(Video) “ජනාධිපති ගෝඨාභයට පරිසරය ගැන කිසිම අවබෝධයක් නෑ, පරිසරය ගැන අවබෝධයක් නැති මිනිස්සුන්ට නායකයො වෙන්න බෑ” – ආචාර්ය අජන්තා පෙරේරා
තමා ජීවත්වන පරිසරය පිළිබඳ නායකයෙකුට අවබෝධයක් නොමැති නම් එය බරපතල ගැටලුවක් බව ද පරිසරයේ ඇති සංවේදීතාවයන් පිළිබඳව අවබෝධයක් නොමැති නායකයන්ගෙන් ඵලක් නොමැති බවද පරිසර විද්‍යාඥ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ප්‍රකාශ කරයි. වනාන්තර පද්ධතියක ආරක්ෂාව වෙනුවෙන් ඇති අවශේෂ වනාන්තර පද්ධතිය විනාශ කිරීම ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වීම ඉතාම කණගාටුදායක බවද ඇය කීවාය.
වර්තමාන රජය යටතේ සිදුවෙමින් පවතින මහා පරිමාණ වන විනාශය සහ පරිසර විනාශයට එරෙහිව තරුණ ප්‍රජාව බලමුලු ගැන්වීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ විසින් මේ මස 26 වනදා සංවිධානය කළ “පරිසර හඬ” විශේෂ වැඩසටහනේ දී ඇය මෙස් ප්‍රකාශ කළා ය. වැඩිදුරටත් කතා කළ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය කියා සිටියේ ලොව කිසිදු රටක් මෙලෙස පරිසරය විනාශ කරමින් මාර්ග ඉදිකිරීම නොකරන බව යි. ඇය ජීවත් වූ ෆීජි රටේත් ජර්මනියේත් අත්දැකීම් පෙන්වාදුන් අජන්තා පෙරේරා මහත්මිය පරිසරය සහ සතුන් ආරක්ෂා කරගනිමින් සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම සඳහා ඇති ක්‍රමවේදයන් පිළිබඳව සභාව දැනුවත් කළාය.
කෙතරම් කීව ද ගණන් නොගත් එවක රජය හෝමාගම දී අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා කුඹුරු පද්ධති විනාශ කර දැමූ අතර අද වන විට චීනයෙන් සහල් ආනයනය කරමින් සිටින බවද කීවා ය. (ඇයගේ ප්‍රකාශය සහිත වීඩියෝවක් මෙහි දැක්වේ.)
මෙම අවස්ථාවට එජාප නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද සහභාගී වූ අතර වත්මන් රජය බලයට පත්වූ දා සිටම මේ දක්වා දිනකට අක්කර හත බැගින් විශාල වන ගහනයක් විනාශ කර ඇති බවත්, ඉවක් බවක් නොමැතිව සිදුකරන වන විනාශය හමුවේ වන්දි ගෙවීමට සිදුව ඇත්තේ පුරවැසියාට බවත් පැවසූවේ ය.
ජනාධිපතිවරයා පවා මැදිහත්ව ගෙනයන පරිසර විනාශයට එරෙහිව දේශපාලන භේදයෙන් තොරව සියලු පාර්ශවයන් එකට එක් වී කටයුතු කළ යුතු බව ද, සංවර්ධනය යනුවෙන් අදහස් කරමින් ඇතැම් විට අප සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබඳව නැවත වතාවක් සිතා බැලිය යුතු කාලය උදාවී ඇති බව ද පෙන්වා දුන් රුවන් විජයවර්ධන මහතා පරිසරය මුහුණ දෙන අවදානම් සහගත තත්ත්වය පිළිබද තරුණ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ගෙනයන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ස්තුතියද පල කෙළේය.
ජාතික යොවුන් පෙරමුණ සංවිධානය කරන මෙම වැඩසටහන දීප ව්‍යාප්ත ලෙස පැවැත්වීමට නියමිත අතර මෙම රැස්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ ,සන්දිත් සමරසිංහ යන මහත්වරුන් සහ පරිසරවේදීන්, ජාතික යොවුන් පෙරමුණේ සමාජික සාමාජිකාවන් සහභාගී වී සිටියහ
(ලංකා ඊ නිව්ස්)