Type to search

මෛත්‍රීපාල සිරිසේන BBC මාධ්‍යවේදියාට වරද පටවලා: මාධ්‍යවේදියාගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

Share

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග කළ සංවාදයක් සම්බන්ධයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමට අනුයුක්ත පොලිස් ඒකකය අද බී.බී.සී. මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

බී.බී.සී. සිංහල සේවයේ අදාළ සංවාදය ඊයේ (24) කොමිසම හමුවේ ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ තමන් පැවසූ දෑ විකෘති කරමින් අදාළ වැඩසටහන සංස්කරණය කර තිබූ බවය.

එමෙන් ම අදාළ සංවාදය සිදුකළ මාධ්‍යවේදියා මාධ්‍ය සදාචාරය උල්ලංඝණය කරමින් කටයුතු කළ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පවසා තිබිණි.

කෙසේ වෙතත්, එම සිදුවීම සම්බන්ධයෙන් බී.බී.සී. මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර මහතාගෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමට අනුයුක්ත පොලිස් ඒකකය අද පැය දෙකක කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

එහිදී බීබීසී මාධ්‍යවේදියා පවසා ඇත්තේ, මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අදහස් කිසිදු විකෘති කිරීමකින් තොරව ඉදිරිපත් කළ බවට තමා ඉතා වගකීමෙන් පවසන බවය.

මෙම සාකච්ඡාව අතරතුරදී හෝ අවසානයේදී ඔබ සමග හිටපු ජනාධිපතිවරයා යම් කේන්ති ගැනීමක් හෝ අමනාප වීමක් සිදු වුණා දැයි පොලිස් නිලධාරීන් එහිදී බී.බී.සී. මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර මහතාගෙන් ප්‍රශ්න කර තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, පාස්කු ප්‍රහාරයට අදාළ ප්‍රශ්නය විමසන අවස්ථාවේදී කිසියම් නොසන්සුන්තාවක් පෙනෙන්නට තිබුණ ද කිසිදු අමනාපයක් හෝ කේන්ති ගැනීමක් මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්නුම් නොකළ බවය.

එම සංවාදය අවසානයේදී හිටපු ජනාධිපතිවරයා තමාගේ කරට අතදාගෙන ඡායාරූපයක් ගත් බව ද සඳහන් කර ඇති ෂර්ලි උපුල් කුමාර මහතා එම ඡායාරූපය ද පොලිස් ඒකකයට ඉදිරිපත් කර තිබේ.

එමෙන් ම, මෙම සංවාදයෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේ හමු වූ පළමු අවස්ථාවේදී ගත් ඡායාරූපයක් ද ඉදිරිපත් කරමින් ෂර්ලි උපුල් කුමාර මහතා පවසා ඇත්තේ, මෛත්‍රීපාල සිරිසේන මහතා තම මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කර ගත් බවක් කිසිදු ආකාරය පෙනෙන්නට නොතිබුණු බවය.

හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද පොලිස් කොමිසම එහිදී ෂර්ලි උපුල් කුමාර මහතාගෙන් විමසා තිබේ.

ඊට පිළිතුරු ලෙස ඔහු සඳහන් කර ඇත්තේ, එවකට පැවති දේශපාලන තත්ත්වය සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලයේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ බවය.

එමෙන් ම, පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ ප්‍රශ්නයට පදනම් වූයේ එවකට රාජ්‍ය නායකයා ලෙසත්, සේනාධිනායකයා ලෙසත්, ආරක්ෂක ඇමතිවරයා ලෙසත් සහ පොලිසිය හා බුද්ධි අංශ භාරව මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කටයුතු කිරීම බව එහිදී ෂර්ලි උපුල් කුමාර මහතා සඳහන් කර ඇත.

තමාගේ පාලන කාලයේ සිදු වූ එම ඛේදජනක සිද්ධිය සම්බන්ධයෙන් වගකීම භාර ගත නොහැකි නම් අඩු ම තරමේ ජනතාවට කනගාටුව පළ කිරීමක් හෝ ජනතාවගෙන් සමාව ගැනීමක් සිදු කරන්නේ දැයි යන්න ද එම සංවාදයේදී තමන් විමසා සිටි බව එහිදී ෂර්ලි උපුල් කුමාර පවසා තිබේ.

ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව එහි වාර්තාව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත යොමු කරනු ලබන අතර ඒ අනුව ඉදිරි දිනකදී බී.බී.සී. මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර මහතා යළි එම කොමිසමට කැඳවනු ඇති බව වාර්තා වේ.
-mawbima

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *