Type to search

ශක්තිමත් කායකයෙක් කියන්නේ මෙවැනි අවස්ථාවක වගකීම තමා මතට ගන්නා පුද්ගලයෙක් – ආචාර්ය හරිනි අමරසූරිය

Share

ශක්තිමත් නායකයෙකු යැයි කියන්නේ රටේ බරපතල අවස්ථාවක වගකීම තමා මතට ගන්නා පුද්ගලයෙකුට බවත් එසේ නොමැතිව ජනතාව මත වරද පැටවීම ඉතාමත්ම බොළඳ ප්‍රතිචාරයක් බවත් මාලිමාව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

මන්ත්‍රීවරිය මේ බව පැවසූවේ ඊයේ (04) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය,

“කොවිඩ් වසංගතය අපේ රටට මුලින් පැමිණි ආවස්ථාවේ පෙර අත්දැකීමක් නොමැති නිසා කළුවරේ අතගාමින් එයට මුහුණදීමට සිදුවුණා. නමුත් මේ වෙනකොට මුළු ලෝකයම අවුරුද්දක පමණ කාලයක් මේ සම්බන්ධයෙන් අවබෝධය ලබාගනිමින් තිබෙනවා. ඒ නිසා වසංගතය සම්බන්ධයෙන් විවිධ ක්‍ෂේත්‍ර ආවරණය වන විදිහට යම්කිසි පුරෝකථනයක් කරන්න පුළුවන්. අඩුවැඩි වෙමින් වෛරසය පැතිරී යන චක්‍රාකාර ස්වභාවය දේශගුණික හෝ වෙනත් සාධක මත ක්‍රියාත්මක වෙන බව තහවුරු වෙලා තියෙනවා. එදිනෙදා පැනනගින ප්‍රශ්නවලට වඩා ජන ජීවිත ගැන කල්පනා කරමින් දීර්ඝ කාලීන සැලැස්මක් ඇතිව මුහුණ දෙන්න ක්‍රියාකළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් පැති කිහිපයකින් මූලික අවධානය යොමුකළ යුතුයි.”

මිනිස් සමාජය අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි

“රජයේ සේවකයන්, සෞඛ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවකයින්, ආරක්‍ෂක සේවයේ නිලධාරී සහ වෙනත් ක්‍ෂේත්‍රවල සියලු දෙනා ආරක්ෂා කිරීමට හැම ක්‍ෂේත්‍රයක්ම පවත්වාගෙන යෑමට මෙන්ම මිනිස් සමාජය අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙය සෞඛ්‍යමය ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. සමාජයක් විදිහට සියලුම කොටස්වලට බලපාන නිසා ඒ සියලු ක්‍ෂේත්‍ර ආවරණය වන විදිහට කෙටිකාලීන සහ දීර්ඝ කාලීන සැලැසැමක් තිබීම අනිවාර්යයි. අතීතයේ මෙවැනි වසංගත ඇතිවූ අත්දැකීමට වඩා වර්තමානය තුළ මිනිසුන්ගේ එදිනෙදා පැවැත්මට සහ සංස්කෘතියට කරන බලපෑම විශාලයි. මෙම වෛරසය මිනිසාගෙන් මිනිසෙකුට බෝවන නිසා මනුෂ්‍ය සම්බන්ධතා පාලනය කිරීමෙන් තමයි රෝගය පාලනය කරගන්න වෙන්නේ. අපේ සතුටට මනුෂ්‍ය සම්බන්ධතා අවශ්‍යයි. නමුත් වසංගතය විසින් අපේ සමීපතම සම්බන්ධතා දුරස්ථ කරන්න සිදුවෙලා තිබෙනවා. එය සමාජ සංස්කෘතික ජීවිතයට විශාල බලපෑමක්. කෙස්නමුත් ජනතාවගේ පුරුදු හැමදෙයක්ම ගැනම නැවත සිතා බලන්න සිදුවී තිබෙනවා.”

මානසික සෞඛ්‍යය රැකගන්න සැලසුමක් අවශ්‍යයි

“අලුත් අවුරුද්ද, නත්තල් වැනි විවිධ ආගමික සංස්කෘතික උත්සව මගින් අපිව එකතු කරන සමාජ සම්බන්ධතා ගොඩනගනවා. නමුත් වසංගතය නිසා මේ අවුරුද්දේ අපිට ඉන් කිසිවක් කරන්න බැරි වුණා. ඒ වගේම ලබන අවුරුද්ද ගැනත් ලොකු බලාපොරොත්තු තියා ගන්න බැහැ. උපන් දින උත්සව, විවාහ උත්සව, එහෙම නැත්නම් අසනීපයක්, මරණයක් වගේ අවස්ථාවල අපේ මූලික ප්‍රතිචාරය වෙන්නෙ එකිනෙකා හමුවීමයි. නමුත් දැන් අපිට ඒක කරන්න බැහැ. එමගින් ජනතාවගේ මානසික සෞඛ්‍යයට බලපෑම් ඇතිවෙන්න පුළුවන්. අලුත් තත්වය තුළ මානසික සෞඛ්‍යය රැකගෙන සමාජ සම්බන්ධතා අඩුකරමින් මානසික යහ පැවැත්ම පවත්වා ගන්නේ කොහොමද කියලා සිතන්න වෙනවා. රෝගයට බෙහෙත් හොයනවාට වඩා සමාජයේ මෙවැනි සංස්කීර්ණතාත් පවතිනවා. මේ සියල්ල පිළිබඳව සිතමින් සැලසුම් සකස් කරන්න ඕනෑ.”

වැඩිපුරම පීඩාවට පත්වෙලා ඉන්නේ අඩු වරප්‍රසාදිත පිරිස්

“රෝගයේ පැතිරීම සියලු දෙනාටම බලපෑවත් ඒ තුළ විෂමතාවයකුත් තියෙනවා. වැඩිපුරම පීඩාවට පත්වෙලා ඉන්නේ අඩු වරප්‍රසාදිත, ආන්තීකරණයට ලක්වූ පිරිස්. ඔවුන්ගේ තත්වය බරපතලයි. උදාහරණයක් ලෙස නිදහස් වෙළඳ කලාපයේ ඉන්න සහෝදර සහෝදරියන් අර්බුද ගණනාවකට මුහුණදෙමින් සිටිනවා. ඔවුන්ට සහන සැපයීම කාගේ වගකීමක්දැයි තවමත් පැහැදිලි නැහැ. ඔවුන් සංක්‍රමණික පිරිසක් නිසා මේ වෙලාවේ ලබාදෙන සහනවලිනුත් මඟහැරෙනවා. ඔවුන්ට සහන සැලසීම පෞද්ගලික අංශයට සහ ආයෝජන මණ්ඩලයට පැවරෙන බව තමයි ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලින් පැහැදිළි වෙන්නේ. නමුත් බහුතරයක් මෑන්පවර් ඒජන්සි හරහා වැඩ කරන නිසා බරපතල තත්වයක් මතුවෙලා තිබෙනවා. සමහර ආයතන සේවයට කැඳවූවත් ප්‍රවාහන පහසුකම් දෙන්නේ නැහැ. ආයතන තුළදී සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රියාමාර්ග නැති, ආහාර ලබාදීමක් නැති මානුෂීය ඛේදවාචකයක් බවට පත්වී තිබෙනවා. නිදහස් වෙළඳ කලාප විතරක් නෙවෙයි ධීවරයින්, ගොවියන් එදිනෙදා වෙනත් වෘත්තීන්හි යෙදන අය පිළිබඳ කිසිදු සැලැස්මක් නැහැ. නිදහස් වෙළඳ කලාපයේ පවතින ගැටලු කිහිපයක් අපි මෙයට පෙර මතු කළාම හමුදාවට නිග්‍රහ කිරීමක් හැටියටයි අර්ථ දැක්වූයේ. එය කිසි සේත්ම හමුදාවට කළ නිග්‍රහයක් නෙවෙයි. පවතින ප්‍රශ්න මතු කරන එක වගකීමක්. එය හමුදාවටවත් රජයටවත් කරන නිග්‍රහයක් නෙවෙයි.”

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ළමා හිංසනය වැඩිවෙමින් පවතිනවා

“ඒ වගේම මේ අවුරුද්ද තුළ අධ්‍යාපන ක්‍ෂේත්‍රය කඩාවැටුණා. ඔන්ලයින් ඉගැන්වීම් තුළ තිබෙන්නේ අර්ධ මැදිහත්වීමක්. සියලු දෙනාටම ඔන්ලයින් පහසුකම් නැහැ. අඩුම තරමේ ඇතැම් පාසල්වල විදුලිය පහසුකම් පවා නැතිකොට ඔන්ලයින් අධ්‍යාපනය විහිළුවක් වෙලා. ඔන්ලයින් පහසුකම් ඉතාමත් සාර්ථකව තිබුණත් අධ්‍යාපනය සම්පූර්ණ නැහැ. අධ්‍යාපනය කියන්නේ තොරතුරු ඉගැන්වීම සහ විභාග පැවැත්වීම විතරක් නොවෙයි. එතනත් සමාජයීය සහ සංස්කෘතික කොටසක් තිබෙනවා. අධ්‍යාපනය තුළින් ලැබෙන සමාජයීය සහ සංස්කෘතිකමය මැදිහත්වීම් අහිමි වන තරුණ ප්‍රජාවක් අපිට ඉදිරියේදී ඉතිරි වෙනවා. ඔවුන්ගේ ඒ හිඩැස පුරවන්නේ කොහොමද? දෙමාපියන් තමන්ගේ දෛනික කටයුතු කරගෙන යන අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ කොහොමද කියලා ප්‍රායෝගික සහ මානුෂීය ගැටලු තියෙනවා. මේ නිසා නිවස තුළ ඇතිවන පීඩනයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ළමා හිංසනය වැඩිවෙමින් පවතිනවා. එවැනි ප්‍රශ්නවලට උදව් කරන්නේ කවුද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා.”

ශක්තිමත් කායකයෙක් කියන්නේ මෙවැනි අවස්ථාවක වගකීම තමා මතට ගන්නා පුද්ගලයෙක්

“මෙයින් අපි පෙන්නුම් කරන්නේ මෙය සරල ප්‍රශ්නයක් නොවන බවයි. පැති කිහිපයකින් අපේ ජීවිතවලට බලපාන අර්බුද ඇති කරන ඉතාමත්ම අභියෝගාත්මක කාලයක් මේ තියෙන්නේ. ඒ වෙනුවෙන් සැලසුම් සකස් කිරීමට, කළමණාකරණය කිරීමට ඉතාමත්ම පරිණත සහ ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය වෙනවා. මේ වෙලාවේ ඒ හිඩැසත් තියෙනවා. මේ හැම දෙයක්ම මතු කරන්නේ දේශපාලනිකව වාසි ගන්නවත් ලකුණු දාගන්නවත් නෙවෙයි. වසංගත තත්වය තුළ පවතින ගැටලු මතු කරන එක අපේ වගකීමක්. ඒ වගේම අපිට දෙන්න පුළුවන් සහයෝගයක් තියෙනවා නම් ඒකටත් ඉදිරිපත් වීමත් අපේ යුතුකමක්. නමුත් බලය දරන අය අපිට ඇහුම්කන් දෙන්න සහ යෝජනා ලබාගන්න සූදානම් වෙනවා වෙනුවට විවේචන පෞද්ගලිකව බාරගැනීම හෝ චෝදනාවක් හැටියට දකින බොළඳ ආකල්පයකින් ක්‍රියා කරන බවක් පේනවා. මේකෙන් පෙන්නුම් කරන්නේ ඉතාමත්ම දුර්වල නායකත්වයක්. ශක්තිමත් කායකයෙක් කියන්නේ මෙවැනි අවස්ථාවක වගකීම තමා මතට ගන්නා පුද්ගලයෙක්. එසේ නොමැතිව ජනතාව මත වරද පැටවීම ඉතාමත්ම බොළඳ ප්‍රතිචාරයක්. මේ වෙලාවේ අපි මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයත් මේක.”

අපි හොඳම දේ බලාපොරොත්තු වෙමු, නරකම දේට සූදානම් වෙමු

“අපි හොඳම දේ බලාපොරොත්තු වෙමු, නරකම දේට සූදානම් වෙමු කියලා පාර්ලිමේන්තුවේදීත් අපි අවධාරණය කළා. හැම ක්‍ෂේත්‍රයක්ම ආවරණය වන නිශ්චිත වැඩ සටහනකට හොඳින් සම්න්ධීකරණයක් අවශ්‍ය වෙනවා. විනිවිදභාවයෙන් නිවැරදි තොරතුරු හුවමාරු කරගැනීමේ යාන්ත්‍රණයක් ඕනෑ. ලෝකයේ කිසිම රටකට තනියෙන් මේ වැඬේ කරන්න බැහැ. එක පක්ෂයකට කරන්න බැහැ. සියලු දෙනාගේම සහයෝගය ලබාගැනීමේ වගකීම් බෙදා ගැනීමේ සූදානමක් නායකත්වයට තියෙන්න ඕනෑ. එහෙම සූදානමක් නැහැ කියන්නේ තමන්ගේ බලය සහ නායකත්වය පිළිබඳව තියෙන අනාරක්‍ෂිතභාවයක්. තමන් ගැන විශ්වාසයක් තියෙනවා නම් බලය බදාගන්නවා වෙනුවට බෙදාගන්න පුළුවන්කම තියෙන්න ඕනෑ.”

2021 අයවැයි

“ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පිළිබඳවත් මේ මොහොතේ අවධානය යොමු කරන්න ඕනෑ. මෙවර අයවැය කොවිඞ් වසංගතය මූලික තැනට ගෙන සකස් කළ අයවැයක් බව පේන්නේ නැහැ. කොවිඞ් තත්වයක් හමුවේත් 2021 සඳහා සෞඛ්‍ය ක්‍ෂෙත්්‍රයට වෙන්කර තිබෙන මුදලේ කප්පාදුවක් තියෙන්නේ. ඊළඟ අවුරුදු 2-3 ගැන හිතනකොට අපේ සියලුම සැලසුම්වල මූලිකත්වය කොවිඞ් තත්වයට ලබාදිය යුතු බව කාටත් පැහැදිලියි. මේ රෝගය සම්බන්ධයෙන් දුක් වෙලා හෝ බයවෙලා ඵලක් නැහැ. ඊට ශක්තිමත්ව මුහුණ දීමේ නායකත්වයක් ඕනෑ. ඒ වගේම සියලු දෙනාම එකිනෙකා ගැන හිතමින් වගකීම් බාරගත යුතුයි. මේක තරඟයක්වත් යුද්ධයක්වත් නෙවෙයි. ඒ නිසා එකිනෙකාට සහයෝගය, කරුණාව දක්වමින් මේ තත්වයට ශක්තිමත්ව මුහුණදී වසන්ගතය මැඩ පවත්වමු කියන සියලු දෙනාගෙන් ඉල්ලනවා.”

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *