සෝමාවතියෙත් වන සංහාරයක් – අක්කර 100ක් බඩඉරිඟු වගාවට විකුණලා…

somawathiya - සෝමාවතිය

somawathiya - සෝමාවතිය

සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත් ජලගැළුම් නිම්නයේ අක්කර 100ක් පමණ වන භූමිභාගයක් පොළොන්නරුවේ ප්‍රකට සහල් ව්‍යාපාරිකයෙකු විසින් මේ වනවිට ඩෝසර් දමා හෙළි කර ඇතැයි වාර්තා වේ. එම ව්‍යාපාරිකයාට මෙම භූමිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ලබා දී ඇත්තේ බඩ ඉරිඟු වගාවක් සඳහා යැයිද වාර්තාවේ.

මෙම කැලෑ හෙළිකිරීමෙන් විශාල පරිසර හානියක් සිදුව ඇති බවත් මාදුරුඔය සහ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානවල වෙසෙන වන අලි සෝමාවතිය ජාතික වනෝද්‍යානයට ගමන් ගනු ලබන්නේ මෙම අලි මංකඩ ඔස්සේ බවත් පොළොන්නරුව කලාප බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ කීර්ති චන්‍ද්‍රරත්න මහතා ප්‍රකාශ කරයි.

එහෙත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට එම භූමිය එවැන්නක් සඳහා ලබාදීමට කිසිදු බලයක් නොමැති බවත් මේ වන විට එම සහල් මෝල් හිමියා විසින් බුල් ඩෝසර් ආදී යන්ත්‍ර සූත්‍ර යොදාගෙන දැවමය වටිනාකම් ඇති විශාල ප්‍රමාණයේ ගස් ඇතුළු ශාක වර්ග රාශියකට හානි කර තිබෙන බව සිදු කළ විමර්ශනවලදී හෙළිවී ඇතිබවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම වන විනාශය සහ පරිසර විනාශය නිසා අලි ඇතුන් ප්‍රමුඛ වනජීවින්ගේ චර්යාවන්ට විශාල වශයෙන් බාධා එල්ලවී තිබෙන බවද චන්‍ද්‍රරත්න මහතා පවසයි. එම නිසා ඒ නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් වහාම නැවැත්වීමට පියවර ගත් බවත් අදාල පාර්ශවකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ සම්බන්‍ධයෙන් මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු සුගත් වීරසිංහ මහතා පවසන්නේ මෙම භූමිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු බවත් එම නිසා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාගේද අනුමැතිය ඇතිව මෙයට මාසයකට පමණ පෙර මෙම ව්‍යාපාරිකයාට බඩ ඉරිඟු වගාවක් සඳහා නියමිත බදු මුදල් අයකරගෙන එම භූමිය ලබාදී ඇති බවත් ය.

එහෙත් එම ව්‍යාපාරිකයා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අවසරයකින් තොරව නීති විරෝධී ලෙස එම භූමියට දහයියා සහ දහයියා අළු මුදාහැර තිබෙන බවත් සතියක් ඇතුළත එම දහයියා ඉවත්කර ගන්නා ලෙස ඔහුට දැනුම්දී තිබෙන බවත් නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.

-lankadeepa-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *