(Video) පාස්කු ප්‍රහාරය: “මට ජනාධිපතිකම දුන්නනම් ඉවරයි” – බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂගෙන් සැර ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය: "මට ජනාධිපතිකම දුන්නනම් ඉවරයි" - බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂගෙන් සැර ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය: "මට ජනාධිපතිකම දුන්නනම් ඉවරයි" - බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂගෙන් සැර ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඊයේ (25) සාක්ෂි ලබාදුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඉතා ආවේගශීලී ලෙස කොමිසම හමුවේ සිය ප්‍රකාශ ලබා දුන්නේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම ඊයේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් 18 වන දිනටත් සාක්ෂි විමසු අතර එහිදී ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේය.

එහිදි ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ අප්‍රේල් 09 දින පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේදී අප්‍රේල් 04 දින ලැබී තිබූ, ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර සාකච්ඡාවට බඳුන් නොකළේ ඇයිද? යන්නය.

එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා සඳහන් කළේ තම උසස් නිලධාරියෙකුව සිටි ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාව අදාළ තොරතුර පිළිබඳව ඒ වන විටත් දැනුවත් කර තිබූ බැවින් බුද්ධි සමාලෝචන රැස්වීමේ තමන්ගේ අවස්ථාවේදී එය සාකච්ඡාවට බදුන් කිරීමට උත්සාහ නොකළ බවය.

අදාළ බුද්ධි සමාලෝචන රැස්වීම අවසන් භාගයේ ජාතික බුද්ධි ප්‍රධානියා විසින් “නිලන්ත ඇයි අර කොළේ දාන්නේ නැත්තේ?” යැයි විමසු බව පිළිගන්නේදැයි එහිදි ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේය.

අදාළ රැස්වීම තුළ තමන්ගෙන් සිසිර මෙන්ඩිස් මහතා එවැනි විමසීමක් සිදු නොකළ බව පැවසූ ජයවර්ධන මහතා රැස්වීම ආරම්භ වීමට පෙර ” සර් ඕක තාම අතේනේ, ඇයි දැම්මේ නැත්තේ ?” යනුවෙන් තමන් විමසූ බව එවිට ප්‍රකාශ කළේය.

මෙහිදි ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ අප්‍රේල් 20 වන දින එනම් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර දින පස්වරුවේ නිලන්ත ජයවර්ධන මහතා විසින් ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා අමතා ” සර් මේක ලෙඩක්, මම IGPට කිව්වා ” යනුවෙන් පමණක් සඳහන් කළ බව සිසිර මෙන්ඩිස් මහතා පවසන්නේ නම් ඔබ එය පිළිගන්නේද? යන්නයි.

“නැහැ. ඒ දුරකථන ඇමතුම තත්පර 05ක් වගේනම් ඒ ටික විතරක් කිව්වා වෙන්න පුළුවන්. නමුත් මම ඊට වඩා දෙයක් කිව්වා කියලා මතකයි. මම කිව්වා පල්ලියකටයි, හෝටලයකටයි ඇතුළුව ස්ථාන 08කට ගහනවා කියලා ” යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා පිළිතුරු ලබාදුන්නේය.

එසේම ජයවර්ධන මහතා වැඩිදුරටත් කියාසිටියේ ප්‍රහාරයට පෙරදින තමන් ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා අමතන අවස්ථාවේ, සිසිර මෙන්ඩිස් මහතාද පල්ලි යාමට සුදානමින් සිටි අතර “බෝම්බ ගහනවා” යැයි කියු විට ඔහු පල්ලි ගියේද, නොගියේද යන්න තමන් නොදන්නා බවය.

මෙහිදි ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ “21 හෝ ඊට පෙර ගහනවා” යැයි අප්‍රේල් 20 වන දින පැහැදිලි තොරතුරක් ලැබී තිබියදි හෝ ජනාධිපති ලේකම්වරයා අමතා හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් කර මහජන සාමය ආරක්ෂා කිරීමට යුද හමුදා සහය ලබාගැනීමට ක්‍රියා කළේද යන්නය.

එම ප්‍රශ්නය ඇසීමත් සමග කිසියම් ආවේගයකින් පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා ” ජනාධිපතිට කිව්වද ඇහුවා, අගමැතිට කිව්වද ඇහුවා, ආරක්ෂක ලේකම්ට, පොලිස්පතිට, ජාතික බුද්ධි ප්‍රධානිට කිව්වද ඇහුවා දැන් ඒ පාර ජනාධිපති ලේකම්ට කිව්වද කියලත් අහනවා. මේ ඔක්කෝටම කියන්න ඕනේ මමද…? ඊළගට අහයි නිලන්ත ඇයි ඔයා රටටම නොකිව්වේ කියලා.”

“රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තොරතුරු රැස් කරන්න ඕනේ, පණිවුඩ කියන්න ඕනේ, ලියුම් ගහන්න ඕනේ නිලන්තද..? එතකොට අනිත් අයට පඩි ගෙවන්නේ නිකන්ද..?”

“රට තුළ ක්‍රමානුකූලව සැකසුණු ධුරාවලියක් තියෙනවා. එම ධුරාවලියේ එක් එක් නිල තලයන්ට පැවරුණු වගකීම් තියෙනවා. හැම දේටම හරි හරි හරි කියන්න නිලධාරින් ඕනේ නැහැ. ජනාධිපතිගේ වැඩෙයි, ආරක්ෂක ලේකම්ගේ වැඩෙයි, පොලිස්පතිගේ වැඩෙයි ඔය හැම වැඩේම මම කරන්න ඕනේනම් ඒ අය ඕනේ නැහැ. මට ජනාධිපතිකම දුන්නනම් ඉවරයි.”

“මට කණගාටුයි මේ වගේ Team එකක් එක්ක වැඩ කරන්න සිදුවීම ගැන. 21න් පස්සේ තමයි ඇත්ත පුද්ගලයෝ කව්ද කියලා දැනගත්තේ, ගත්තු දුරකථන ඇමතුම් වල Screenshort ගත්තේ නැත්තම් අද වෙද්දි රාජ්‍ය බුද්ධි සේවය මුකුත් කරලා නැහැ. යවපු Whatsapp පණිවිඩ නොතිබුණානම් මම අද හිරේ.”

“2015 ඉදලා යවපු කිසිම බුද්ධි වාර්තාවක් සම්බන්ධයෙන් කිසිදු ඉහළ නිලධාරියෙක් වැඩිදුර වාර්තා ඉල්ලා නැහැ. පොලිස්පතිවරයා පමණක් දෙතුන් පාරක් වැඩිදුර වාර්තා ඉල්ලා තිබෙනවා. ප්‍රහාරය පිළිබඳ පුර්ව දැනුවත් කිරීම ගැන යවපු කිසිම ලේඛනයකට කිසිම කෙනෙක් වැඩිදුර වාර්තා කැදෙව්වේ නැහැ. එක ලේඛනයකට හරි වැඩිදුර වාර්තා කැඳවලා තියෙනවා කියලා ඔප්පු කළොත් මම මේ දැන් සේවයෙන් ඉල්ලා අස්වෙනවා.”

“ප්‍රහාරය ගැන පුර්ව දැනුවත් කිරීමක් කරලා තියෙද්දි සමහරු අවුරුද්දට ආයතන වැහුවා. ආයේ ඇරියේ ප්‍රහාරයෙන් පස්සේ. තවත් අය පුර්ව දැනුවත් කිරීම් කර තිබියදී රට ගියා. තවත් මිනිස්සු ගෙදරට වෙලා බුදිය ගත්තා. තවත් අය පල්ලිවලට ගහනවා කියද්දි පල්ලි ගියේ නැහැ. අන්තිමට ඇයි කිව්වේ නැත්තේ කියලා අහන්නේ මගෙන්.”

“මම මට කරන්න පුළුවන් දේ කළා. ආරක්ෂක ලේකම්ට කිව්වා, ජාතික බුද්ධි ප්‍රධානියාට කිව්වා, පොලිස්පතිට කිව්වා. ඒ හැමෝටම කියලා ජනාධිපතිට කියන්න උත්සහ කළා. Answer නොකළ එක මගේ වැරැද්දක් නෙමේ.”

“මම මට පුළුවන් හැමදේම කළා. අදටත් මට හොඳට නින්ද යනවා.” යනුවෙන් පැවසීය.

-ADADERANA-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *