සින්දූර් සහ දෙමළ වීම.

සින්දූර් සහ දෙමළ වීම

සින්දූර් සහ දෙමළ වීම

සින්දූර් කිව්වම අපේ ඉස්කෝලෙ ගෑණු ළමයි ඉස්සර කීවෙ””සුජීව ප්‍රසන්න ආරච්චි ලොකු අයියා තුමාගේ නවකතාවනෙ” කියලා. හැබැයි දැන්නම් ඒ ගොල්ලො කියන්නෙ” අර ලක්මිණි මිස් ඔලුවෙ ගාගෙන එන්නෙ, අන්න ඒවා ” කියලා. 
 
උදේ සිට රෑ වෙනතුරු චන්දිකා රූපවාහිනී ඔස්සේ star plus, colours TV, Zee TV බලන දැන් කාලෙ ළමයින්ට නම් සින්දූර් කියන්නෙ මොනවද කියල අලුතෙන් කියා දෙන්න ඕන්නෑ. සිoහල channel බැලුවත් තියෙන්නේ ඒවාමනෙ. 
කොහොමින් කොහොම හරි  ලෝකෙන් උතුම් රට ලංකාවේ සිoහල බෞද්ධ  පුරුෂෝත්තමයින්ගෙ වාසනාවට ඒ ගොල්ලො කවුරුත් මාව කසාද බැදගන්න ඉදිරිපත් වුනේ නෑ නොවැ.

ඔන්න ඉතින් ආදරයට වයස, ආගම, ජාතිය හෝ රට වැදගත් නොවෙන බව  තේරුම් කරමින් ඉන්දියාවෙ බටහිර බෙoගාල ප්‍රාන්තයේ උපන්, වංග භාෂාව කතා කරන, ක්‍රිශ්ණ දෙවියන් අදහන සාමාන්‍ය පුරුෂයෙක් මාව විවාහ කරගත්තා. මගේ ඔලුවට සින්දූර් ආවෙ අන්න එහෙමයි.
සින්දුර් කියන මාතෘකාව යටතේ මට කියන්න ඕන වුනේ ඔය වැල් වටාරම් නෙමෙයි. ඉන්දියානු විවාහක කාන්තාවන් හිසේ කොණ්ඩය  දෙකට බෙදෙන රේඛාවේ මුල රතුපාට කුඩකින් පුoචිවට සින්දූර් සළකුණ තියනවා. සමහරු නළලේ පැත්තකට වෙන්න හිසේ ඉදන් පටන් ගත්තු  පුoචි ඉරිකෑල්ලක් වගේ වෙන්න මේක අදිද්දි සමහර කාන්තාවො මුලු හිසේම තදට තවර ගන්නවා.  

ඉන්දියාවෙදි ඒක සස්වාමික බවේ සංකේතය. පුරුෂයින්ට ඒක දෙවියන්ගේ සංකේතය. තමන්ගේ  ලේ වල  දෙවියන් කෙරෙහි ඇති භක්තිය symbol එකක් බවට පත් කරල බිරිදගේ හිසේ තියෙනව. ඉන්දියාවෙදි විවාහක කාන්තාවක් සින්දූර් හිසේ නැතිව ඉන්නෙ දිය නානවිට පමණයි. කෙනෙකුට ඉතින් ඕක පුරුෂාධිපත්‍යයේ සංකේතය කියලත් තර්ක කරන්න පුලුවන්. නමුත් ආධ්‍යාත්මික සහ හෘදයංගම දෘෂ්ඨි කෝණයකින් බැලුවොත් සින්දූර් තැවරීමේ හුගක් ගැඹුරු අර්ථයක් තියෙනව. 

මගේ ස්වාමියාටත් ඔහුගේ ආගමික විශ්වාසයටත් ගරු කිරීමක් විදියට මමත් සින්දූර් හිසේ ගානවා. ඔන්න දැන් තමයි මාතෘකාවට එන්නෙ. 
මේ සින්දූර් ගෑම නිසා ලාංකීය මහා සිoහල බෞද්ධ සංස්කෘතික උරුමක්කාරවරුන් විසින් මාව දෙමළ කාන්තාවක් ලෙස හදුනා ගැනීම නිසායි මුලින්ම  ගැටලුව පටන් ගන්නෙ. මොකද පිටේ ගහන් යන්නෑනේ”  මම සිංහල බෞද්ධ , ඉන්දියානුවෙක් සමග විවාහ වී ඉන්න හින්දයි සින්දූර් ගාලා තියෙන්නේ” කියලා. 

පළවෙනි අමිහිරි අත්දැකීම එන්නේ විවාහ වූ අලුත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉහළ කාර්යාලයකදීයි. එහි ඉහළ නිළධාරීතුමියක් හමුවෙන්න ගියාම මට පස්සෙ ආපු හැමදෙනාම හමුවෙලා අන්තිමට තමයි මාව මේසය ළගට ගත්තේ. කතා විලාශයෙනුත් හොදට තේතේරුණා ලොකු කොන් කිරීමක්  වගේ වෙනසක් තියෙන බව. මගේ ලිපිය බාරගත්තට පස්සේ නම කියෙව්වම නෝනගේ මූණ වෙනස් වුණා. ” ඔයා සිංහලනේ ” කිව්වා. කතා විලාශය, ස්වරය, මුහුණේ ඉරියව් හරිම සුහද පෙනුමකට මාරු වුණා. 

“ඇයි ළමයො රතු පොට්ටුවක් තියන් ඉන්නේ මිනිස්සුන්ට වැරදි වැටහීමක් ඇති වෙනවනේ. කියලා කිව්වා. දෙමළ වීම වැරදි ලෙස සැළකුම් ලැබීමට හේතුවක් බව අත්දැකීමෙන් පසක් වුනේ එදිනයි. 
ඊළගට විවාහය දා”සැමියා බිරිදගේ දෙවියාය, සැමියාට ගරු කිරීම බිරිදගේ පරම යුතුකමය” කියලා දේශනා පවත්වපු නැන්දලා මාමලා මෙහෙම  කියන්න ගත්තෙ නැතෑ.

“දුවේ මහත්තයා ලංකාවෙ ඉන්න දවස්වලට විතරක් ඕක ගාන්න. හැමතැනටම ගාගෙන යන්න එපා. ඔයා දෙමළ කියලා හිතයි. 
” සිoහල වෙලා ඉපදිලත් අපරාදේ ඔයාට විහින් දෙමළ වෙන්න වුණානේ” එහෙම විස්සෝප වුනේ සිoහල ඉස්කෝල හාමිනේ කෙනෙක්. 
වෙනස හොදටම අත් විදින්න පුලුවන් පොදු ප්‍රවාහන සේවා වල යනකොට.

සෙනග පිරිලා ඉන්න බස් එකක ඉදිරියට පසුපසට බසය මැදින් යන්න, අසුනේ ඇන්ද අල්ලා ගෙන පැත්තකට වී හිටගෙන ඉන්න, අතර මගදී මගියෙක් බැස යයනවිට ඒ අසුනෙහි වාඩිවෙන්න අපි භාවිතා කරන ආධිපත්‍යමය අයිතිය, දෙමළ ලෙස අනන්‍යතාවය මාරු වුණාම භාවිතා කරන්න බෑ. 

එතකොට මිනිස්සු නිකම් බලන්නෙත් අනුන්ගෙ ගෙදරකට අනවසරයෙන් ඇතුලු වුණු කෙනෙක් දිහා බලන විදියටයි. 
දෙවන ඝණයේ පුරවැසියෙකු ලා සැළකිම කොයි තරම් වේදනාකාරී, අවමන් සහගත  අත්දැකීමක්ද කියන එක ප්‍රශ්නය තමන්ගේ වෙනකම් අපි කිසි කෙනෙකුට දැනෙන්නෙ නෑ. 

සින්දූර් මට උගන්වපු පාඩම නම් ඒකයි.

උපුටා ගැනීම :Uneka Lakmini Abeyrathna

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *