සෞදියේ ශ්‍රී ලාංකිකයන් 128,000 කට තානාපති කාර්යාලයේ සේවකයන් 2 යි

සෞදියේ ශ්‍රී ලාංකිකයන් 128,000 කට තානාපති කාර්යාල

සෞදියේ ශ්‍රී ලාංකිකයන් 128,000 කට තානාපති කාර්යාල

සවුදි අරාබියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුභ සාධන අංශයේ නිලධාරින් ආපසු කැඳවීම නිසා එරට සේවයේ යෙදෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධන කටයුතු ඇතුළු රැකියා සම්බන්ධ කටයුතු සියල්ල ඇන හිට ඇතැයි එම තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි කම්කරු අංශයේ නිලධාරින් ඇතුළු 19 දෙනෙක් සේවය කළ නමුත් මේ වනවිට එහි සේවය කරන්නේ තෙවන ලේකම්වරයෙක් හා කම්කරු උපදේශකවරයා, ලිපිකරුවන් දෙදෙනෙක් හා සුරක්ෂා නිවාස බාරකරු පමණි.

එයින් කම්කරු උපදේශන නිලධාරි හා තෙවන ලේකම්වරයාගේ ද සේවය ඉකුත් 25 වැනිදායින් අවසන් කර ඇති බවත්, මෙරටට පැමිණිය නොහැකිව මේ වනවිටත් එරට රැඳී සිටින බැවින් තවමත් ඔවුන් දෙදෙනා සේවය කරමින් සිටින බවත් එම ආරංචි මාර්ග කියයි. ලිපිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් මේ මස 21 වැනිදා ආපසු කැඳවා ඇති බවත් ඉන්පසු එහි ඉතිරි වන්නේ සුරක්ෂා නිවාස බාරකරු හා ලිපිකරු පමණක් බවත් එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.

මේ වනවිට සවුදියේ ශ්‍රී ලාංකිකයන් 128,000 කට අධික පිරිසක් සේවය කරන අතර එයින් 60000 කට ආසන්න පිරිසක් ගෘහසේවිකාවෝ වෙති. විවිධ කරදරවලට මුහුණ පා දිනපතා තම ප්‍රශ්න විසඳා ගැනීමට කම්කරු සුභසාධන අංශයට විසි පහකට ආසන්න පිරිසක් එන බවත් සුරක්ෂා නිවාසයේ ද මේ වනවිට කාන්තාවන් 10 දෙනෙකු රැඳී සිටින බවත් තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

සේවා කාලය අවසන්ව මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් 2500 දෙනෙක් එහි ලියාපදිංචි වී සිටින බවත් රැකියා ගිවිසුම අවසන්ව පිටවීමේ විසා බලාපොරොත්තුවෙන් තවත් විශාල පිරිසක් සිටින බවත් තානාපති කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය. කම්කරු සුභ සාධන අංශයෙන් එරට වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්න පිළිබඳ සොයා බැලිය යුතු අතර රැකියා ඇනවුම් ලබා ගැනීම ද සිදුකරයි.

එමෙන්ම ලියාපදිංචිය අලුත් කළ යුත්තේ එම අංශයෙන් පමණකි. මෙම කටයුතු සියල්ලම මේ වනවිට අඩපණ වී ඇති බවත් කම්කරු උසාවි හා අධිකරණවල ඇති නඩු සඳහා පෙනී සිටීමට මෙන්ම පොලිස් ස්ථානවලට යාමට එම සේවකයින් වෙනුවෙන් කිසිවෙක් නැතිවනු ඇති බවත් එම නිලධාරියා පෙන්වා දුන්නේය. මේ වනවිට සවුදියේ රැකියා වෙළඳපොළ ශ්‍රී ලංකාවට යළි විවෘත වී ඇතත් පවතින තත්ත්වය යටතේ එම ඇණවුම් ලබා ගැනීමට නිලධාරින් නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *