(New)පාස්කු ප්‍රහාරයට සැගවුණු බලවේගයක්: රනිල්ගේ බිරිඳ එවපු වීඩියෝවෙන් පසුව තමයි මම සහ්රාන් ගැන දැනගත්තේ – හකීම්

පාස්කු ප්‍රහාරයට සැගවුණු බලවේගයක්: රනිල්ගේ බිරිඳ යවපු වීඩියෝවෙන් පසුව තමයි මම සහ්රාන් ගැන දැනගත්තේ - හකීම්

පාස්කු ප්‍රහාරයට සැගවුණු බලවේගයක්: රනිල්ගේ බිරිඳ යවපු වීඩියෝවෙන් පසුව තමයි මම සහ්රාන් ගැන දැනගත්තේ - හකීම්

2019 අප්‍රේල් 21 වන දින සිදුකළ, පාස්කු ඉරු දින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය රට අස්ථාවර කිරීමේ අරමුණින් ISIS සංවිධානයට මුවාවී සැගවුණු බලවේගයක් මගින් සිදු කළ දෙයක් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී, මුුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර සිටියේය. තවද තමා එවැනි ස්ථාවරයක සිටීමට බලපාන හේතු ද හෙළිකර සිටියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් දෙවන දිනයටත් කරුණු ඉදිරිපත් කිරීමේ දී කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ කාදිනල් රංජිත් මැල්කම් හිමිපාණන් වෙනුවෙන් ඉදිරිපත්ව සිටී ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙය හෙළි කළේය.

“සහ්රාන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම නේපාලය, පාකිස්ථානය, කසකස්ථානය වැනි රටවල් වල භාවිත කරන සිම් කාඩ්පත් ළඟ තබාගෙන තම පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා භාවිතා කර තියෙනවා. සිම් කාඩ්පත් සහරාන්ගේ කණ්ඩායමට කොහොමද ලැබුණේ ?

වරෙන්තුවක් සම්බන්ධයෙන් පොලිසිය විසින් ඔවුන් අත් අඩංගුවට ගැනීමට සෙවූ නමුත් ඔවුන් අසු නොවී කාගේ හරි උදව්වකින් සැඟවී සිටියා. ඒ නිසාම නොදන්නා බලවේගයක් තිබෙන බව සැක කරමි. මෙවැනි සැලසුම් සහගත ප්‍රහාරයකට මොවුන්ට රට ඇතුලෙන් පමණක් නොව රටින් පිට කවරෙකුගේ හෝ උදව් ලැබී තිබිය යුතුය.ඔවුන්ද මෙම ප්‍රහාරයට පසුපසින් සිටිය හැක.

හිටපු බුද්ධි අංශ ප්‍රධානී මෙම කොමිෂන් සභාවට ලබාදුන් සාක්ෂි අනුව දෙහිවල බෝම්බය පුපුරවාගත් බෝම්බකරු සම්බන්ධයෙන් රහස්‍ය සාක්ෂි ලබා තිබුණා. එහිද මේ සම්බන්ධව ඇතැම් දේවල් පවසා තිබිය හැකියි මම සිතමි.

මෙම බෝම්බකරු ප්‍රසිද්ධ හෝටලයක බෝම්බය පුපුරවා ගැනීමට උත්සාහ කර පසුව එහි සිට පිටවී ගොස් තියෙනවා. ප්‍රහාරයෙන් පසු ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් පවා මේ සම්බන්ධ සැක පහල කර තිබුණා. ඒ සැකය ම අපිටත් තියෙනවා. මේ ප්‍රහාරයෙන් අපේ රට අස්ථාවර වන විට එමගින් ලාභ උපයන බලවේගයක් මේ පිටුපස සිටින බව මම විශ්වාස කරනවා.”

අප්‍රේල් 21 දින පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු පසුගිය 2019 සැප්තැම්බර් 21 වැනි දින පත්කළ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි කොමිෂන් සභාවේ සිදුවෙමින් පවතී.

පසුගිය දිනක මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මෙම කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජීව දිසානායක ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙලෙස සාක්ෂි ඉදිරිපත් කළේය. මෙහිදී රවුෆ් හකීම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් පෙනී සිටියේය.

ජනාධිපති කොමිෂන් සභාව :
ජාතිය ආගම අනන්‍ය කොටගෙන පාසල් පද්ධතිය පැවතීම සංහිඳියාවට බාධාවක් ලෙසත් එය ඉවත් කොට සෑම කෙනෙකුම සෑම පාසලකම අධ්‍යාපනය ලැබීමේ තත්වයක් ඇති කළ යුතුයි. එලෙස කොමිෂන් සභාවේ සාක්ෂි දුන් සමහරක් ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය කුමක්ද?

හකීම් :
ඇත්තටම මෙවැනි පාසල් පද්ධතියක් සංහිඳියාවට බාධාවක් ලෙස මම හිතන්නේ නෑ. තම අනන්‍යතාවය ආරක්ෂා කරමින් අධ්‍යාපන කටයුතු සිදුකිරීම සංහිඳියාවට බාධාවක් නෙවෙයි. ඇත්තටම මෙවැනි පාසල් බිහිවීමට හේතු මොනවාදැයි මුලින්ම සොයා බැලිය යුතුයි. දැනට පවතින පාසල් පද්ධතිය ඇතුළු සෑම දෙයක්ම සොයා බලා සෑම කෙනෙකුටම සෑම පාසලකම අධ්‍යාපනය ලැබීය හැකිද යන නිගමනයට පැමිණිය හැක . හැමදෙනාම සාධාරණව සැලකුම් ලබන්නේ නම් සෑම කෙනෙකුම සෑම පාසලකම අධ්‍යාපනය ලැබිය හැකියි යන මතයේ වැරැද්දක් නැහැ.

ජනාධිපති කොමිෂන් සභාව:
වර්ගය සහ ආගම අනුව නම් දැරූ පක්ෂයන් සංහිඳියාවට බාධාවක් ලෙස ඇතැම් අය මෙහි සාක්ෂි දී ඇත. ඒ සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය කුමක්ද?

හකීම් :
මෙවැනි පක්ෂ බිහිවීමට හේතු මොනවාද? ඇතැම් අසාධාරණකම් වලින් බැට කන විට එයට විරුද්ධව ක්‍රියාත්මක වීම සහ සාධාරණය ඉටු කර ගැනීමට බොහෝ පක්ෂය බිහි වුණා. නම වෙනස් කළ පමණින් සංහිදියාව ඇති වෙයි කියන බලාපොරොත්තුව බොරුවක්. පක්ෂයේ නම වෙනස් කළ ද පක්ෂයේ සිටින බහුතරය ඔවුන් දරන මතය අනුව කටයුතු සිදු කරාවි. එම නිසා නම වෙනස් කිරීමෙන් සංහිඳියාව ඇති වේවි කියන කතාව පිළිගන්න බැහැ. නාම පුවරු වෙනස් කිරීමෙන් සියල්ල වෙනස් කරන්න පුළුවන් කියලා සිතීම වැරැදියි.

ජනාධිපති කොමිෂන් සභාව:
සම්පූර්ණයෙන් මුහුණ වැසෙන ලෙස ඇඳුම් ඇඳීම ජාතික ආරක්ෂාවටත් සංහිඳියාවට බාධාවක් ලෙස සභාවේ සාක්ෂි දුන් ඇතැම් පවසා ඇත. යුරෝපීය රටවල් පවා මෙය තහනම් කොට ඇත. එහෙමනම් මුහුණ සම්පූර්ණයෙන් වැසෙන පරිදි ඇඳුම් ඇඳීම තහනම් කළ යුතු නේද?

හකීම් :
ඇත්තටම ආගමික පැත්තෙන් බලනවිට මුහුණ වහලා ඇඳුම් ඇඳීම අනිවාර්ය නැහැ. එක් එක්කෙනාගේ ආගමික මත අනුගමනය වෙනස්. ඔවුන් ඔවුන්ගේ කැමැත්තට අනුව ඇඳුම් අඳිනවා. මුහුණ සම්පූර්ණයෙන් වහලා ඇඳුම් අඳිනවා. යුරෝපීය රටවල් එවැනි ඇඳුම් තහනම් කරයි. තවත් සමහර එක්සත් රාජධානිය වැනි රටවල් සම්පූර්ණයෙන් මුහුණ වසා අඳින ඇඳුම් ඇඳගෙන පොදු තැන්වල යෑම තහනම් කරේ නැහැ. එය ඔවුන් තනි පුද්ගලයන්ගේ ඇඳුම් පිළිබඳ කැමැත්ත ලෙස බලති.

මගේ මතය එවැනි ඇඳුම් බලහත්කාරයෙන් තහනම් කිරීමට වඩා එවැනි ඇඳුම් ඇඳීමෙන් වැළකී සිටීම හොඳයි.

ජනාධිපති කොමිෂන් සභාව:
මද්‍රසා පාසල් සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය කුමක්ද? අහදියා පාසල් ආගමික දැනුම ලබාගැනීමට ප්‍රමාණවත් නේද?

හකීම් :
අහදියා පාසල කියන්නේ බෞද්ධ ළමයින්ගේ දහම් පාසල් වගේ තමයි. එහෙත් බෞද්ධ ළමුන් සඳහා ඇති පිරිවෙන් අධ්‍යාපනය ලබන තැන් වගේ තමයි මද්රසා පාසල් කියන්නේ. එහේ ආගමික කරුනු පූර්ණකාලීනව උගන්වනවා.

මද්රසා පාසල් අනිවාර්යෙන්ම අධ්‍යාත්මික ව්‍යුහය සකසන්න අවශ්‍යයි. එවැනි පාසල් සම්බන්ධයෙන් දැන් සමහරක්ගේ සැකයක් මතුවෙලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය යටතේ විෂය මාලාවකට අනුව අධීක්ෂණයක් යටතේ එවැනි පාසල් ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයට කිසිදු විවේචනයක් නැහැ.

නාධිපති කොමිෂන් සභාව:
සම්ප්‍රදායික මුස්ලිම්වරු කියන්නේ සූෆි මුස්ලිම්වරුන් නේද?

හකීම්:
සූෆි මුස්ලිම්වරුන් පමණක් සම්ප්‍රදායික මුස්ලිම්වරුන් ලෙස සලකන්න බැහැ මේ රටේ පවතින ආගමික විශ්වාසයන් ගරු කොට තම ආගම පිළිපදින සෑම මුස්ලීම්වරයෙකුම සම්ප්‍රදායික මුස්ලිම්වරුන් තමයි.

ජනාධිපති කොමිෂන් සභාව:
එකම නීතිය යන්න සම්බන්ධයෙන් ඔබට තියෙන ස්ථාවරය මොකක්ද ?

හකීම්:
දැන් රටේ තියෙන්නෙත් එකම නීතිය ඒ තමයි ව්‍යවස්ථාව

ජනාධිපති කොමිෂන් සභාව:
සහරාන් අන්තවාදියෙක් කියලා දැනගත්තේ කවදද?

හකීම්:
ඇත්තටම 2019 පෙබරවාරි මාසේ වගේ තමයි සහරාන් අන්තවාදියෙක් කියලා දැනගන්න ලැබුණේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ වීඩියෝවක් මට යවලා තිබුණා ඒ ගැන, ඒවගේම එහි කතා කරන දේවල් ගැන සහ ඔහු කවුද කියා සොයා බලන්න කියලා දැනුම් දී තිබුණා.

ඊට පස්සේ මම ඒ පිළිබඳ සොයා බැලුවා. 2017 දී කාත්තන්කුඩි ගැටුමක් සමඟ ඔහු සැඟව සිටින බව දැනගත්තා. ඊට පසුව මාවනැල්ල බුදු පිළිම සිද්ධිය පිටුපස ද ඔහු සිටින බව දැනගන්න ලැබුණා. රහස් පොලීසියේ අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර සහරාන් අත් අඩංගුවට ගැනීමට පනස් දෙනකු ගෙන් යුත් කණ්ඩායමක් රටපුරා යොදවා ඇති බව පැවසුවා.
කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් පෙරේරා ද ප්‍රශ්න කළ අතර “මුස්ලිම්වරු ඍජුවම දායක වුණොත් සහරාන්ව අත්අඩංගුවට ගන්න තිබුණ නේ?” යැයි ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් හකීම් “ඇත්තටම අත්අඩංගුවට ගන්න තිබුණා. ආරක්ෂක අංශය මුස්ලිම්වරුන් මත විශ්වාස තබා තොරතුරු හුවමාරු කර ගත්තොත් සහරාන්ව අත්අඩංගුවට ගන්න තිබුණා” යනුවෙන් සඳහන් කළේය.

ජනාධිපති කොමිෂන් සභාව මුස්ලිම්වරුන්ගේ විවාහ වයස, විවාහය සහ දික්කසාද නීතිය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා, තමා අධිකරණ ඇමති ලෙස සිටියදී මෙම නීතිය සංශෝධනය කිරීමට උත්සාහ කළ ද ඇතැම් මත භේද නිසා එය නොහැකි වූ බවත් පිළිතුරු දුන්නේය.

කෙසේ වෙතත් මුස්ලිම්වරුන්ගේ විවාහ වයස 18 වීම පිළිබඳව කිසිදු විකල්ප යෝජනාවක් මුස්ලිම් සමාජයට ද නැත. මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ වයස ඇතුළු සංශෝධනයන් දැනට සිටින අධිකරණ ඇමති සිදුකරයි යන විශ්වාසය තමාට ඇති බව පවසා සිටියේය.
– වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *