(Video) සහරාන් හමුවීමට ගිය දේශපාලනඥයෝ, හිස්බුල්ලාට ලැබුණු සල්ලි ගැන සහරාන් කියූ කතාව

සහරාන් හමුවීමට ගිය දේශපාලනඥයෝ

සහරාන් හමුවීමට ගිය දේශපාලනඥයෝ

යහපාලන රජය පිහිටුවීමට දායක වූ දේශපාලන නියෝජිතයින් පිරිසක් 2015 වසරේ මහ මැතිවරණය ආසන්න කාලකදී පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටයක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී පෙරේදා(11) අනාවරණ කෙරුණි.

එම සාකච්ඡාවේදී, 2012 සිට 2015 වසර දක්වා කාලය තුළ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ අධ්‍යයනය කර සැකසූ වාර්තාවක් සම්බන්ධයෙන් සහරාන් හෂීම් විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කරනු ලබයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සිව්වන දිනටත් සාක්ෂි ලබාදීම සඳහා ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ඊයේ පැමිණියේය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදි සිසිර මෙන්ඩිස් මහතාගෙන් විමසා සිටියේ, ජාතික තව්හිද් ජමාත් සංවිධානය ලේ වැගිරීම් පවා කර තිබූ බවට ප්‍රහාරයට පෙර සිටම බුද්ධි අංශ වාර්තා කර තිබූ බැවින් එම සංවිධානය තහනම් කළ යුතු බවට නොහැගුනේද යන්නය.

එවිට සිසිර මෙන්ඩිස් මහතා, “ප්‍රහාරයට පෙර නම් හිතුනෙ නැහැ. අපේ මුල් අරමුණ වුණේ සහරාන්ව අත්අඩංගුවට ගැනීම.” යනුවෙන් පැවසුවේය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී යළිත් විමසා සිටියේ එම සංවිධාන තහනම් කිරීමට උත්තේජනයක් වූයේ පාස්කු ප්‍රහාරයද යන්නය.

එවිට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ” ඔව් ” යනුවෙන් පැවසීය.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සිසිර මෙන්ඩිස් මහතාගෙන් විමසුවේ “සහරාන්ව අත්අඩංගුවට ගන්න පියවර ගැනීමට ඔබට ආරක්ෂක ලේකම් හමුවෙලා සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණද ? ” යන්නය.

එහිදී සිසිර මෙන්ඩිස් මහතා පැවසුවේ එය පොලිස්පති කළ යුතු වන නමුත් එය සිදු නොවූ බවය.

සහරාන් හෂිම්ගේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී සහ බුද්ධි සමාලෝචන රැස්වීම්වල අවස්ථා රැසකදී සාකච්ඡා කෙරුණ ද පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වූ බව සිසිර මෙන්ඩිස් මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

අනතුරුව ඊයේ රාත්‍රියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබුණේ, 2015 දී යහපාලනය රජය ස්ථාපිත කිරීම සඳහා ගොඩනැඟුණු ” NFGG හෙවත් යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ ” සංවිධානයෙන් 2015 වසරේදීම මහමැතිවරණයට ඉදිරිපත් ව පරාජය වූ අපේක්ෂකයකු වන මොහොමඩ් මුස්තෆා අබ්දුල් රහුමාන් නමැත්තාය.

මෙහිදී අබ්දුල් රහුමාන් නැමති සාක්ෂිකරු සහ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී සිබිලි ෆාරුක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව දියත් කළ සහරාන් හෂීම් සමග සාකච්ඡාවක නිරතවන වීඩියෝ පටියක් කොමිසම හමුවේ ප්‍රදර්ශනය කෙරුණි.

මෙම වීඩියෝ පටයෙහි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිබිලි ෆාරුක් සහ සාක්ෂිකාර අබ්දුල් රහුමාන් මෙලෙස රැඳී සිටින අතර ඔවුන්ගේ ඉදිරියේ අසුන්ගෙන සිටින්නේ පාස්කු ප්‍රහාරයේ නායකත්වය දැරූ සහරාන් හෂීම් සහ ඔහුගේ සොහොයුරු ෂෙයින් මොහොමඩ් යන අයයි.

මෙම වීඩියෝ පටය විනාඩි 30කට ආසන්න කාලයක් රූගත කර ඇති අතර එම කොටස පමණක් සාක්ෂිකරු ඉදිරියේ කොමිසම විසින් දර්ශනය කෙරුණි.

ඔවුන් අතර සිදුවන සාකච්ඡාව දමිළ බසින් සිදුවූවකි.

2012 වසර සිට 2015 වසර දක්වා කාලය තුළ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා අතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ අධ්‍යයනය කිරීමට සහරාන් හෂීම් විසින් යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ නියෝජිතයින්ට වගකීමක් පවරා ඇති අතර ඔවුන් සැකසූ වාර්තාව පිළිබඳව මෙහිදී දේශපාලන නියෝජිතයින් සමග සාකච්ඡා කරනු ලබයි.

එමෙන්ම එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාට අරාබියෙන් ලැබී තිබූ රියාල් මිලියන එකක පමණ මුදලක් සම්බන්ධයෙන් ද සහරාන් හෂීම් සහ සිබිලි ෆාරුක් මෙහිදී සංවාදයක යෙදෙන අතර එම මුදල් හිස්බුල්ලාගේ දේශපාලන කටයුතු සඳහා අරාබියෙන් හෝ හිරා පදනම මඟින් ලැබෙන ඒවාද යන්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වේ.

සහරාන් හෂීම් මෙහිදී ප්‍රකාශ කරන්නේ හිස්බුල්ලාගේ කටයුතු සඳහා අරාබියෙන් එලෙස මුදල් ගෙන කටයුතු කිරීම පිළිබඳව ගැටලුවක් නොමැති බවය.

මෙහිදී මෙම හමුව සම්බන්ධයෙන් රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥවරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරමින් විමසුවේ “ඇයි ඔබ සහ සිබිලි ෆාරුක් සහරාන් හෂීම්ව හමුවුණේ? ” යන්නය.

එවිට යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ අපේක්ෂක අබ්දුල් රහුමාන් “මේ සාකච්ඡාව පැවැත්වුණේ සහරාන්ගේ කාර්යාලයේ. මෙය දේශපාලන සාකච්ඡාවක්. 2015 මහමැතිවරණයට සතියකට පමණ ඉහතදී තමයි මෙම සාකච්ඡාව සිදුවුණේ.” යනුවෙන් පැවසීය.

 

-Adaderana | Live @ 8-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *