“මහනායක හිමියන් නොදැන ප්‍රකාශ කිරීමට යෝග්‍ය නැති බව ලේකම්වරු දැනගත යුතුයි” – ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක හිමියෝ

අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක හිමියෝ

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව රාමඤ්ඤ මහ නිකායේ මහලේඛාධිකාරී හිමියන් ඇතුළු මහා සංඝරතනය විසින් පවත්වන්නට යෙදුණු මාධ්‍ය හමුව පිළිබඳව තමන් වහන්සේ දැනුවත්ව නොසිටි බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක හිමියෝ පවසති.

එමෙන්ම, ඔක්තෝම්බර් 12 වන දින ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමන් දැනුවත් කර නැති බව රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, ඔක්තෝම්බර් 13 වන දින මහනායක හිමියෝ වැඩසිටින මැණික්හින්න හූරීකඩුව විද්‍යාසාගර පිරිවෙනේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එහිදී, අදහස් දක්වමින් මහනායක හිමියෝ, “ශාරීරික වෙහෙස නිසා මා වැඩිපුර ගමන් කරන්නේ නැහැ. ඒ නිසා ඊයේ වුණා කියන එක මම දන්නේ නෑ. යම් රැස්වීමක් නිකාය පිළිබඳ කරේ නම් මා දැනුවත් කළ යුතුව තිබුණා. නැතිනම් මහනායක හිමියන් නොදැන ප්‍රකාශ කිරීමට යෝග්‍ය නැති බව ලේකම්වරු දැනගත යුතුයි. අනික් අයත් දැන ගත යුතුයි. අපේ අනුදැනුමක් නැතිව එවැනි ප්‍රකාශ කරන ඒවා භාර ගන්න කෙනෙක් නැහැ.“ යනුවෙන් පැවසූහ.

තවද, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහනාහිමියන් පැවසුවේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කතිකාවත අනුව එම පාර්ශවයේ මහා සංඝරතනයට දේශපාලනයට සම්බන්ධ නොවන ලෙස සඳහන් කර ඇති බවයි. එබැවින්, දේශපාලනය සම්බන්ධ කරුණු පිළිබඳව අදහස් දැක්වීම සිදුනොවිය යුත්තක් බවයි.

එසේම, අමරපුර මහා නිකායේ වැඩබලන මහා නායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි ස්වාමීන් වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අමරපුර මහ නිකායේ නියෝජිත, පාලක හෝ විධායක සංඝ සභාවලින් කිසිදු තීරණයක් ගෙන නැති බවයි.

එමෙන්ම අදාළ සංශෝධනයේ ගුණදොස් විවේචනයට නම් එක් එක් වගන්ති පිළිබද වෙන වෙනම අධ්‍යනය කළ යුතු බව ද උන්වහන්සේ පවසති. සංවර්ධනාත්මක විවේචනවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් ඇහුම්කන් දිය යුතු බව ද උන් වහන්සේ පෙන්වා දෙති.

– RIVIRA.LK

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *