බැසිල් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමේ කටයුතු අරඹයි! ප්‍රබල වගකීම් සහිතව පාර්ලිමේන්තුවට?

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ගෙවතු වගාවට ඉඩම් නිදහස් කරන්න බැසිල්ගෙන් උපදෙස්

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ගෙවතු වගාවට ඉඩම් නිදහස් කරන්න බැසිල්ගෙන් උපදෙස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා එහි ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව ඔහුට හිතවත් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.

එසේම, වගකිව යුතු තනතුරක් බාරගෙන මේ නිශ්චිත මොහොතේ සිය දායකත්වය රට වෙනුවෙන් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොහෝ දෙනෙකු විසින් බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලීම් සිදුකර ඇති අතර “වේදිකාව පිටුපස භූමිකාවට” සමු දී පෙරට ඇවිත් සිය දායකත්වය ලබාදෙන ලෙස එම පාර්ශව බලකර සිට ඇත.

කෙසේ වෙතත් එම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වීමට මේ වනවිට “ද්විත්ව පුරවැසිභාවය” බාධාවක් නොවුනත් පුරවැසිභාවය අත්හැර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට හිටපු අමාත්‍යවරයා වැඩි කැමැත්තක් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ 2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වීමේ දී එහි පූර්ණ වගකීම භාරගත් බැසිල් රාජපක්ෂ යළිත් සිය සහෝදරයා බලයට ගෙන ඒමට විශාල කාර්යභාර්යක් කළේ ය. ඒ අනුව, ඔහු විසින් ගොඩනැගූ ලංකාවේ ලාබාලතම දේශපාලන පක්ෂය ඉදිරිපත් වූ පළමු මැතිවරණයේ දීම විශිෂ්ඨ ජයක් ලැබූ අතර එහිදී පළාත් පාලන ආයතන 340 අතුරින් පළාත් පාලන ආයතන 239 කට අධික ප්‍රමාණයක ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. ඒ සියල්ල පිටුපස සිට දැවැන්ත සංවිධාන ශක්තියක් සැපයුවේ බැසිල් රාජපක්ෂයි. ඉන්පසු සිය එක් සහෝදරයෙක් ජනාධිපතිවරයා ලෙසත් අනෙක් සහෝදරයා අගමැතිවරයා ලෙසත් ජයග්‍රහණය කරවීමේ පූර්ණ සංවිධාන ශක්තිය වූයේ ද බැසිල් රාජපක්ෂ යි.

ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය අනුව, කිසියම් පක්ෂයකින් ඉදිරිපත් කරන ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙක් මන්ත්‍රීධූරයෙන් හා ලැයිස්තුවෙන් ඉල්ලා අස් වූ විට වෙනත් ඕනෑම අයෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට පක්ෂ මහලේකම්වරයාට බලය හිමිවෙයි. ඒ සඳහා එම පක්ෂය ඉදිරිපත් කළ ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීම ප්‍රමාණවත් වේ.

ඒ අනුව, දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ඉදිරිපත්ව ඇති බවයි. එසේම බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා තම මන්ත්‍රීධූරයෙන් සහ ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වීමට අදාළව තමන් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බව ජයන්ත කැටගොඩ පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් වෙත දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව, පුරවැසිභාවය ඉවත් කර ගැනීමෙන් අනතුරුව, ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සති කිහිපයක් තුළ සිදුවනු ඇති බව ආරංචි මාර්ග පවසයි.

මේ අතර, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නම් දැනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන විෂයන් කිහිපයක්ම බැසිල් රාජපක්ෂ වෙත පැවරීමට ආණ්ඩුවේ සූදානමක් ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඔහු මීට පෙර දැරූ ආර්ථික සංවර්ධන අමාත්‍යධූරයට අමතරව බොහෝ දුරට මුදල් අමාත්‍යංශය ද බැසිල් රාජපක්ෂ වෙත හිමිවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයින් මත පළ කරයි.

– රිවිර.lk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *