Type to search

සුමයියා: “ස්ට්‍රෝන් වෙන්න නංගී”

Share

ඒ වෙද්දි වඳ පෙති කතන්දර පටන් අරන් තිබුනෙ නෑ. හැබැයි ජාතිවාදයේ නාමෙන් බොහෝ දෙනෙක් මුස්ලිම් කඩවලට යන එක නතර කරමින් තිබුනා.

කැඩුනු සිංහලයි බාගෙට ඉංග්‍රීසියි එකතු කරලා එයා මට කියන්න පුරුදු වෙලා හිටපු ලස්සන වාක්‍යය ඇහුනෙ ඒ අවුරුද්දෙ. දෙදාස් දාහතරෙ.

” strong වෙන්න නංගී “

දම්පාට සාලුවකින් වැසුනු හිසක් කරුණාවන්ත ඇස් දෙකකින් මා දිහා බලලා එහෙම කිව්වෙ අල්ලපු ඇඳේ ඉඳන්.
රෝහලේ වාට්ටුවක ඇඳන් තියෙන්නෙ එක පේළියට උනත් විශේෂයෙන් විෂබීජ වලින් පරිස්සම් කරගන්න ඕන අය වෙනුවෙන් වීදුරුවලින් වෙන් කෙරුනු කුටීර තියෙනවා. පිළිකා රෝහලේ වාට්ටුවකදි එයත් මමත් කාමර සඟයන් උනේ එහෙම.

සුමයියා අක්කට තිබුනෙ ලියුකේමියා. මට ලිම්ෆෝමා. අකුරු දෙක තුනක වෙනසක් විතරයි. අපි දෙන්නගෙම අම්මලා අපිට තනි රැක්කා. මං නතර වෙලා ඉන්නෙ මාසෙකට දවස් තුනයි. සුමයියා අක්කා එක දිගට මාස ගාණක් හිටියා. එයාගෙ අම්මා වාට්ටුවෙ එළියෙ රෙදි වැලක් බැඳගෙන රෙදි සෝදලා වේලුවා. අක්කගෙ ඇඳ යටින් මෙට්ටයක් එළාගෙන නිදාගත්තා.
ලෙඩ්ඩු බලන්න දෙන වෙලාවට පැයකට කලින් ඉස්පිරිතාලෙ ගේට්ටුව ඉස්සරහට ඇවිත් බලන් ඉන්න තාත්තලා දෙන්නෙක් අපි දෙන්නටම හිටියා.
සුමයියා අක්කගෙ තාත්තා පලතුරු මල්ලක් අරගෙන ඇවිත් එක එක ජාති සුද්ද කරලා කවලා ඊට පස්සෙ අක්කව වාරු කරගෙන ඉස්පිරිතාලෙ වටේ පොඩ්ඩක් ඇවිදින්න එක්කගෙන යනවා. වෙලාව ඉවර වෙලා යන්න වෙනකොට තාත්තලා දෙන්නගෙම ඇස් වල තිබුනෙ එකම පෙනුමක්.
ඒ තාත්තා අරන් එන දොඩම් මටත් ලැබෙනවා.අපේ තාත්තා අරන් යන දෙළුම් සුමයියා අක්කටත් ලැබෙනවා. හැමදාම හවස්වරු ගතවුනේ එහෙම. කන ගමන් අපි විස්තර කතා කරනවා. සුමයියා අක්කලගෙ ගෙදර ළමයි නව දෙනෙක්. “මට ඉන්නෙ දෙන්නනෙ.. මට එක්කෙනෙක් දෙන්නකො” අපේ අම්මා කියනවා. “හා දෙන්නම්” කියලා ඒ පැත්තෙන් උත්තරේ ලැබෙනවා.

සුමයියා අක්කගෙ රිපෝට්ස් බලලා දොස්තරලා පවා ඇස් ලොකු කරගත්ත දවස්වලටත් කැනියුලා ගහපු අත් දෙක කොට්ටෙ උඩ තියාගෙන මුනින් අතට හැරිලා කරන යාඥාව එයා අතපසු කළේ නැහැ. “අල්ලාහ් මට මේ කැන්සර් එක දීපු නිසා මං කරපු පවු ගෙවෙනවා ” එයා ඒ විදියට කර්මපලය ඇදහුවා. ඒ විස්වාසය විසින් එයාට ගෙනදුන් සැනසීම වෙනුවෙන් මං අල්ලාහ්ට ස්තුති කළා.

ප්‍රතිකාර අතර විරාමෙක මම ගෙදර ඇවිත් ඉන්න වෙලාවක මට කෝල් එකක් ආවා. “පුතා සුමයියා අක්කා නැති උනා.. අපි අවසන් කටයුතු කළා” ඒ වෙනකල් කිසිම දාක මගේ අසනීපය හේතුවෙන් කඳුලක් හෙලපු නැති මම බුදු පහන යට වැටිලා කෑ ගහලා ඇඬුවා. ලද දෙයක් නැති ඒ අම්මත් තාත්තත් වාට්ටුවට ඇවිත් ස්තුති කරලා ගිය බව නර්ස්ලා කිව්වා.

සුවයි කියන සහතිකය ලැබෙනවත් එක්කම ජීවිතේ මග ඇරුනු දවස් වෙනුවෙන් වෙහෙසෙන්න මට සිද්ද උනා. ” strong වෙන්න නංගී ” ඒ වචන ටික ඔලුව ඇතුලෙ හැමදාමත් ඇහුනා.
සුමයියා අක්කා මට මුණගැහෙද්දි එයා ඉංග්‍රීසි ගුරුවරියක් විදියට පත්වීම ලැබුවා විතරයි. මම උසස් පෙළට එයාගෙ විෂය තෝරගෙන කැම්පස් ආවා.

ඒ අවුරුද්දෙ පාස්කුවෙ බෝම්බ පිපිරුණා. මේක strong වෙලා ඉන්න එක සෑහෙන්න අමාරු රටක්.
පිළිකාවට වඩා භයානක පිළිල ගොඩාක් තියෙනවා.

කොණ්ඩෙ යයිද ? කන්න බැරි වෙනවද ? වෙනදා වගේ වැඩ කරගන්න පුලුවන් වෙයිද? බබාලා හදන්න පුලුවන් වෙයිද ? වගේ දාහක් ප්‍රශ්න අහලා සතියකට සැරයක්වත් එන කෝල් හැම එකටම මම ” strong වෙන්න ” කියන වාක්‍යය කියනවා. සුමයියා අක්කේ ඔයා හිටියා නම් ඔයා කියන්න තිබුන වාක්‍යය මම මට පුලුවන් තරමින් හැමෝටම හැමදාම කියනවා.

පෝය හඳත් රාමලාන් හඳත් දෙකක් නෙවේ එකක්මයි කියලා අඳුරගන්න රටක අපි ආයෙත් හමුවෙයි කියන බලාපොරොත්තුවෙන් මං strong වෙලා ඉන්නවා.


-Jithya Rupasinghe FB Post-

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *