මැදපෙරදිගින් බලපෑම් එයි කියා මෛත්‍රී-රනිල් අන්තවාදීන් අල්ලන්න එපා කිවුවා

මෛත්‍රී-රනිල්

මෛත්‍රී-රනිල්

නීතිය හා සාමය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනපති කොමිසමට කියයි

ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වුව ද ඒ සම්බන්ධයෙන් මෙරට නැඟෙනහිර පළාතේ වෙසෙන මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගත හොත් අන්තර්ජාතික වශයෙන් හා මැදපෙරදිග රටවල නායකයන්ගෙන් බලපෑම් විය හැකි බව කියමින් සුපරික්ෂාකාරීව (ඇලට්) පසු වන ලෙසට යහපාලන ආණ්ඩුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී දැනුම් දුන් බව නීතිය හා සාමය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ වත්මන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා මේ මස 12 වැනි දින පැවැති පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පැවැසීය.

අන්තවාදය සම්බන්ධයෙන් සෘජු තීරණ ගැනීම සඳහා යහපාලන රජයට ශක්තිමත් පිටකොන්දක් නොතිබූ බවද ඒ මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

නීතිය හා සාමය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් පී. විජේවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි තීරණ ගැනීම් පිටුපස මුස්ලිම් ඇමැතිවරුන් සිටින බව තමන්ට හැඟී ගිය බවය.

මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික බලපෑම්වලට අවධානය යොමු කළත් දේශීය වශයෙන් වන බලපෑම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ අවධානය යොමු නොකළේද යන්න එහිදී කොමිසමේ ප්‍රධාන විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර, එහිදී හිටපු ලේකම්වරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව සිටින ලෙස හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක මණ්ඩලයේ දී සඳහන් කළ බවය.

නමුත් එම ආරක්ෂක මණ්ඩල රැස්වීමට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගි නොවූ බව සාක්ෂිකරු කොමිසම හමුවේ පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවක ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයා අතර තිබූ විරසකයන් හේතුවෙන් පොලිස්පතිවරයාව ආරක්ෂක මණ්ඩල රැස්වීම් සඳහා නොකැඳ වූ බවයි.

එමෙන්ම එවක සිටි පොලිස්පතිවරයා ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිමක් කළ බව තමා පසුව දැන ගත් බවද විජේවීර මහතා කොමිසම හමුවේ කීවේය.

රාජ්‍ය බුද්ධි අංශ ඇතුළු බුද්ධි අංශ ඔස්සේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය, එහි නායක සහරාන් හෂීම් සහ මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් කරුණු රැසක් 2017 වසරේ අනාවරණය වී තිබූ බව නීතිය හා සාමය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් පී. විජේවීර මහතා සාක්ෂි ලබාදෙමින් කියා සිටි අතර, තමා 2017 වසරේ එම අමාත්‍යාංශයෙන් ස්ථාන මාරුවී පිටව ගිය බවත් කියා සිටියේය.

මම 2015 නොවැම්බර් මස 11 වැනි දා සිට 2017 දෙසැම්බර් 12 වැනි දා දක්වා ජගත් පී විජේවීර මහතා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළා.

එවක අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා තම කාලය තුළ පැවති ඇතැම් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට සහභාගි වූයේ නැහැ. අධික කාර්ය බහුල බව නිසා රනිල් වික්‍රමසිංහ මහතා රැස්වීමට නොඑන බව දැන ගත්තා. ඔහු සහභාගි වූ ඇතැම් රැස්වීම්වලදී රැස්වීම අවසන්වීමට පෙර පිටව ගිය බවත් ජගත් පී විජේවීර මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

කොමිසමේ සභාපති විනිසුරුවරයා ඇතුළු සාමාජික විනිසුරු මඬුල්ලක් හමුවේ සාක්ෂි කැඳවීම සිදු කළ අතර, එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ කරුණු අනාවරණය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *