අපරාධ සැකකරුවන් ලැජ්ජාවට පත් කිරීමට ඔවුන්ගේ ඡායාරූප හා විස්තර ප්‍රසිද්ධ කරනවා – වීරසේකර

CID නිලධාරීන් සම්බන්ධව වහාම විමර්ශනයක් කරන්නැයි ඇමති පොලිස්පතිට උපදෙස්

CID නිලධාරීන් සම්බන්ධව වහාම විමර්ශනයක් කරන්නැයි ඇමති පොලිස්පතිට උපදෙස්

ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, පහරදීම් වැනි අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ට නඩු පවරන අතරේම ඔවුන්ගේ ඡායාරූප සහ විස්තර මින් ඉදිරියට මාධ්‍යයට නිකුත් කර ජනතාව දැනුවත් කිරීමට ක්‍රියාකරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

“අපි ළමා අපචාර, කාන්තාවන් දූෂණය කිරීම, මංකොල්ලකෑම, ඉතාම නින්දිත ලෙස පාරේ මැද්දෙ තියලා පහරදීම් වගේ ප්‍රචණ්ඩක්‍රියා කරන සියල්ලන්ම හඳුනාගත් පසුව, ඔවුන්ට නඩුදාන ගමන් මාධ්‍ය තුළින් මේ අයගේ ඡායාරූ‍ප පෙන්වලා මේ අයගේ විස්තර මාධ්‍යයට නිකුත් කරලා ජනතාව දැනුවත් කරනවා.

ඒ තුළින් මම හිතනවා මින් ඉදිරියට හෝ එවන් දෙයක් කරනවා නම් තමන්ගේ විස්තර සමස්ත ජනතාව දැනගන්න නිසා ඒ තුළින් ඔහු කිසියම් බියක් සැකක් නැත්නම් ලැජ්ජාවක් ඔවුන් තුළ ඇතිකිරීම තමයි අපේ සම්පූර්ණ පරමාර්ථය. 118 දුරකථන අංකයෙන් පුළුවන් ඕනෙම කෙනෙකුට අමතන්න. එය තුළින් අපි ශක්තිමත් කණ්ඩායම් සහ වාහන පහසුකම් සමග, අපරාධයක් වෙනවා නම් එසැණින් එතැනට ගිහිල්ලා ඒ අපරාධකරුවන් අල්ලන්න පුළුවන් ක්‍රියාදාමයකුත් දැන් සකස් වෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේවෙතත් අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වශයෙන් නීතිය ඉදිරියේ තහවුරු නොවුණු හුදෙක් සැකකරුවන්ගේ විස්තර මෙසේ මාධ්‍ය වෙත නිදහස් කිරීමට අමාත්‍යවරයා සහ රජය ක්‍රියා කරන්නේ කවර නීතිමය පදනමක් යටතේද යන්න පැහැදිලි නැත. විශේෂයෙන් එම සැකකරුවන් අධිකරණය හමුවේ නිදොස්කොට නිදහස් වුවහොත් රජය විසින් ඔවුන්ට එරෙහිව සිදුකරන ලද සාවද්‍ය ප්‍රචාර පිළිබඳ සිදුවන්නේ කුමක්ද යන්න ගැටළුවකි.

ශ්‍රී ලංකා පොලිසියේ අසාර්ථකත්වය සහ අකාර්යක්ෂමතාවයත් එය වසා ගැනීම සඳහා ඔවුන් ගෙනයන සරල ක්‍රියාදාමත් අනුව මෙසේ ඡායාරූප ප්‍රසිද්ධ කිරීමේ ඇති භයානකත්වය තේරුම් ගැනීමට සේයා දැරිය ඝාතනය පිළිබඳ චෝදනා එල්ල වූ පාසල් සිසුවා සහ කොණ්ඩයා නම් තරුණයා ගැන සිහිපත් කිරීම ප්‍රමාණවත් වනු ඇති. එමෙන්ම මෙය පොලිස් නිලධාරීන් තමන්ගේ පෞද්ගලික පළිගැනීම් සඳහා ද යොදවා ගැනීමේ සම්භාවිතාව බැහැර කළ නොහැකි හෙයින් තත්වය තවත් දරුණු වනු නියතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *