සෞදි අරාබියේ ‘කෆාලා’ කම්කරු නීතියේ වෙනසක්: ලාංකික ශ්‍රමිකයන් ලක්ෂ ගණනකට සහන

සෞදි අරාබියේ 'කෆාලා' කම්කරු නීතියේ වෙනසක්: සංක්‍රමණික ශ්‍රමිකයන් මිලියන දහයකට සහන

සෞදි අරාබියේ 'කෆාලා' කම්කරු නීතියේ වෙනසක්: සංක්‍රමණික ශ්‍රමිකයන් මිලියන දහයකට සහන

නව සමාරම්භක කම්කරු ප්‍රතිසංස්කරණ නීතිය පෞද්ගලික අංශයේ සියළු සංක්‍රමණික කම්කරුවන්ට ලබන වසරේ මාර්තු මාසයේ පටන් අදාළ වෙන බව සෞදි අරාබි මානව සම්පත් අමාත්‍යාංශය පවසය.

නව කම්කරු ප්‍රතිසංස්කරණ යෝජනා සෞදි අරාබියේ රැකියාවන්හි නිරත කෝටියක් පමණ වූ විදේශීය සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ජීවිත කෙරෙහි දැනට බල පැවැත්වෙන දැඩි නීති ළිහිල් කරනු ලැබීමට ඉවහල්වනු ඇත. සෞදි අරාබියේ බල පැවැත්වෙන ශ්‍රමය හාම්පුතුන්ට ගැටගසා තබනු ලබන ‘කෆාලා’ (kafala) ක්‍රමය සහමුලින්ම අවලංගු විය යුතුව ඇතැයි මානව හිමිකම් ක්‍රියාධරයෝ කලක් පටන් කියා සිටිති.’කෆාලා’ යන වචනයෙහි තේරුම භාරකාරත්වය යන්නයි. එම ක්‍රමය යටතේ ශ්‍රමිකයාට හාම්පුතා මතම බැඳී සිටීමට සිදුවෙයි. එම ‘කෆාලා’ ක්‍රමය යටතේ ශ්‍රමිකයන් සූරාකෑමට මෙන්ම තර්ජන හිරිහැර ආදියට ගොදුරුවෙන බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති. එවැනි පරිසරයක් තුළ බදාදා ප්‍රකාශිත නව කම්කරු ප්‍රතිසංස්කරණ අනුව කම්කරුවන්ට සිය රැකියා සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ දී හාම්පුතුන්ගේ අවසරය අවශ්‍ය නොකෙරෙනු ඇත.

හාම්පුතාගේ මනාපය පරිදි කම්කරුවන් බැඳතබා ගැනීමේ සෞදි අරාබියානු සම්ප්‍රධායික ශ්‍රම බැම්ම හඳුන්වනු ලබන්නේ ‘කෆාලා’ යන වචනයෙනි. නව ප්‍රතිසංස්කරණය අනුව එහි එක්තරා වෙනසක් සිදුවෙනු ඇත. ඒ අනුව ශ්‍රමිකයන්ට රැකියාවේ වෙනසක් සිදුකරනු ලැබීමට හෝ ඉන් ඉවත්ව යාමට හාම්පුතාගේ මනාපය හෝ අවසරය අවශ්‍ය නැත. එසේම හාම්පුතුන්ගේ අවසරයකින් තොරව පිටරටවල සංචාරය කිරීමට ද ශ්‍රමිකයන්ට නිදහස ලැබෙයි.

නව ප්‍රතිසංස්කරණ අනුව විදේශීය සංක්‍රමණික ශ්‍රමිකයන්ට ලැබෙන තවත් අයිතිවාසිකමක් වන්නේ ආණ්ඩුවේ රැකියා සඳහා කෙලින්ම ඉල්ලුම් කිරීමට අවස්ථාව උදාවීමයි. එසේම ඔවුන් හාම්පුතුන් සමඟ ඇතිකරගනු ලබන කොන්ත්‍රාත් ගිවිසුම්වලට අදාළ ලියැවිලි ‘ඩිජිටල්’ මට්ටමින් පවත්වාගනු ඇත.
එක් මානව හිමිකම් ක්‍රියාකාරිකයකු විසින් නව ප්‍රතිසංස්කරණ විග්‍රහකරන ලද්දේ සුවිශේෂී අවස්ථාවක් හැටියටය. ශ්‍රමය බැඳ තබන ‘කෆාලා’ ක්‍රමය සම්පූර්ණයෙන් ම අහෝසිකරන ලෙස ඔහු ඉල්ලීමක් ද කළේය:
“මෙම සමාරම්භය මගින් අපේ ඉලක්කය වන්නේ ශ්‍රම වෙළෙඳපොල ආකර්ෂණය කර ගැනීම සහ වැඩකිරීමේ පරිසරය වඩාත් හිතකර තත්වයකට ගෙන ඒමයි,” ඉහත කී ප්‍රතිසංසකරණ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් රියාද් නගරයේ දී මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රකාශයක් කළ සෞදි අරාබි මානව සම්පත් භාර නියෝජ්‍ය ඇමති අබ්දුල්ලා බින් නසීර් අබුතුනේන් (Abdullah bin Nasser Abuthunain) සඳහන් කළේය.

දැනට ඛනිජතෙල් මත යැපෙන රටේ ආර්ථිකය විවිධාංගකරණය සඳහා පියවර ගනිමින් සිටින සෞදි අරාබිය 2030 වනවිට දිනාගැනීමට අපේක්ෂාකරන ඉලක්ක මුදුන්පත් කර ගැනීමට ඉහත කී කම්කරු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල මහෝපකාරී වනු ඇතැයි ද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
“සෞදි අරාබි මානව සම්පත් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කරන ලද නිවේදනය සුවිශේෂී එකක්. එම සැලැස්ම මගී සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ තත්වය යහපත් අතට හැරෙන්නට ඉඩකඩ තියෙනව,” හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ රොත්නා බෙගම් (Rothna Begum) බීබීසීයට අදහස් දක්වමින් සඳහන් කළාය.
“කොහොම නමුත්, මෙම නව ප්‍රතිසංස්කරණ යෝජනා මගින් ‘කෆාලා’ ක්‍රමය සහමුලින්ම අහෝසිකර දැමීමක් සිදුකර නැහැ.”
නව ප්‍රතිසංස්කරණය යටතේත් ශ්‍රමිකයන්ට සෞදි අරාබියට ඇතුල්වීම සඳහා රැකියා සපයන තැනැත්තකුගේ අනුග්‍රාහකත්වය ඉදිරියේදීත් අවශ්‍ය කරන ආකාරයක් පෙනී යන බවත්, ශ්‍රමිකයන්ගේ වීසා බලපත් යළි දීර්ඝකරනු ලැබීම හෝ අවලංගු කරනු ලැබීම එම අනුග්‍රාහකයා අත රඳා පවතින බවත් රොත්නා බෙගම් (Rothna Begum) පෙන්වා දෙන්නීය.
“ඒකෙ තේරුම ශ්‍රමිකයන් තවදුරටත් සූරාකෑමට සහ හිරිහැරවලට ගොදුරුවෙන්න ඉඩකඩ තියෙනව කියන එක වෙන්න පුළුවන්. හාම්පුතුන්ට ශ්‍රමිකයන් මත බලපෑමක් කරන්න පුළුවන්තාක් කල් එම අනතුර පවතිනවා,” බෙගම් අනතුරු ඇඟවීමක් ද කළාය.

“මෙතැන තවත් අඩුපාඩුවක් තියෙනව. ඒක තමයි, ගෘහසේවක සේවිකාවන්ට මේ ප්‍රතිසංස්කරණය අදාළ නොවීම. සෞදි අරාබියේ වැඩියෙන් ම අනතුරුදායක අඩියක රැකියාවල නිරතවෙලා ඉන්නේ ගෘහ සේවක සේවිකාවන්,” ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

“කොපමණ ගෘහසේවක සේවිකාවන් පිරිසක් කිසිම විවේකයක් නැතිව දීර්ඝ පැය ගණන් ගෙවල්වල මෙහෙකාර වැඩවල නිරතවෙලා ඉන්නවද කියල හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් ලැයිස්තුගත කරනු ලැබ තියෙනවා. ඔවුන්ට නිවාඩු දවසක් නැහැ. වැටුප් ගෙවන්නේ නැහැ. ගෙවල්වලට හිරකරල තියාගෙන ඉන්නවා.සමහර ගෘහසේවිකාවන් ශාරීරික වශයෙන් පහරදීම් සහ ලිංගික හිරිහැරවලට ගොදුරුවෙලා තියෙනව,” හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ රොත්නා බෙගම් (Rothna Begum) පවසයි.
“එපමණක් නොවෙයි, කිසිදු ලියකියැවිල්ලක් නොමැති ලක්ෂ ගණනක් ශ්‍රමිකයන් සෞදි අරාබිය තුළ ඉන්නවා. ඒ වගේ ශ්‍රමිකයන්ට ලියකියැවිලි හදා ගැනීමට හෝ අළුත් තැනක රැකියාවක් සොයා ගැනීමට අවසර දෙනවද? නැද්ද? කියන කාරණය ගැන සෞදි බලධාරීන් කිසිවක් කියන්නේ නැහැ. ඔවුන්ගෙන් වැඩිදෙනා එවැනි තත්වයකට වැටිලා තියෙන්නේ ඔවුන්ගේ වැරැද්දෙන් නොවෙයි,” රොත්නා බෙගම් පෙන්වා දෙයි.

– bbc sinhala

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *