රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහ නා හිමියෝ අපවත් වෙති

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහ නා හිමියෝ අපවත් වෙති

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහ නා හිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්‍රමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක හිමිපාණෝ අද පස්වරුවේ අපවත් වූහ.
ඒ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

අපවත් වනවිට 98 වන වියේ පසු වූ උන්වහන්සේ මෙරට ශාසනය බැබළ වූ පැවිදි පඬිරුවනකි.

සසුනඹර බැබළ වූ විශිෂ්ට සංඝ පිතෘවරයාණන් වහන්සේ නමක් වූ නාපාන පේමසිරි හිමියන් උගත් වියත් සංඝ පරම්පරාවක සම්භාවිත චරිතයකි.

ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරි බණ්ඩාර නිලමේතුමාට සහ නියංගොඩ හිටි බණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ යුවළට දාව 7 දෙනෙකුගෙන් යුත් පවුලේ 4 වැනි දරුවා ලෙසින් 1922 වසරේ නොවැම්බර් මස 30 වැනි දා පාතදුම්බර නාපාන ග්‍රාමයේදී මෙලොව එළිය දුටු උන්වහන්සේගේ ගිහි නම වුයේ ඒකනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර යන්නයි.

1933 ජුලි මස 08 වැනි දා නාපාන පේමසිරි නමින් උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් විය.

ඒ, හුරිකඩුව, උදුම්බරාරාමයේදීය.

1943 උපසම්පදාවට පත් නාපාන පේමසිරි මහ නා හිමියන් වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙණෙන් හා නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙණෙන් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබුවේ ය.

1967 වසරේදී හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන ආරම්භ කළ නාපාන පේමසිරි නාහමියෝ අපවත්වන තෙක්ම එහි අධ්‍යක්ෂ ධුරය හෙබවිය.

ශාසනසෝභන, ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, සිරිසීලවංශ වංශාලංකාර, ස්ථවිර වංශාලංකාර, ශාසන කීර්ති ශ්‍රී, විනයාචාරය, විනය විශාරද ආදී ගෞරව සම්මාන රැසකින් පිදුම් ලබා ඇති උන්වහන්සේ චීනය, කාම්බෝජය, කොරියාව, මැලේසියාව ආදී රටවල් ගණනාවක ධර්මප්‍රචාරයේ ද නිරත විය.

2008 වසරේදී උන්වහන්සේ වෙත බුරුම රජයෙන් අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධිය පිරිනැමුවේ නාපාන පේමසිරි නාහිමියන්ගේ ජාත්‍යන්තර ශාසනික සේවාව අගය කරමිනි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, සංඥා ලේඛකාධිකාරී, අධිකරණ නායක යන තනතුරු හෙබ වු නාපාන පේමසිරි හිමියෝ එහි 13 වැනි මහානායක පදවියට පත්වුයේ 2012 වර්ෂයේදීයි.

මෙරට ශාසන වංශ කතාවේ උගත්, ධර්මධර භික්ෂුන්වහන්සේ අතර ඉහළින් වැජඹුණු නාපාන පේමසිරි හිමියෝ කා අතරත් ප්‍රසිද්ධියට පත්වුයේ නිහතමානී ගත පැවතුම් ඇති කාරුණික මහතෙරනමක් ලෙසයි.

වසර 8 කට වැඩි කාලයක් ස්වකීය නායකත්වය යටතේ රාමඤ්ඤ මහානිකායේ අභිවෘද්ධියටත් පොදුවේ සමස්ත බෞද්ධ ජනතාවටත් උන්වහන්සේගෙන් ඉටු වූ අනල්ප සේවය කිසිදා මෙරට ජන හදවත් තුළින් මැකී නොයනු ඇති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *