Type to search

අටලුගම ගැන බිය පතුරුවා මාධ්‍ය ජාතිවාදය අවුස්සනවා

Share

බණ්ඩාරගම ප්‍රදේශයේ අටලුගම ගම්මානයේ මිනිසුන් මියයන පුද්ගලයන් ආදාහනය කිරීමත්, ඇතැම් නිලධාරීන්ගේ හැසිරීමත් නිසා කොවිඞ්-19 මර්දන ක්‍රියාවලියට සහයෝගය නොදැක්වූ නමුත් පීසීආර් ගැන බිය සමනය කර, ප්‍රදේශවාසීන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට මුස්ලිම් පල්ලිය කටයුතු කර ඇත. එය සඟවමින් මාධ්‍ය බිය පතුරුවයි.

‘අටලුගම වෙනම රටක් නොවෙයි. ශ්‍රී ලංකාව තුළ තිබෙන එක්තරා ග්‍රාමයක් පමණයි. ඒ නිසා මේ රට එකම නීතියක් ක්‍රියාත්මක විය යුතුයි කොරෝනා වෛරසය හා සම්බන්ධයෙන් පවා. ඒ ගැනත් අටලුගම ජනතාව හිතනවා නම් හොඳයි.’

මේ නොවැම්බර් 30 වෙනිදා ‘හිරු’ නාලිකාවේ පත්තරේ විස්තරේ ඉදිරිපත් කළ නිවේදකයා බණ්ඩාරගම ප්‍රදේශයේ අටලුගම ගම්මානය පිළිබඳ දුන් අර්ථකථනයයි. අටලුගම සහ වෙනම රටක් යන වචන එකතු කොට, සාමාන්‍ය ප්‍රේක්ෂකයාගේ බිය ඇවිස්සීමට එවැනි ප්‍රකාශවලින් උත්සාහ ගෙන තිබුණි.

අටලුගම ජනතාව කොවිඞ්-19 වසංගත මර්දනයට සහයෝගය නොදක්වන බව මාධ්‍ය වාර්තා ගණනාවක් පළ විය. එහෙත් එවැනි වාර්තා ගැන අටලුගම ප්‍රදේශවාසීන්ගේ පැත්තේ කතාවට කිසිදු ඉඩක් නොවීය.

අටලුගම ජනතාවගේ සැබෑ ගැටලුව ඇත්තේ මතුපිටින් පෙනෙන අන්දමට වඩා ගැඹුරු තැනකය. විද්‍යා ගුරු උපදේශක එන්.එම්. මොහොමඞ් මෙසේ කීය. ‘අටලුගම කියන්නේ කිලෝමීටර් 2ක පමණ භූමියක මිනිස්සු 20,000ක් විතර ඉන්න ප්‍රදේශයක්. කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනය ඉන්නේ මෙහේ. බහුතරය මුස්ලිම් ජාතිකයන්. අටලුගම පදිංචි හොරණ කර්මාන්තශාලාවක වැඩ කරන දෙන්නෙක් තමයි මුලින්ම කොවිඞ් පොසිටිව් කියලා හම්බුණේ. ඊට පස්සේ ඔවුන්ගේ පවුල්වල අයටත් පීසීආර් කළා. පවුලේ අයත් පොසිටිව් වුණා. ඒ වෙද්දී ඔවුන් දන්නේ නැතුව කඩවලට ගිහින් තිබුණා. තව 17ක් හම්බවුණා. ඔවුන්ගේ ආශ්‍රිතයන් තවත් හැට ගාණක්.

ගමේ 150ක් විතර ඔය අතරේ පීසීආර් කළා. ඒත් ප්‍රතිඵල ආවේ නැහැ. දවස් පහකට පස්සේ ඇහුවාමත් ප්‍රතිඵල නැති බව කීවා. අන්තිමේ දවස් හතකට පස්සේ තමයි පොසිටිව් කියලා සෑහෙන පිරිසකගේ ප්‍රතිඵල ආවේ. ඒත් ඒ අය ප්‍රතිඵල ප්‍රමාද වෙද්දී, රෝග ලක්ෂණත් නැති නිසා තමන්ට කොවිඞ්-19 නැති බව හිතමින් විවිධ තැන්වල ගිහින් තිබුණා.’ ප්‍රතිඵල ලැබෙන තුරු ක්‍රියාවලියේ අඩුපාඩු නිසා ගමේ කොවිඞ්-19 පැතිරීමට හේතු වූ බව එම අදහස්වලින් පෙනී යයි.

‘පළවැනි වතාවේ හඳුනාගත් 17 දෙනාට ඇරෙන්න අනිත් නිවස්වලට නිරෝධායන ලේබල් එකවත් ගැහුවේ නෑ. පොසිටිව් වුණ සමහර අයත් දැනුවත් නෑ. ආසාදිතයන් ගෙවල්වලම තිබ්බා මිසක් ගෙනිච්චේත් නෑ.

මේ පවුල් කුඩා නෑ. එක ගෙදරක පවුල් දෙක තුන ජීවත් වෙනවා. ඒක නිසා පොසිටිව් වූ කෙනා ඉක්මනට ගෙනිච්චෙ නැත්තම් එක පාර සැලකිය යුතු පිරිසකට බෝ වෙන්න පුළුවන්. එම්ඕඑච් එකෙන් කිව්වා දාන්න තැනක් හොයාගන්නකම් ගෙවල්වල තියන්න වෙනවා කියලා. නොවැම්බර් 22 ඉරිදා වෙද්දී 38 දෙනෙක් පොසිටිව් කියලා ගෙනිච්චා. 10දෙනෙක් වගේ තමයි දැන් ඉතුරු. එයාලා විවිධ අවශ්‍යතා තියෙන අය. මානසික රෝගීන් කිහිප දෙනෙක්, කකුල කපපු කෙනෙක්, කොමඞ් එකක් නැතුව වැසිකිළි යන්න බැරි ආච්චි කෙනෙක් වගේ අය. එයාලාට විශේෂ තැනක් සූදානම් කරලායි ගෙනියනවා කිව්වේ.’

අටලුගම ගම්වාසීන් පමණක් නොව, ලංකාවේම මුස්ලිම් ජාතිකයන් පීසීආර් පරීක්ෂණවලටත්, කොවිඞ්-19 මර්දන ක්‍රියාවලියටත් බියක් හා අවිශ්වාසයක් දැක්වීමට ප්‍රධාන හේතුව වන්නේ කොවිඞ්-19 ආසාදිතයන්ගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආණ්ඩුව දක්වන විද්‍යාත්මක නොවන මුග්ධ පිළිවෙතය.

‘මිනිස්සු පීසීආර් පොඩිටිව් වෙලා එයාලා මැරුණොත් ආදාහනය කරනවා කියන එක ප්‍රශ්නයක්. අපේ ආගමේ හැටියට පුච්චන එක පවක්. ඒත් විද්‍යාත්මක පදනමක ඉඳන් පුච්චන්නම වෙනවා නම් අපි ඒක පිළිගන්නවා. ජාත්‍යන්තර වශයෙන් හැම රටක්ම ආදාහනය කරනවා නම් අපට තේරෙනවා. එහෙම නැතුව අපේ රටේ විතරක් මෙහෙම කරනකොට අපේ මිනිස්සුන්ට හිතෙන්නේ මේ දේශපාලනික අරමුණුවලට අනුව පළිගන්න කරන දෙයක් බව. ඒ කේන්තියට පීසීආර් විරෝධයක් ගම ඇතුළේ ගොඩ නැගුණා.’

මේ අදහස් දක්වන්නේ විද්‍යා ගුරුවරයෙකු බව අමතක නොකළ යුතුය. ගමේ අය පීසීආර් පරීක්ෂණවලට බියක් දැක්වීමේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඔවුන් ප්‍රදේශයේ ප්‍රජා වෛද්‍ය නිලධාරිනිය සමඟ කතාබහ කොට, විසඳුම් සොයා තිබුණි.

‘අපි ජනතාව දැනුවත් කරන්න පටන් ගත්තා. එයාලට හරියට විස්තර කියලා දීලා. පල්ලිවලින් දේශනා පැවැත්වුවා. පල්ලියෙත් කට්ටියව ලියාපදිංචි කරලා. පීසීආර් ගැන ආපු ඍණාත්මක ආකල්ප අඩු කරන්න අපි මැදිහත් වුණා. දැන් අතිබහුතරයක් මිනිස්සු කැමතියි පීසීආර්වලට යන්න.’

සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපති මව්ලවී.එම්.කේ.අබ්දුල් රහුමාන් මෙසේ කීය. ‘පීසීආර් කළාට ප්‍රතිඵල ප්‍රමාද වෙලා තිබුණා. මාධ්‍යවලින් එක පැත්තක් තමයි කිව්වේ. මිනිස්සු නීතියට ගරු කරන්නේ නෑ කියලා. මේ සාමාන්‍ය ජනතාව. භාෂා ප්‍රශ්නයත් තියෙන එකේ මිනිස්සුන්ට එහෙන් මෙහෙන් කිව්වට තේරෙන්නේ නැති බව ඇත්ත. පොසිටිව් වුණා ද කියලවත් මිනිස්සු දැනගෙන හිටියේ නෑ. පීසීආර් ප්‍රතිඵල ප්‍රමාද වෙනකොට එයාලා දවස් 4ක් විතර යද්දි සාමාන්‍ය විදිහට හැසිරෙන්න පටන් අරන් තිබුණා. මේක නවත්වන්න ඉක්මනින්ම පල්ලියෙන් මැදිහත් වුණා.’

නදීබ් හැරී මහතා මෙසේ කීය. ‘17ක් හම්බුණාට පස්සේ ගෙවල්වලට කඩා පැන්නා. එතැනදි සමහර නිලධාරීන් හැසිරුණ විදිහත් එක්ක මිනිස්සුන්ට ඇති වුණේ අප්‍රසාදයක්.’

තවත් කෙනෙකු නම සඳහන් නොකර පැවසුවේ සිංහල ජාතික නිලධාරීන් මුස්ලිම් ජාතික මිනිසුන් පහත් කොට සලකමින් කතාබහ කරන බවය. එය ජනතාව වේදනාවට සහ පීඩාවට පත් කරන බවත්, ඉන් අවිශ්වාසය වැඩි වෙන බවත් කීය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන නස්ලි නෆ්රි: ‘දෙසැම්බර් 01 ඉඳලා දවසට 600කට පීසීආර් කරනවා. ඒක මාධ්‍යවලින් දාන්නේ නැහැනේ. මිනිසුන් පීසීආර් නොකරන බව පිළිගන්න බෑ. ගෙවල්වලට කඩාවැදිලා, බැණවැදිලා, බලහත්කාරයෙන් ගෙනියන්න උත්සාහ කරන, ඒ සඳහා එන නිලධාරීන්ගේ හැසිරීම හරියාකාරව අවබෝධ කරගන්න බැරිවුණාම මිනිස්සු එන්නේ නෑ. ටිකක් කාරුණිකව තේරුම් කළා නම් මිනිසුන්ගෙන් ඒ විදිහෙවත් විරෝධයක් එන්නේ නෑ.

නොවැම්බර් 30 ප්‍රවෘත්තිවලට කිව්වා අටලුගම 38 දෙනෙක් ඉන්නවා පොසිටිව් වෙච්ච හොයාගන්න බෑ. හැංගිලා ඉන්නේ කියලා. මම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරියගෙන් එවලේම කතා කරලා ඇහුවාම කිව්වා පරණ වාර්තාවක් කියන්නේ විශේෂ සංකුලතා තියෙන 10 දෙනෙක් විතරයි ගෙනිච්ච නැති අයගෙන් ඉන්නේ කියලා.’

– නිත්‍යා සෙව්වන්දි | Anidda

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *