20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ යක්ෂාගමනයක් – බිමල් රත්නායක

බිමල් රත්නායක

බිමල් රත්නායක

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද විරෝධතා එල්ල වී ඇති බවත්, ඉන් පැහැදිලි වන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය නොමැතිව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි. මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මතු වූ විරෝධතා හමුවේ අගමැතිවරයාට යළි විමසා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට සිදුවූ බවත්, එහෙත් එසේ පත්කළ කමිටුව විසින් සකස් කළ වාර්තාවට සිදුවූයේ කුමක්ද යන්න පවා කිසිවෙකුත් නොදන්නා බවත් එම කමිටු වාර්තාවට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩුව රටට කරණු පැහැදිලි කළයුතු බවත් බිමල් රත්නායක මහතා පවසයි.
මේ මස 23 දින බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බිමල් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කරන ලදි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු බිමල් රත්නායක මහතා,
“ඊයේ (22) 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 20 වැනි සංශෝධනය පසුගිය අගෝස්තු 28 වැනිදා ගැසට් පත්‍රයේ පළ කළා. ඒත් එක්කම සමාජයෙන් දැඩි විවේචනයක් එල්ල වුණා. ඒ විවේචන හමුවේ 20 වැනි සංශෝධනය ලිව්වේ කවුද කියලා ඉදිරිපත් වීමටවත් ආණ්ඩුවේ ඇමතිවරුන් බය වුණා. අලි සබ්රි ඇමතිවරයා, ජී.එල්. පීරිස් ඇමතිවරයා වගේ කවුරුත් එහි වගකීම බාරගත්තේ නැහැ. ඒ නිසා මේක එක්සත් ජනපද කාර්යාලයෙන් ලිව්වාද කියන ප්‍රශ්නයක් මතු වුණා. මෙහි අඩංගු කරුණුවල ප්‍රජාතන්ත්‍රවිරෝධීභාවයේ තරම ඇමතිවරුන් ඉදිරිපත් නොවීමෙන්ම පැහැදිලි වෙනවා. ගෝත්‍රික පවුලක් වටා බලය ගොඩනංවන රට අවුරුදු 40ක් පස්සට ගෙනයන අවජාතක දරුවෙක් වගේ 20 වැනි සංශෝධනය ඉදිරිපත්කර තිබෙනවා.“
“මේ සංශෝධනය ගැසට් කළාට පසු කෙටුම්පත ගැන සලකා බලන්න කැබිනට් ඇමතිවරු පස්දෙනෙක් සහ මන්ත්‍රීවරුන් හතර දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් අග්‍රාමාත්‍යවරයා පත් කළා. මේ අනුව අගෝස්තු 28 වැනිදා ගැසට් කළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සංශෝධන සහිත අලුත් එක ගේනවා කියලා ප්‍රකාශ කර තිබුණා. නමුත් 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පරණ කෙටුම්පතමයි. අගමැතිවරයා පත්කළ කමිටුව විසින් අධ්‍යයනකර ලබාදුන් වාර්තාව මේ වන විට කළු කුහරයට දාලා තිබෙන බව පේනවා. 20 වැනි සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, එදිනම අනුමත කරගැනීම ඉතාම දුර්ලභ දෙයක්. සාමාන්‍යයෙන් කෙටුම්පතක් අධ්‍යයනය කරන්න කැබිනට් සාමාජිකයන්ට සතියකවත් කාලයක් ලබාදෙනවා. නමුත් ඒ කිසිදු අවස්ථාවක් ලබානොදීමෙන් කැබිනට් මණ්ඩලය තුළ සම්මත කරගෙන මේ වන විට ආණ්ඩුව හත්පොලේ ගාගෙන තිබෙනවා. සියල්ල ඩෝසර් කරගෙන යන බලයක් ඉදිරියේ අගමැතිවරයා පවා දැන් හීනෙන් බයවෙලා වගේ වැඩකරන්නේ. එහෙම නැත්නම් අගමැතිවරයාත් ඉන්න කැබිනට් මණ්ඩලයෙන් මේ කෙටුම්පත අනුමත කළ පසුව අධ්‍යයනය කරන්න කියලා අගමැති කමිටු දාන්නේ කොහොමද?“

“අලුත්ම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් හදන්නත් විශේෂඥ කමිටුවක් පත්කළා. එහෙම තිබියෙදී අයිතිකාරයෙක් නැති අවජාතක 20 කෙටුම්පත සංශෝධනයක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සිදුවී තිබෙන්නේ දිව විකාගෙන මේකට ඡන්දය දෙන්න. නමුත් අපි ජනතාවට පැහැදිලි කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ සංශෝධනය පරාජය කළ යුතු බවයි. ආණ්ඩුව තුළමත් එයට දැඩි විරෝධයක් තිබෙන බව පේනවා. මේ අතරේ ජනතාවගේ ඇහැට වැලි ගහලා ආණ්ඩුවේ 2/3කේ බලය යොදාගෙන ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළවල්වලින් ආණ්ඩුවේ විකෘති හැසිරීම් ජනතාවට දැකගන්න ලැබෙනවා. මේ සංශෝධන කෙටුම්පත ප්‍රගතිශීලී එකක් නම්, එය බාරගන්න අයිතිකාරයෝ බොහොම දෙනෙක් ඉදිරිපත් වෙනවා. නමුත් 20 මගින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ බලය ශක්තිමත් කරගන්න යන නිසා මේ වගකීම ගැන ප්‍රසිද්ධියේ කවුරුවත් ඉදිරිපත් වන්නේ නැහැ.
එක්සත් ජාතික පක්ෂය, සජිත් පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ මේ පක්ෂ දෙක මොන වේශයෙන් හිටියත් 1978 සිටම ඔප්පු කරමින් තිබෙන්නේ ඔවුන් ජනතාවගේ කපටි ආරක්ෂකයන් බවයි. මොවුන් ජනතාවගේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටිමින් ඉතිරිවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ සෙවනැල්ල පවා විනාශකර දමන්නයි උත්සහ කරන්නේ. මේ සංශෝධනය නිසා ජනතාවට සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් වගේම ජීවිතවලින් පවා වන්දිගෙවීමට සිදුවන තත්ත්වයක් ඇතිවෙන බවට අපි අනතුරු අඟවනවා. මේ නිසා මේ තත්ත්වයට විරුද්ධව පාර්ලිමේන්තුවේදී මෙය පරාජයට පත්කරගන්න බැරි වුණොත් දිගුකාලීනව ජනතාව අතර, පරාජයට පත් කළ හැකි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව අවධාරනය කරන ලදි.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *