අන්තර්ජාලය ඔස්සේ ණය පහසුකම් ලබා දෙන කූට වංචනිකයින්ට රැවටෙන්න එපා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න

බැංකු මඟින් ලබා දෙන පෞද්ගලික රහස්‍ය තොරතුරු කිසිසේත්ම බාහිර පාර්ශ්වයන් වෙත ලබා දීමෙන් වළකින ලෙසත්, අන්තර්ජාලය ඔස්සේ ණය පහසුකම් ලබා දෙන බවට විවිධ වංචනික පුද්ගලයින් විසින් නිවේදනය කොට ඇති නිවේදන වලට නොරැවටී රජයේ නිල තොරතුරු රජයේ නිල වෙබ් අඩවි ඔස්සේ හෝ රජයේ නිල විද්‍යුත් තැපෑල මඟින් හෝ විමසීම් සිදු කොට පසුවිපරම් කිරීමෙන් පමණක් කටයුතු කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඊයේ (27) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ, මෙම වසරේ අප්‍රේල් මාසයේ දී එක්තරා බැංකුවකට තැම්පත් කළ මුදලක් එම බැංකුවෙන් සොරාගෙන තිබෙන බවට කිරුළපන පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව, කිරුළපන පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් කරමිනි.

එකී විමර්ශන වලට අනුව, ජනාධිපති කාර්යයාලයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ආකාරයෙන් අන්තර්ජාලයේ පළ කරන ලද නිවේදනයක් ඔස්සේ, රජය විසින් විදෙස් ශ්‍රමිකයින්ට අඩු පොළියට ණය ලබා දෙන බවට සහ විදෙස් ශ්‍රමිකයින් හට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ද ණය ලබා දෙන බවට අන්තර්ජාලය ඔස්සේ නිවේදනය කරමින් කුඨ ව්‍යාපාරිකයින් පිරිසක් විසින් වංචනික ලෙස මිනිසුන් පොළඹවා තිබූ ඉතා විශාල ජාවාරමක් අනාවරණය කර ගැනීමට කිරුළපන පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ විමර්ශන කණ්ඩායමට හැකි වී තිබේ.

එහි දී විදෙස් ශ්‍රමිකයින් හට එම ශ්‍රමිකයින්ගේ ඥාතියෙකුගේ මාර්ගයෙන් මෙරට බැංකුවක ගිණුමක් ආරම්භ කිරීමට සලස්වා ඉන් පසු ඔවුන්ගේ ගිණුම් අංක සහ ඊට අදාළ පෞද්ගලික තොරතුරු ණය අයදුම්පත් සම්පුර්ණ කර එවන ආකරයෙන් ගෙන්වා ගෙන තිබේ. ඉන් අනතුරුව එම ණය ලබා ගැනීම එකී ගිණුමට අදාළ රහස් අංකය ලබා දෙන ලෙසට ඉල්ලා ණය අනුමත කරන නිවේදනයක් ලෙසට සළකා කටයුතු කොට රහස් අංකය ලැබුණු පසු ණය ලබා දීම සඳහා ණය මුදලේ වටිනාකමින් 10% ක ප්‍රමාණයක් තැම්පත් කරන ලෙස දන්වා ඇත. එසේ මුදල් තැම්පත් කිරීමෙන් අනතුරුව, එම කූඨ ව්‍යාපාරිකයින් විසින් අන්තරජාලය ඔස්සේ එම මුදල් වෙනත් ගිණුමකට මාරු කොට තිබෙන අතර නැවත වෙනත් බැංකු හතරක ආරම්භ කර තිබෙන විවිධ ගිණුම් වලට මුදල් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කර මුදල් ලබාගෙන තිබේ.

මේ අනුව, පුද්ගලයින් පස්දෙනකු විවිධ ලේඛන ද සහිත ව අත්අඩංගුවට ගෙන ඇති අතර එකී ලේඛන වලට අනුව මොවුන් යම්කිසි ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ ක්‍රියාවක් ද යන්න පිළිබඳව දැනට සැක පහළ වී ඇති බවත්, ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බවටත් ජාලිය සේනාරත්න මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය. දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව 2019 සිට මෙම ව්‍යාපාරය මඟින් රජයේ නම, නිල මුද්‍රාව භාවිතා කරමින් කොපමණ මුදලක් මෙසේ වංචනික ලෙස ලබා ගෙන ඇති ද සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් ඉපැයීමක් සිදු කළා ද යන්න සෙවීම සඳහා තවදුරටත් විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.
-news.lk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *