පාස්කු ප්‍රහාරය සිදුවෙලා තියෙන්නේ විදෙස් ත්‍රස්ත කණ්ඩායමක් පූර්ණ අධීක්ෂණයෙන් – කොමිසමේදී හිටපු නාවික හමුදාපති

පාස්කු ප්‍රහාරය සිදුවෙලා තියෙන්නේ විදෙස් ත්‍රස්ත කණ්ඩායමක් පූර්ණ අධීක්ෂණයෙන් - හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න

පාස්කු ප්‍රහාරය සිදුවෙලා තියෙන්නේ විදෙස් ත්‍රස්ත කණ්ඩායමක් පූර්ණ අධීක්ෂණයෙන් - හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය විදෙස් ත්‍රස්ත කණ්ඩායමක් පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වුවක් බවට තමන් විශ්වාස කරන බව හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ කියා සිටියේය.

එම ප්‍රහාරයට මෙරට බුද්ධි අංශ දුර්වල කිරීමට යහපාලන රජය කටයුතු කිරීම හේතූ වූ බවත් පෙන්වා දුන් ඒ මහතා තමන්ද බුද්ධි අංශ නිලධාරීන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීමට ගොස් අදටත් ඇප මත සිටින චූදිතයෙක් බවට පත්ව සිටින බවත් කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

ලෝකයටම ත්‍රස්තවාදය ගැන කියා දුන් ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට විදේශ තොරතුරක් හරහා දැන ගැනීමට ලැබීම අගෞරවයක් බව කියා සිටි ඒ මහතා තමන් අවුරුදු 18න් නාවික හමුදාවට බැදී විශ්‍රාම ගොස් මේ වනවිට මාස තුනක කාලයක් ගත වී ඇති බවත් ජීවිත කාලයම පුරාම රට රැක්ක නිලධාරියෙක් ලෙස මෙවැනි ප්‍රහාරයක් ඇති වීමේ කම්පනය හැමදාමත් පවතින බවද කොමිසම හමුවේ කියා සිටියේය.

අවාසනාවන්ත ලෙස ප්‍රහාරයක් එල්ල වුවද ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඔවුන්ගේ ක්‍රියාකාරකම් 2004 සිට නිරීක්ෂණය කළ අතර ඔවුන් ගැන සොයා බැලූ බවද හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.


ර‍ජයේ අතිරේක ජනරාල්වරිය:ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී හිටපු බුද්ධි අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතා අන්තවාදීන් ගැන සහරාන් ගැන කරුණු ඉදිරිපත් කරාද?

සාක්ෂිකරු:අවස්ථා ගණනාවකදී අන්තවාදී සංවිධාන ක්‍රියාකාරකම්, රටින් පිටව ගොස් සිටි IS සංවිධානය සමඟ කටයුතු කිරීම ගැන පිටරටින් පැමිණ සිදුකරන අන්තවාදී දේශන ගැන ඔහු කතා කළා.

රජයේ අතිරේක ජනරාල්වරිය:පාස්කු ප්‍රහාරය සම්බන්ධ සහරාන් හෂීම් NTJ සංවිධානය සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන මහතා ඒ රැස්වීම්වල කතා කළාද? මොනවද ගත් පියවර?

සාක්ෂිකරු:කරුණු ඉදිරිපත් කළා. ක්‍රියාකාරීන් වගේම සහරාන් හෂීම් ගැන කතා කළා. මොවුන් ගැන සොයා බැලීම් සිදුකළේ 2004 සිට. එහෙත් ඔහු ත්‍රස්තවාදියෙක් ලෙස දැනගත්තේ මරාගෙන මැරෙන ‍බෝම්බයක් එල්ලකළාට පසුව. ඊට පෙර කිසිදා ඔහු ත්‍රස්තවාදියෙක් බව දැනසිටියේ නෑ.

කොමිසම:වැදගත් බුද්ධි තොරතුරු නිලන්ත ජයවර්ධන මහතා ආරක්ෂක කවුන්සලයේදී ඉදිරිපත් කළාද?

සාක්ෂිකරු:එහෙමයි ස්වාමිනි.

කොමිසම:ත්‍රස්තවාදි මත අනුගමනය කරන කෙනෙක් ත්‍රස්තවාදියෙක් නෙමෙයිද?

සාක්ෂිකරු:ත්‍රස්තවාදියෙක් තමයි ස්වාමිනි.

රජ‍යේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: ආරක්සක කවුන්සිලයේ යම් තීරණ ගැනීමක් නියෝග දීමක් සිදුවුණාද?

සාක්ෂිකරු:තීරණ ගන්න අවශ්‍ය වුණේ නෑ ස්වාමීනි. නිලන්ත ජයවර්ධන මහතා හැමවිටම කිව්වේ හොඳින් පරීක්ෂා කරනවා හොයාගෙන යනවා කියලා. රටේ ආරක්ෂාව පිළිබඳ තීරණ ගන්න ඕන ආරක්ෂක කවුන්සිලය කියා වැරදි මතයක් ගෙන යනවා. වැරදි කරන කෙනෙක් අත්අඩංගුවට ගන්න එහි අනුමැතිය අවශ්‍ය නෑ. මම ගැඹුරු මුහුදේ විශාල යාත්‍රා අත්අඩංගුවට ගත්තා නාවික හමුදාපති ලෙස සිටියදී. මම කාටවත් දැනුම් දුන්නෙ නෑ. ආරක්ෂක කවුන්සිලයට යා යුත්තේ ජාත්‍යන්තර තර්ජනයක් වෙනවා නම් ගැටලුවක් වෙනවා නම් ඒ ගැන විමසීමටයි.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් IS මතවාදය අනුමත කරන බව නිලන්ත ජයවර්ධන කියා තිබුණද?

සාක්ෂිකරු:ඔව් ස්වාමිනී.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: සහරාන් හෂීම් ගැන කොයි කාලෙද තොරතුරු ලැබුණේ?

සාක්ෂිකරු:2004 සිට ‍තොරතුරු දැන සිටියා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: NTJ සංවිධානය සහරාන් හෂීම් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීම සම්බන්ධයෙන් දේශන පැවැත්වූ බවට මුහුණුපොතේ සමාජජාලා ගිණුම්වල පළකරන බවට නිලන්ත ජයවර්ධන කරුණු ඉදිරිපත් කළාද?

සාක්ෂිකරු: කිසිම අවස්ථාවක කිව්වේ නෑ.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:මරාගෙන මැරීම උතුම් ජිහාදයක් බවට සහරාන් හෂීම් කියා තිබෙන බවට කරුණු කිව්වද?

සාක්ෂිකරු: ඔහු අන්තවාදියෙක් නොමග යවන දේශන කරන දේශකයෙක් බවට කියා තිබුණා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: මාවනැල්ල ආගමික ප්‍රතිමාවට ප්‍රහාර දීම,වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සිද්ධි දෙකට සහරාන් හෂීම් සම්බන්ධ බවට නිලන්ත ජයවර්ධන කරුණු ඉදිරිපත් කළාද?

සාක්ෂිකරු: බුද්ධි තොරතුරු සොයාගෙන ලබාදීමටයි ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමට නියමිත ඒකක තිබෙනවා. බුදුපිළිම ප්‍රහාරය, වනාතවිල්ලුව සිද්ධිය, වව්නතිව් පොලිස් මුරපොළට පහරදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීම පරීක්ෂණ කළේ CID ය. ඔවුන් හරි මාර්ගයේ ගමන් කළේ නෑ. මා දන්නා පරිදි ඔවුන් හරි පාරේ ගියා නම් එල්.ටී.ටී.ඊ.ය කළ දෙයක් ලෙස නිසි විමර්ශනයක් නොකර ප්‍රකාශ නොකළා නම් සිද්ධිය පිළිබඳව නිසි තොරතුරු වැදගත් කරුණු සොයා ගැනීමට හැකිව තිබුණා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: අප්‍රේල් 09 වනදා සති බුද්ධි රැස්වීමේ බුද්ධි තොරතුර ගැන කතා වුණාද? ඔබට මතකයක් තිබෙනවද අප්‍රේල් මාසයේදී සහරාන් අනුගාමිකයන් විසින් කතෝලික සිද්ධස්ථාන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු බුද්ධි රැස්වීමකදී සාකච්ඡා කළා කියලා?

සාක්ෂිකරු:නැහැ අප්‍රේල් මාසයේ ඉන්දීය ආරක්ෂක ලේකම් සෑම වසරකම හමුවෙන වාර්ෂික හමුව තිබෙනවා. හයවෙනි හමුවීම අප්‍රේල් 08 තිබුණේ. ඒ රැස්වීම ඉන්දීය ආරක්ෂක ලේකම් හමුවීමට උදේ ගියා. මේ කිසිම අවස්ථාවකදී නිලන්ත ජයවර්ධන ලැබුණූ බුද්ධි තොරතුර ගැන මා දැන සිටියේ නෑ. එහෙම වුණා නම් ඉන්දීය ආරක්ෂක ලේකම්ගෙන් අහන්න තිබුණා. තවත් විස්තර ගන්න තිබුණා. ඉන්දීය බුද්ධි ප්‍රධානියාත් මේ රැස්වීමට ආවා. කිහිපවතාවක්ම විස්තර ලැබුණු බව නිලන්ත ජයවර්ධන කියා තිබෙනවා මා මාධ්‍යයෙන් දැක්කා. ඔහු බුද්ධි නිලධාරියෙක් ලෙස විශාල වරදක් කර තිබුණා. බුද්ධි තොරතුරු ලැබුණු විදිය කාටවත් කීම විශාල වරදක්. සමාජයෙන් මාධ්‍යයෙන් මේ බව හෙළිවුණා. ඒ තොරතුර තමයි අපිට ලැබුණු අන්තිම බුද්ධි තොරතුර. තව තොරතුරු දෙන්නෙ නැහැ. අපට තිබුණු මහඟු අවස්ථාවක් ඒ නිසා මඟහැරුණා.

කොමිසම: ඒ බව ඉන්දියාව දැන සිටියා නම් ඒ අයට මෙරටට එන්න දෙනවාද?

සාක්ෂිකරු: මේ රැස්වීම තියන්න අවුරුද්දෙ දින දෙකක් තෝරනවා. මෙවර තෝරගත්තෙ අප්‍රේල් 08. ඒ අය ප්‍රහාරය ගැන දැන සිටියා නම් එන්නෙ නැහැ. ලැබෙන බුද්ධි තොරතුරු හරි විදියට ලැබිය යුතු අයට නොලැබීම ගැන ඉතා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා.

කොමිසම: ඒ සම්බන්ධයෙන් වගකීම අපේ බුද්ධි අංශයටද පැවරෙන්නෙ?

සාක්ෂිකරු: මට බුද්ධි තොරතුරක් ලැබුණොත් මම කියන්නෙ නෑ. ඒක ඒ ආයතනයට කරන වරදක්. බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ක්‍රෙඩිට් එක කාටද යන්නෙ කියා අපි බලන්නෙ නෑ. නාවික හමුදාව සම්බන්ධයෙන් දහස් ගණන් නියෝග මා කර තිබෙනවා. බුද්ධි තොරතුරු ලැබී තිබෙනවා. අපි හරි දේ කර තිබෙනවා. මෙතන තියෙන්නෙ බුද්ධි අංශ අතර තිබෙන විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක්.

කොමිසම: ඔය තොරතුර දී තිබුණේ ඉන්දීය බුද්ධි අංශයද වෙනත් අංශයක්ද?

සාක්ෂිකරු: එය කිව යුතු නෑ. මගේ අත්දැකීම් නම් ඉන්පස්සෙ කිසිම තොරතුරක් ලැබුණේ නෑ.

කොමිසම: ඒ තොරතුර ගැන ඉන්දීය බුද්ධි අංශ දැන සිට නැද්ද?

සාක්ෂිකරු: ඒ අය ඒ ගැන දැන නොසිටින්න ඇති.

කොමිසම: ‍තොරතුරු ලැබුණු ආයතනය ගැන අනාවරණය කර කිව හැකිද?

සාක්ෂිකරු: මාධ්‍ය කියා තිබුණා ඉන්දීය බුද්ධි අංශ කියලා. එහෙම තොරතුරු ලැබිලත් අපිට වැඩේ කර ගන්න බැරිවුණා කියා වාර්තා කර තිබුණා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: සහරාන් හෂීම් සහ පිරිස මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බව ප්‍රහාරයට පෙර ඔබ දැන සිටියාද?

සාක්ෂිකරු: නැහැ ස්වාමීනි.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: අප්‍රේල් 16 පාලමුණේ බෝම්බ පිපිරීම ගැන ඔබ දැනුවත්ද?

සාක්ෂිකරු:ඔව් ස්වාමීනි.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:ඒ පිපිරීම NTJ සංවිධානයේ නායකයා සහරාන් හෂීම් සම්බන්ධ බවට නිලන්ත ජයවර්ධනගෙන් හෝ වෙනයම් මාර්ගයකින් ප්‍රහාරයට පෙර ඔබ දැනුවත් වුණාද?

සාක්ෂිකරු: බයිසිකල් පිපිරීමට NTJ සංවිධානය සම්බන්ධ බවට නිලන්ත ජයවර්ධන කියා තිබුණා. ඒ පිපිරීම සහ මේ බෝම්බකරුවන් කළ පිපිරීමත් අතර විශාල වෙනසක් තිබෙනවා.බයිසිකල් බෝම්බයක් කාටත් හදන්න පුළුවන්. මේවගේ බෝම්බ හදලා පුපුරන විදිය, ‍බෝම්බය තබාගන්නා ආකාරය පළපුරුද්දක් නැති කෙනෙකුට කරන්න බැහැ. කොච්චිකඩේ දේවස්ථානය ගාව ඊට දින දෙකකට පසුව පුපුරුවා හැරි වාහනයේ පුපුරණ ද්‍රව්‍ය රඳවා තිබූ ආකාරය ඊට රුපියල් පන්දාහේ කොළ දමා තිබූ ආකාරය බැලුවාම සුමානයක දෙකක අත්දැකීමෙන් කරන්න බැහැ. වවුනතිව් සිද්ධිය හිතා මතා වෙනතකට යවන්න කළ දෙයක්.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: අප්‍රේල් 21 හෝ ඊට ප්‍රථම ප්‍රහාරයක් කරන්න යනවා කියා අප්‍රේල් 20 ලැබුණු තොරතුර ගැන ඔබ දැනුවත්ව සිටියාද?

සාක්ෂිකරු: නැහැ ස්වාමීනි. මම කොළඹින් පිට සිටියේ. එවකට යුද හමුදාපති මහේෂ් ‍සේනානායක මහතා පිටරට ගිහින් හිටියේ. වසරකට වරක් තිබෙන සුපර්ක්‍රොස් තරගාවලියට මට ඔහු වෙනුවෙන් සහභාගි වෙන්න කිව්වා. මමත් වර්තමාන යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාත් එයට සහභාගි වෙමින් සිටියේ. අප්‍රේල් 21 ප්‍රහාරය ගැන තොරතුර ලැබී තිබුණා නම් අපි ඒ ස්ථානයේ ඉන්නෙ නැහැ. නිලන්ත ජයවර්ධන Lookup Policy ‍අනුව වැඩ කළේ නෑ. ඔහුට ඉහළින් ඉන්න අයට කිව්වා පහළ බිම් මට්ටමේ ඉන්න සොල්දාදුවට පණිවිඩය ගලා ගියේ නෑ. හමුදාවල ඉදිරි පෙළ දැන ගන්න ඕන තරම් සන්නිවේදන ක්‍රම තියෙනවා. ජනාධිපතිට කියන්න ඕන නැහැ. කිව්වා නම් නිමේෂයකින් ලංකාව පුරා ඒ පණිවිඩය ගිහින් අවශ්‍ය කටයුතු කරන්න ත්‍රිවිධ හමුදාව ආරක්ෂක අංශ පෙළ ගැසෙනවා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: ප්‍රහාරය ගැන දැන සිටියා නම් එය වැළැක්වීමට පියවර ගත හැකිව තිබුණාද?

සාක්ෂිකරු: අවශ්‍ය කටයුතු කරනවා. සෙනඟ එක්රැස් වන එක නවත්වා මහජනතාව දැනුවත් කළ හැකියි. ප්‍රහාරකයන් මා සලකන්නේ IS ත්‍රස්තවාදීන් ලෙසයි. ඔවුන් ටාගට් කළේ කතෝලික පල්ලි සහ යුරෝපා සංචාරකයන්. බෝම්බ හයක් එකම අවස්ථාවක පුපුරවපු ලෝකයේ එකම සිද්ධිය මේක.

කොමිසම: කිසිම තොරතුරක් බුද්ධි අංශවලට නොලැබී මෙවැනි ප්‍රහාරයක් එල්ල විය හැකිද?

සාක්ෂිකරු:මේක ලංකාවේ ප්ලෑන් කරපු එකක් නොමෙයි. සහරාන් වුණත් අපි හිතන ත්‍රස්තවාදියා නොවෙයි. ඔවුන් ලෝකයේ මුදල් තිබෙන පිටරට ඉගෙන ගත් IS එක සමඟ සම්බන්ධතා පැවැත් වූ උගත් පිරිසක් මේ ප්‍රහාරය පිටිපස්සෙ ඉන්නෙ. ඒ ලින්ක් එක සොයාගන්න බැරිවුණා. අවශ්‍ය විදේශ බුද්ධි අංශ සහාය ලබාගත්තෙ නැහැ. ප්‍රහාරයේ මහමොළකරු හොයාගන්න බැරිවුණා. ත්‍රස්ත සංවිධානයේ නායකයා බෝම්බ පුපුරුවාගෙන මිය යන්නෙ නැහැ. පිටුපස්සෙ ඉන්නේ කවුද මේක Handler ලෙස සිටියේ කියාවත් අපිට හොයාගන්න බැරිවුණා. මේකට IS කණ්ඩායම උදව් කලා කියා තේරෙනවා. ප්‍රහාරයට පෙර IS වෙනුවෙන් දෙන පොරොන්දුව හොඳින් නිරීක්ෂණය කළහොත් එහි ගැහැණු කෙනෙකුත් වළල්ල දා ගත්ත අතක් IS කණ්ඩායමට අඩියක් පමණ පිටිපස්සෙන් සිට පොරොන්දුව දෙනවා බලන්න පුළුවන්. ඒ කාන්තාව කවුද කියා තමයි විමසා බැලිය යුත්තේ. විදේශ ත්‍රස්ත කණ්ඩායමක පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවූ ප්‍රහාරයක් ලෙසයි මා සලකන්නේ.

කොමිසම: කිසිම බුද්ධි අංශ තොරතුරක් ප්‍රහාරය ගැන ලැබුණේ නැහැ. ඒ අංශ දුර්වල වෙලාද සිටියේ?

සාක්ෂිකරු: බුද්ධි අංශ නිලධාරීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන්න ගිහින් මා අදටත් ඇප දුන් චූදිතයෙක් ලෙස තමයි ජීවත් වෙන්නෙ. රටේ ජනතාව දැනගත්තෙ නැතිවුණාට අපි උසස් නිලධාරීන් ලෙස, බුද්ධි නිලධාරීන් රට වෙනුවෙන් කළ සේවාව හොඳින්ම දන්නවා. පහුගිය යහපාලන කාලයේ බුද්ධි නිලධාරීන්ගේ කොඳුනාරටිය කඩා දැම්මා. ඔවුන්ට අභූත චෝදනා කළා. උසස් වීමට සිටි නිලධාරීන් චෝදනා ලැබ විශ්‍රාම යනවා තනතුරක් නැතුව. 2004 සහරාන්ගේ තොරතුරු සොයන්න දාපු සාජන්වරයා වසර පහක් හිරේ හිටියා. අපි දක්ෂ වුණාට භූමිකාවේ සිටි අය දක්ෂ නොවුණොත් වැඩක් නැහැ. බුද්ධි නිලධාරීන්ව බලා ගන්න ඕන. බුද්ධි ජාලය සම්පූර්ණයෙන් අකර්මන්‍ය කළ කාලයක් තමයි පසුගිය ආණ්ඩුවේ පාලන කාලය. දැන් නම් හරියාවී කියා හිතෙනවා. මම හැමදාමත් දුක්වෙනවා ලෝකයටම ත්‍රස්තවාදය ගැන කියලා දුන්න අපිට ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා පිටරටින් දැන ගත්ත එකට. ඒක අපිට අපේ රටට විශාල ‍අගෞරවයක්. මම විශ්‍රාම ගිහින් මාස තුනක්. මෙවැනි ප්‍රහාරයක් ඇති වුණ චිත්ත වේදනාව මගේ සිතේ හැමදාමත් තියෙනවා. විශ්‍රාම යන තෙක් ජීවිත කාලයම රට රැකගත්ත කෙනෙක් ලෙස මම අසීමිත වේදනාවක් ඒ ප්‍රහාරය හේතුවෙන් ලැබුවා.

කොමිසම: ඔබ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ගත් පියවර මොනවාද?

සාක්ෂිකරු: ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පත්වන්නේ 2009 පණතින්. පළමු කෙනා සරත් ෆොන්සේකා මහතා. මම හතරවැනියා. ප්‍රධාන රාජකාරිය වන්නෙ ව්‍යසනයකදී හෝ ඒකාබද්ධ මෙහෙයුමකදී එක්ව කටයුතු කිරීමයි. ත්‍රිවිධ හමුදාවලට ඉහළින් ක්‍රියාකිරීමක් සිදුවන්නෙ නැහැ. පුහුණුකිරීම් විදේශ පුහුණු සඳහා යොමු කිරීම් සිදුකරනවා. මගේ කාලය තුළ ඒවා ඉතා හොඳින් ඉටුකළා.

කොමිසම: නිලන්ත ජයවර්ධන ඔබට කතා කරනවාද? බුද්ධි තොරතුරු දැනුම් දෙනවද?

සාක්ෂිකරු:එහෙම කතා කරනවා ඉතාම අඩුයි. අවශ්‍යතාවයක් වෙන්නෙ නැහැ හැම සතියකම රැස්වීම තිබෙන නිසා. මට නම් ඇමතුම් එනවා අඩුයි.

කොමිසම:ජනාධිපතිවරයාගේ වගකීම මොකක්ද මෙවැනි තොරතුරක් ලැබුණාම?

සාක්ෂිකරු:ජනාධිපති උපදෙස් ලබාදුන්නා යම් යම් අවස්ථාවල අන්තවාදීන් සම්බන්ධයෙන්.

කොමිසම: වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය හමු වූ ස්ථානය ළඟම තියෙන්නෙ ඔබේ පාලනය යටතේ තිබූ කළපුවක්. ඒ ළඟයි ලැක්ටෝස් වත්ත තියෙන්නෙ. එහි පුපුරණ ද්‍රව්‍ය තිබූ බව අන්තවාදීන් කටයුතු කළ බව ඔබ දැන සිටියාද?

සාක්ෂිකරු: නැහැ ස්වාමීනි. කල්පිටිය ආසන්නයේ සිලාවතුර ප්‍රදේශයේ විජය නාවික හමුදා කඳවුර තිබෙනවා. එහි විශාල මෙහෙයුම් ඒකකයක් තිබෙනවා. මුහුද හරහා සිලාවතුර ප්‍රදේශයේ මුස්ලිම් පිරිසක් සිදුකරන ජාවාරම් සම්බන්ධයෙන් මෙහෙයුම් කරනවා. තහනම් කර තිබෙන කහ ගේන්නෙ මේ ප්‍රදේශය හරහා. මම නාවික හමුදාපති ලෙස සිටියදී සිලාවතුර නාවික කඳවුර ඉවත් කරන්න කියා විශාල බලපෑම් ආවා. එය ඉවත් කළාම එන පීඩනය බැරෑරුම් බව මා දැන සිටියා. සිලාවතුර කඳවුර ඉවත් කරන්න ජාතික දේශපාලනයේ සාකච්ඡා ගණනාවක් තිබුණා. හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට විශාල ඕනෑකමක් තිබුණා කඳවුර ඉවත් කර ජනතාවට ඉඩම් දෙන්න. හිටපු නාවික හමුදාපති ලෙස මම ඉතාම අපහසුතාවයට පත් වූ අවස්ථා ගණනාවක් මේ නිසා තිබුණා. උපයෝගීතාව අනුව මේ කඳවුරේ වැදගත් බව දැන සිටීම නිසා. ඒ සඳහා මුහුණදීමට හැකි වුණා.

කොමිසම:පාස්කු ප්‍රහාරයට පෙර 2017 මාර්තු 10 වනදා කාත්තන්කුඩි ප්‍රදේශයේ ගැටුමින් පසු සහරාන් හෂීම් මාන්නාරමේ සිලාවතුර ප්‍රදේශයේ ධීවර යාත්‍රාවකින් විදේශගත වූ බවට තොරතුරු තිබුණා. ඒ බව ඔබ දැන සිටියාද?

සාක්ෂිකරු:හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා තමයි මේ තොරතුර ගෙනාවේ. කුඩා බෝට්ටු දහස් ගාණක් ධීවර කටයුතුවල යෙදෙනවා. හවසට යනවා උදේට එනවා. ‍මොවුන්ව 10% ක් පමණ පරීක්ෂා කෙරෙනවා. එයාටෙල් දුරකතනයකින් මුහුදේදී ඉන්දියාවට කතා කරන්න පුළුවන්. ලංකාවේ ‍බෝට්ටුවකින් ගිහින් ඉන්දීය බෝට්ටුවකට මාරුවෙන්න ඇති කියා සිතනවා. ඔහු ගිය ධීවර යාත්‍රාවක් ගැන අපිට තොරතුරු ලැබුණේ නෑ. කේරලයට ගිය බව අපි දැන ගත්තා.

කොමිසම: ඔබ ඉන්දීය ආරක්ෂක ඇමැති එනවිට මෙරට ආරක්ෂාව ගැන බුද්ධි ‍වාර්තාවක් කැඳවුවාද?

සාක්ෂිකරු: නෑ ස්වාමීනි. එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නෑ. ආරාධනාවක් මත එන්නෙ. ආරක්ෂක අමාත්‍යාංශය මේ කටයුත්ත කරන්න විතරයි මට භාරදුන්නෙ. කටයුතු සම්බන්ධීකරණය විතරයි මා කළේ.

අනතුරුව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගෙන් ප්‍රශ්න කිරීම සිදුකළේය.

කොච්චිකඩේ කතෝලික දේවස්ථානය අසල ප්‍රහාරයෙන් පසුව පුපුරුවා හැරි වාහනය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා ප්‍රශ්න කළ අතර එම ප්‍රහාරයෙන් පසුව කොච්චිකඩේ දේවස්ථානයට රාජ්‍ය නායකයන් කාදිනල් හිමියන් ඇතුළු විශාල පිරිසක් ගිය බවත් ඔවුන්ව සිටින අවස්ථාවක එම පිපිරීම සිදුවුණා නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බවත් විජේගුණරත්න මහතා පෙන්වා දුන්නේය. මේ ප්‍රහාරය සිදුකළේ යහමින් මුදල් තිබෙන හොඳින් ඉගෙන ගත් ඉංජිනේරුවන් වැනි උගත් පිරිසක් බවද කියා සිටි ඒ මහතා, ඉහළ නිලධාරීන් ප්‍රහාරය දැනගෙන පහළ නිලධාරීන්ට දැනුවත් නොකිරීමෙන් ප්‍රහාරය මැඬපැවැත්වීමට නොහැකි වූ බව ද අවධාරණය කළේය.

-LNW

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *