(Video) අම්පාර: මහ පරිමාන බොරතෙල් නෞකාවේ ගින්න, පුපුරා ගියහොත් මහ අනතුරක්

අම්පාර: මහ පරිමාන බොරතෙල් නෞකාවේ ගින්න, පුපුරා ගියහොත් මහ අනතුරක්

අම්පාර: මහ පරිමාන බොරතෙල් නෞකාවේ ගින්න, පුපුරා ගියහොත් මහ අනතුරක්

ඉන්දියාවේ විශාලතම තෙල් පිරිපහදු කරන්නෙකු වන ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගමට අයත් බොරතෙල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි මහ පරිමාන බොරතෙල් ප්‍රවාහකයෙකු වන “එම්ටී නිව් ඩයමන්ඩ්(MT NEW Diamond)” නෞකාව ශ්‍රී ලංකාවට නැගෙනහිරින් වූ අම්පාර, සන්ගමන් කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් මුහුදු කලාපයේ දී සැප්තැම්බර් 02 දින අනතුරට පත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ පැනමා ධජය යටතේ තෙල් ප්‍රවාහනය කරනු ලබන මෙම නෞකාවේ එංජින් කාමරයේ එම ගින්න හටගෙන ඇති බවයි. ගින්න මෙතෙක් ප්‍රධාන තෙල් ටැංකි පිහිටා ඇති ප්‍රදේශ වෙත පැතිරගොස් නොමැති බව ද නාවික හමුදාව කියා සිටී.

නෞකාවෙන් ඉන්ධන කාන්දුවීමක් සිදුවුවහොත් එයින් මෙරට උතුරු සහ නැගෙනහිර මුහුදු කලාපයට දැඩි බලපෑම් එල්ලවීමේ අවධානමක් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටිනවා. ඔහු සඳහන් කළේ මෙම නෞකාවේ ගබඩා කර ඇති ඉන්ධන අතර ඩිසල් ද ඇති බැවින් ගින්න සිඝ්‍රයෙන් ව්‍යාප්ත වුවහොත් එය පුපුරා යාමකට පවා ලක්විය හැකි බවයි.

බොරතෙල් ටොන් 270,000ක සම්පූර්ණ බර පටවන ලද නෞකාව කුවේටයේ මීනා අල් අහමන්ඩි වරායේ සිට නැගෙනහිර ඉන්දියාවේ පරදීප් වරාය බලා යමින් සිටි බව එම නෞකාවේ ගමන්මග දැක්වෙන මෙරයින් ට්‍රැෆික් වෙබ් අඩවියේ දැක්වේ.

නෞකාවේ මුදා ගැනීම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරමින් පවතී,මේ වන විට නෞකාවේ හටගෙන ඇති ගින්න මැඩලීම සඳහා නාවික හමුදාවේ නෞකා තුනක්, ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායේ නෞකාවක් සහ ගුවන් හමුදාවේ බීච්ක්‍රාෆ්ට් හෙලිකොප්ටර් යානාවක් යොදවා ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

නෞකාව කාර්යය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත වන අතර නෞකාව අසලින් ගමන් කළ වෙනත් නෞකාවක් විසින් ගිනිගන්නා නෞකාවේ කපිතාන් සහ තවත් නාවිකයෙක් හැරුණු කොට අනෙකුත් නැවියන් සියලු දෙනා බේරාගෙන ඇති බව ද යුධ හමුදාපති, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

 

 

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *