු පෙනෙයි.

රතිඤ්ඤා ,අහස් කූරූ, නිලා, බඹර චක්‍ර , මල් වෙඩි
කලින් කිඹුලාපිටිය ග්‍රාමයේ රතිඤ්ඤා හා ගිනි කෙළි නිෂ්පාදනය නොකරන නිවසක් සොයා ගැනීමට නොහැකි තරම් විය. සෑම නිවසකම මෙන් ඉතා සුළුවෙන් හෝ රතිඤ්ඤා නිෂ්පාදන කටයුතු සිදු කෙරෙමින් පැවතිණි. උත්සව සමයක් ආරම්භ වීමත් සමග ගිනිකෙළිවලට ඉහළ ඉල්ලුමක් වූයෙන් එය රතිඤ්ඤා නිෂ්පාදකයන් අතිශයින්ම කාර්යබහුල වූ කාලපරිච්ඡේදයක් විය. රතිඤ්ඤා ,අහස් කූරූ, නිලා, බඹර චක්‍ර, මල් වෙඩි ආදී විසිතුරු ගිනි කෙළි වර්ග රාශියක් කිඹුලාපිටියෙන් දොරට වඩියි. නමුත් එම විසිතුරු ගිනිකෙළි වෙළෙඳපොළ මෙවර කිඹුලාපිටියේ දක්නට නැත.


වෙඩි බෙහෙත් මැද ගෙවෙන ජීවිත – මේරියන් පෙරේරා

කිඹුලාපිටියේ ‘අශ්වයා’ ළකුණ රතිඤ්ඤා සහ ගිනි කෙළි කර්මාන්තශාලාව වසර විස්සක් පුරා පවත්වාගෙන එන ව්‍යාපාරයකි. එච්. පී. සිරියාවතී එහි හිමිකාරියයි. දැනට හැත්තෑවෙනි වියේ පසුවෙන සිරියාවතී ඇගේ සැමියා සමග ආරම්භ කල ගිනි කෙළි කම්හල ඔහුගේ වියෝවෙන් පසුවත් පවත්වාගෙන යන්නීය.

“මහත්තයා නැති වෙලා දැන් අවුරුදු දහයක් වෙනවා. ඒත් මම මේ කර්මාන්තෙ අතහැරියේ නෑ. අපිට පුරුදු මේ කර්මාන්තෙ තමයි. වෙන කරන්න දෙයක් නැති නිසා දිගටම මේ රස්සාව කරනවා.” කොරෝනා වසංගතයත් සමග ගිනි කෙළි කර්මාන්තය දැඩි දුෂ්කරතා වලට මුහුණ දුන් බව ඇය පවසන්නීය.

නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකිවීම මත ආදායමක් නොමැති වීමෙන් සේවකයින්ට වැටුප් ගෙවීමට පවා නොහැකි වී ඇති බව සිරියාවතී වැඩිදුරටත් පවසන්නීය.

වෙඩි බෙහෙත් මැද ගෙවෙන ජීවිත
“මේවා හදන්න යොදාගනු ලබන වෙඩි බෙහෙත්වල මිල දරාගන්න බැහැ. අපි රතිඤ්ඤා හැදුවට වෙඩි බෙහෙත්වල ගණන්වලට සෑහෙන ලොකු මිලකට රතිඤ්ඤා විකුණගන්න බෑ. ලොකු මුදලාලිලා වෙඩි බෙහෙත් දීලා මේ බඩු හදවා ගන්නවා. ඊට පස්සේ වෙඩි බෙහෙත් වල මිල අඩු කරලා කුලිය විතරක් දෙනවා. එහෙම අභියෝග මැද තමයි අපි අපේ රතිඤ්ඤා හදන්නේ”


වෙනත් කාලවල මෙවැනි ගිනිකෙළි නිපැයුම්වලට විශාල ඉල්ලුමක් පැවතුණි

රතිඤ්ඤා හා ගිනිකෙළි කර්මාන්තය ආරක්ෂිතව හා ඉතා ප්‍රවේශමෙන් පවත්වා ගතයුතු කර්මාන්තයකි. වෙඩි බෙහෙත් සමග කටයුතු කරන නිසා ආරක්ෂාව හොඳින් තහවුරු කර ගතයුතු වෙයි. රතිඤ්ඤා නිශ්පාදනයට මෙන්ම ප්‍රවාහනයටද බලපත්‍ර ලබා ගත යුතුය. කිඹුලාපිටිය ප්‍රදේශයේ විශාල පිරිසකගේ ජීවන මාර්ගය වී ඇති මෙම ගිනිකෙළි කර්මාන්තය සඳහා බලපත්‍රයක් ලබාගැනීමට නොහැකිව පීඩාවිඳින පිරිසක්ද මේ අතර වෙති.

“අපි බලපත්‍රලාභීන් නොවෙයි. වැඩි මිලට වෙඩි බෙහෙත් අරගෙන මේවා හදන්නේ. බලපත්‍රයක් ගන්නත් පර්චස් හතළිහක ඉඩමක් ඕනෑ” ‘අශ්වයා’ ගිනිකෙළි ළකුණ හිමි සිරියාවතීගේ කර්මාන්තයටද බලපත්‍ර නොමැත .

කිඹුලාපිටිය සංචාරයේදී හමුවූ මෙහි මුලින් සඳහන් කළ මේරියන් පෙරේරා සේවය කරන්නේද සිරියාවතී යටතේය. සිරියාවතී ගේ අවසරය ලැබ මේරියන් සමඟ කළ කතාබහේදී ලංකාවේ රතිඤ්ඤා කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳව බොහෝ තොරතුරු දැනගැනීමට ලැබුණි.

“කිඹුලාපිටියේ තමයි ලංකාවේ රතිඤ්ඤාවල උපත සිදු වුනේ. මගේ සීයා තමයි ලංකාවට රතිඤ්ඤා ගෙනාවේ. එයා ළඟ වැඩ කරපු අය තමයි දැන් රතිඤ්ඤා හදන්නේ.”

මේරියන් පෙරේරාගේ වයස අවුරුදු පනහකි. ඇය තම පවුල රැකගන්නේ මේ රතිඤ්ඤා රැකියාවෙන් වන අතර අවුරුදු විස්සක් පමණ ඇය එහි නියැලෙන බවත් දැනට දිනක වැටුප රුපියල් එක්දහස් දෙසීයක් බවත් ඇය කීවාය.


සිරියාවතී (වමේ) සහ මේරියන් පෙරේරා ගිනිකෙළි නිපදවමින්

රතිඤ්ඤා පටන්ගත්තේ විදේශීය වට්ටෝරුවකින්
රතිඤ්ඤා කර්මාන්තය කිඹුලාපිටිය ප්‍රදේශයේ ආරම්භ කෙරුණේ ‘සූර්යයා’ සහ ‘මුවා’ වෙළෙඳ නාමවලිනි. මේරියන් පෙරේරා පවසන පරිදි එම නිෂ්පාදන හඳුන්වාදෙන ලද්දේ ඇගේ සීයා වූ ඒමිස් පෙරේරා විසිනි. විදේශීය පොතකින් ලැබුණු වට්ටෝරුවක් අත්හදා බැලීමෙන් පසුව ලංකාවේ රතිඤ්ඤා නිෂ්පාදනය ආරම්භ කර ඇති බවත්, ඒමිස් පෙරේරා යටතේ සේවය කළ බොහෝ දෙනා පසුව ඔවුන්ගේම කර්මාන්ත ආරම්භ කිරීමෙන් කිඹුලාපිටිය ප්‍රදේශය ගිනිකෙළි කර්මාන්තයට නමගිය භූමියක් බවට පත්වූ බවත් ඇය සඳහන් කළාය.

ඒමිස් පෙරේරාගේ රතිඤ්ඤා රට පුරා ජනප්‍රිය වීමත් සමග ඔහු වෙනත් ගිනිකෙළි වර්ග නිපදවීමටද අතගසා ඇත.

රතිඤ්ඤා ඉතිහාසය කියද්දී මේරියන් තවත් අපූරු රස කතාවකටද මුල පිරුවාය . වසර සියයකට එහා දිවයන මේ කතාව ආරම්භ වන්නේ බ්‍රිතන්‍ය ජාතිකයන් දෙදෙනෙකු හා සම්බන්ධ කතා පුවතකිනි .

“මගේ තාත්තා කියලා තියන විදිහට මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1920 විතර. සුදු ජාතිකයන් දෙන්නෙක් ගඟේ ගිලෙන්න යද්දී ඒමිස් සීයයි, එයාගේ සහෝදරයෙකුයි ඉදිරිපත්වෙලා ඔවුන් බේරාගෙන තියනවා .ගොඩට ගත්තත් එක්කෙනෙක් පස්සේ මැරිලා. ඉතිරි වුන සුදු ජාතික මහත්තයා සීයලට සල්ලි දෙන්න හදලා තියනවා අපේ සීයලා ඒ සල්ලි භාර ගෙන නැහැ .ඊට පස්සේ ඒ සුදු මහත්තයා ඒමිස් සීයට ලස්සන පොතක් දීලා තියනවා .ඒ පොතේ තමයි මේ කර්මාන්තෙ පිළිබඳව ලියලා තිබිලා තියෙන්නේ. එදා ඒ පොත ගෙදර ගෙනාපු සීයා ඒකේ තියන විධිහට රතිඤ්ඤා හදලා තියනවා. ඒ දවස්වල වෙඩි බෙහෙත් තිබිලා නැහැ. තුවාල වලට දාන බෙහෙත්, ගෙන්දගම් වගේ දේවල් තමයි යොදාගෙන තියෙන්නේ. ඊට පස්සේ රැජිනයි – ජෝර්ජ් රජ්ජුරුවෝයි ලංකාවට ආපු දවසේ ඒමිස් සීයා රැජිනගේ රූපය අනුව ගිනිකෙළි නිර්මාණයක් හදල, රැජින සතුටට පත්කරලා තියෙනව. ඒ නිසා අපට වෙඩි බෙහෙත් ආදිය දෙන්න කියල රැජින කිව්වා කියල කතාවක් තියෙනව”

කිඹුලාපිටිය ගම්මානයේ බොහෝ දෙනා පාරම්පරික ගිනිකෙළි කර්මාන්තකරුවන්ය. ශිරෝමි මුතුකුඩ කිඹුලාපිටියේ ගිනිකෙළි නිපදවන්නියකි. ශිරෝමි පවසන පරිදි වසර විසි පහක පමණ කාලයක සිට ඇය ගිනි කෙළි කර්මාන්තයේ යෙදෙයි .

“අවුරුදු දෙකකට කලින් ඉඳලා ‘ස්ටොක්’ තියෙනවා. ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරය නිසා අපේ නිෂ්පාදන විකුණාගන්න බැරි වුණා. මේ අවුරුද්දේ ‘කොරෝනා’ නිසා විකුණාගන්න බැරි වුණා. අපි ජීවත් වෙන්නේ මේ රස්සාවෙන්. දැන් මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ ”


ශිරෝමි මුතුකුඩ කිඹුලාපිටියේ ගිනිකෙළි නිපදවන්නියකි.

ඒ ගිනිකෙළි නිමැවුම් මගින් දිවිපෙවෙත ගෙනයන කිඹුලාපිටියේ ගිනිකෙළි නිපදවන්නන් සහ ඔවුන්ට ශ්‍රමය විකුණා ජීවත්වෙන කම්කරුවන් අද පත්ව ඇති තත්ත්වයයි.

ඔවුන්ගේ ජීවිතවලට ගිනිකෙළි මගින් අද ලැබෙන ආලෝකයක් නොමැති අතර මෙවර නත්තල පමණක් නොව නව වසරේ ආරම්භයත් රතිඤ්ඤා හඬ හෝ වෙනත් අලංකාර ගිනිකෙළි සංදර්ශන වලින් තොරව ගෙවීයන ආකාරයක් දක්නට ලැබෙයි.

– bbc

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *