කෝටි 800ක් මකර කටට යැවූ මධ්‍යම අධිවේගයේ වැඩ

මධ්‍යම අධිවේගය

මධ්‍යම අධිවේගය

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ කිරීම 2015 සිට 2019 වසර දක්වා ප්‍රමාද වීම නිසා රටට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 800ක් බව හෙළි වී තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප්) මේ තොරතුරු අනාවරණය වී තිබිණි. එහි දී සිදුව ඇති අක්‍රමිකතා අතර ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් කෝටි 170ක් පමණ වැය වී ඇති බව ද ඒ තොරතුරු අතර විශේෂයෙන් සඳහන් වෙයි.

අධිවේගී මාර්ග ඉදිකිරීම රටක සංවර්ධනයේ ඉදිරි පිම්මකි. එවැනි මාර්ග ඉදිකිරීම අපේ රටේ ආර්ථිකයට කොතරම් දුරට ඔරොත්තු දෙනවා ද යන්න වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි. එහෙත් නිසි ලෙස වර්ධනය නොවෙන මහාමාර්ග පද්ධතියකින් තොරව රටකට ඉදිරි ගමනක් නැත. මේ හේතුව නිසා කුමන රජයක් යටතේ වුව ද මහාමාර්ග සංවර්ධනයට විශාල මුදලක් වෙන් කෙරෙයි. එහෙත් එසේ වෙන්කෙරෙන මුදල කිසිදු ප්‍රයෝජනයක් නොගෙන කාබාසිනියා කිරීම බරපතළ වැරැද්දකි. කෙසේ වුව ද එවැනි වැරැදිවලට අපේ රටේ පවතින ක්‍රමය තුළ වැරැදිකරුවන් හෝ වගකිවයුත්තන් හෝ සොයාගැනීමට නොහැකිවීම මෙවැනි නාස්තිකාර වියදම් දිගටම සිදුවීමට හේතු වී තිබේ.

රුපියල් කෝටි 800ක් යනු සුළුපටු මුදලක් නොවේ. බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අපේ රටට මෙවැනි නාස්තිකාර ක්‍රියා විශාල හානියකි. මහා පරිමාණ වැඩක් ප්‍රමාද කිරීම නිසැකවම අතිරේක වැය බරකට හේතු වෙයි. එම ඉදිකිරීමට මුදල් සැපයෙන්නේ වෙනත් රටක ණය මත නම් ප්‍රමාදය යනු එම ණය ප්‍රමාණයට අතිරේක බරක් පැටවීමකි. රට තුළින්ම සැපයෙන මුදලක් නම් එය රටේ ආර්ථිකයට අනවශ්‍ය බරකි. මේ ක්‍රම දෙකේම අවසාන ප්‍රතිඵලය කිසිදු වැඩක් සිදුවීමකින් තොරවම රටේ ජනතාවගේ බදු මුදල් වැය වී යාමය. මෙවැනි නාස්තිකාර ක්‍රියා කවදා කෙසේ නිමවනු ඇතිදැයි අදහසක් හෝ ඇතිකර ගැනීමට පවතින වර්තමාන ක්‍රමවේද තුළින් කිසිදු පිළිසරණක් නොමැති වීම ලොකුම ඛේදවාචකයයි.

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම්වල දී සිදු වූ ප්‍රමාද වීම්වලට හේතුව යහපාලන ආණ්ඩුවේ දේශපාලන ඇඟිලි ගැසීම් බවට තොරතුරු ද මේ පිළිබඳ සොයා බලන කෝප් කමිටු රුස්වීමේ දී හෙළි වී තිබිණි. ශක්‍යතා අධ්‍යයනයට කෝටි 170ක් තරම් නාස්තියක් සිදු වී ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් බැහැරව සමාගමක් තෝරාගැනීම බවත් ඒ හේතුවෙන් ශක්‍යතා අධ්‍යයන කිහිපයක්ම කිරීමට සිදු වූ බවත් සඳහන් වෙයි. එය පළමු කොටසේ ප්‍රමාදයට ද හේතු වී තිබිණි. ඒ හැර තෙවැනි කොටසේ දී (පොතුහැර – ගලගෙදර) පවා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා සිදුව ඇති බවත් මේ හේතුවෙන් එම ක්‍රියාවලිය තවමත් අවසන් කිරීමට නොහැකිව තිබෙන බවත් අනාවරණය වී තිබිණි. එයට හේතුව වශයෙන් සඳහන් වන්නේ එවකට තිබූ යහපාලන රජයේ ආර්ථික කටයුතු පිළිබඳ කමිටුවේ බලපෑමය. කුමන රජයක් යටතේ වුව ද රට ආපස්සට හරවන මෙවැනි ක්‍රියා නොසිදු විය යුතු අතරම පවතින රජය ද එවැනි ක්‍රියාවලට රුකුල් දීමෙන් වැළකිය යුතුය.

මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාදයට බලපෑ මුල් ව්‍යාපෘතිය වෙනස් වීමෙන් සිදු වූ මූල්‍ය අලාභය පිළිබඳ වාර්තාවක් වහාම ලබා දෙන්නැයි කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබිණි. එය යහපත් පියවරක් වුවද අපේ රටේ ඉතිහාසය විසින් පෙන්වා දී ඇත්තේ මෙවැනි වාර්තා අවසානයේ නවතින්නේ හමස් පෙට්ටියේ බවය. එසේම මෙවැනි වාර්තාවලින් මේ රටේ වගකිව යුතු කිසිදු දේශපාලනඥයකුට චෝදනා එල්ල නොවෙන බවය. විවිධ ලිපි ලේඛනවලට අත්සන් ගැසූ අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනකු අමාරුවේ වැටෙනවා හැර සැබෑ ලෙස වගකිව යුතු වන ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව තීන්දු තීරණ ගත් දේශපාලනඥයන්ට කිසිම අවැඩක් සිදුවන්නේ නැත. ඒ අර්ථයෙන් ගත් කල මහාචාර්ය චරිත හේරත් මහතා විසින් කැඳවනු ලැබූ වාර්තාවට ද මේ ක්‍රමය යටතේ වෙනත් ඉරණමක් අත් වීමට ඉඩක් නැත.

නිදහස ලබා වසර 73ක් ගත වෙමින් තිබිය දීත් අපේ රටට තවමත් ප්‍රමාදයකින් තොරව අධිවේග මාර්ගයක් ඉදිකර ගැනීමට නොහැකි වීම පිළිබඳව අප ලජ්ජා විය යුතුය. දේශපාලන කෝණවලින් බලා රටේ සංවර්ධනය මෙහෙය වීමට ගන්නා උත්සාහයේ අමිහිරි ප්‍රතිඵලවලින් මෙය එකක් පමණි. ආණ්ඩුවක් වෙනස් වීමෙන් පසුව පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන ලද අක්‍රමිකතා සොයා බැලීමෙන් පමණක් මේ ගැටලුව විසඳෙන්නේ නැත. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ස්ථිර ප්‍රතිපත්තිවලට අනුගත වන තෙක් මෙවැනි නාස්තිකාර ක්‍රියාවල නැවතීමක් බලාපොරොත්තු වීම මිරිඟුවක් පමණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *