Type to search

මැදපෙරදිග ශ්‍රී ලංකිකයන් මහ පාරට – සමහරු පාලම් යට .. ආණ්ඩුවෙන් නිසි පියවරක් තවම නෑ

Share

මැදපෙරදිග ශ්රී ලාංකික ශ්රමිකයින් අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටී ඇතැයි ද පාලම් යට සහ මහ මග නිදාගැනීමට ඔවුන්ට සිදුව ඇතැයි ද නිදහස උදෙසා කාන්තා ව්යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න මහත්මිය පවසයි.

මෙම ගැටළුවට මැදිහත් වෙන ලෙස ආණ්ඩුවට බලකරමින් එම සංවිධානය 08 වැනි දින සමකාමී විරෝධතාවක්ද පැවැත්වීය. කොරෝනා නිසා මියගියේ 11 දෙනෙකු පමණක් බවට පැවසූවද මැදපෙරදිග කොරෝනා නිසා මිය ගොස් ඇති 50ක් පමණ දෙනා ශ්රී ලාංකිකයින් නොවේද යන්න හේමමාලි අබේරත්න මහත්මිය ප්රශ්න කළාය.

මැදපෙරදිග සිටින ලාංකිකයින් තුන් දෙනකු පමණ මේ හේතුවෙන් සිය දිවි හානිකරගෙන ඇතැයි ද හෘදයාබාද වැනි රෝගවලින්ද ඇතැම් ශ්රමිකයින් මිය ගොස් ඇතැයි ද ඇය පෙන්වා දුන්නේය.

විදේශ විනිමය ගෙන ආ රට විරුවෝ දැන් ආණ්ඩුවේ ඇතැමුන්ට ‘මිනිස් බෝම්බ’ ලෙස පෙනෙන බව ද ඇය කීවාය. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දැමීමට අතින් වියදම් කරගෙන ආ පිරිසක් මැදපෙරදිග සිටින බවත් එලෙස තමන්ට ඡන්දය දුන් ජනතාව ගැන වග වන්නේ මෙලෙසින්දැයි ඇය ප්රශ්න කළාය.

සෞදි සිට මෙරටට පැමිණිමට එක් පුද්ගලයෙක්ට ලංකාවේ මුදලින් රුපියල් 130000ක් පමණ වැය යව බවත් පීසීආර් පරීක්ෂණයකට 65000ක් පමණ වැය කළ යුතු බවත් පෙන්වා දෙන ඇය මාස ගණනක් රැකියාවක් නොමැතිව අන්ත අසරණ වී සිටින ශ්රමිකයින්ට මෙලෙස වියදම් කිරීමට හැකියාවක් ඇත්දැයි ප්රශ්න කළාය.

දහස් ගණනින් පිරිස් ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ලෙස ආණ්ඩුවට බලකර සිටිය ද ආණ්ඩුව මේ මොහොත දක්වාම එයට අදාල ක්ෂණික ක්රියාමාර්ග නොගැනීම බරපතළ ගැටළුවක් බව ඇය පෙන්වා දුන්නාය. ජූලි 09 වැනිදායින් පසු මෙරටට එන ගුවන් යානයක් පිළිබඳව හෝ විදේශ අමාත්යාංශයට කිසිදු සඳහනක් නැති බව පවසන ඇය මෙලෙස ලාංකිකයින් ගෙන්වාගැනීමට නොහැකිනම් අඩුම තරමේ අදාළ අංශ යොමු කර ඔවුන්ට සෞඛ්ය පහසුකම් සපයන්නැයි ඉල්ලා සිටියාය.

ඇය මෙසේද පැවසූවාය.
“මැදපෙරදිග ඉන්න ලාංකිකයින් මේ වෙද්දි බරපතල ගැටළු සහිත තත්වයකට මුහුණ දීලා ඉන්නවා.කොරෝනා වසංගතය නිසා ඔවුන්⁣ට දැන් රැකියා අහිමි වෙලා වැටුප් නොමැතිව ඉන්නේ.බේත් ගන්න සෞඛ්ය ආවරණයක් නෑ.ඉන්සුරන්ස් රැකියාව ඉවර වෙද්දි අයින් වෙනවා.මොන ලෙඩක් හැදුණත් එයාලට පැනඩෝල් විටමින් සී විතරයි හම්බෙන්නේ.ගොඩක් අයට ඉන්න තැනක් නෑ.සමහරුන් කුලියට ඉන්න තැන්වල නිවෙස් හිමිකරුවන් වතුර සහ විදුලිය කපලා.පාරවල්වල නිදාගන්න තැනට වැටිලා.සමහරු පාලම් යට නිදාගන්නේ.එහේ මේ දවස්වල දරාගන්න අමාරු රස්නයක් තමයි තියෙන්නේ.⁣ඒ අය⁣ට මෙහෙම පාරවල් ගානේ ඉන්න අමාරුයි.

සෞදිවලින් තොරතුරු වාර්තා වෙන්නේ නෑ හරි විදියට එහෙ තියෙන නීති සහ ඒ පාලන ක්රමය නිසා.ලංකාවේ කොරෝනා රෝගීන් මැරුණේ 11යි කියලා කිව්වට මැදපෙරදිග 50 ගණන් මැ⁣රුණේ ලාංකිකයෝ නෙමෙයිද?

ඇමතිවරයාට මැදිහත් වෙන්න කියලා කිව්වා.තාම නිසි පිළිතුරක් නෑ.අද තිබ්බ රැස්වීමට ආවේ අමාත්යාංශ ලේකම්.ජූලි 09 තමයි අන්තිම ගුවන් යානය.ඊට පස්සේ එන ගුවන් යානයක තොරතුරක්වත් අදාළ බලධාරීන්ට නෑ.

ඡන්දය ඉවර වෙනකම් බොරු කිය කිය ඒ මිනිස්සු රවට්ට රවට්ට ඉන්නවා.ගෙන්වගන්න බැරිනම් අදාළ අංශ මැදිහත් වෙලා ඔවුන්ට සෞඛ්ය පහසුකම්වත් සපයන්න ඕනේ.එහේ අපේ මිනිස්සුන්ට හරිය⁣ට කන්නවත් නෑ.මිලියන ගණනක් එහෙ ඉන්න අයට කෑම දෙන්න යැවුවා කිව්වට එහෙ ඉන්න අය කියන්නේ දෙන පාර්සල්වල තියෙන්නේ ⁣පොඩි දේවල් ටිකක් විතරයි කියලා.ඒවා සතියකටවත් මදිලු.ලේකම්වරයාට අද කිව්වා ඒ යවන දේවල් යවන සල්ලි බෙදා දෙන ආකාරය විනිවිදභාවයකින් යුතුව වෙනවද කියලා හොයලා බලන්න කියලා.

තානාපති කාර්යාල කිසිදු මැදිහත්වීමක් කරන්නේ නෑ.ඒවාගේ පත්වෙන අයත් දේශපාලන පත්වීම්.ලංකාවෙි මිනිස්සු අඬා වැටෙද්දි ඔවුන් තමන්ගේ හිතවත්තු විතරක්.ලංකාවට ගෙන්වගන්නවා.අපි ඒ අය ගේන්න එපා කියන්නේ නෑ.ඒත් වීසා කල් ඉකුත් වෙන අයට ප්රමුඛතාවය දිය යුතුයි.ඒක දැන් හරියට වෙන්නේ නෑ.

මේවා දරාගන්න බැරුව එහේ අපේ අය සියදිවි නසාගන්නවා.දැනට තුන්දෙනෙක් විතර මැරිලා එහෙම.

තවත් කෙනෙක් ඊයේ හෘදයාබාධයකින් නැතිවෙලා.මිනිස්සු ආතතියෙන් ඉන්නේ.තව කී දෙනෙක් මෙහෙම මැරෙයිද?.බලධාරීන්ට වගවීමක් නෑ මොවුන් ගැන.විදේශ විනිමය ගෙන ආපු රටවිරුවෝ දැන් මිනිස් බෝම්බ වගේ ආණ්ඩුවේ අයට පේන්නේ.

ලංකාවෙි කෙනෙක් කොහේ හරි රටකට ගියාම ඔවුන්ට ලංකාවට ආපහු එන්න අයිතියක් තියෙනවා.ඒක මූලික මිනිස් අයිතිවාසිකමක්.ඒකවත් දැන් මේ මිනිස්සුන්ට ලැබෙන්නේ නෑ.ඇයි මැදපෙරදිග අයට මෙහෙම සලකන්නේ.

ඕමාන්වල එක්කෙනෙක් අතත් කැඩිලා ගෙදරකට හිර වෙලා ඉන්නවා.අත කැඩිලා තියෙද්දිත් ඒ ගෙදර මිනිස්සු මෙයාට කියලා වැඩ ගන්නවා.හොර ඒජන්සිකාරයෝ මෙහෙම කරන හාම්පුතාලව රකිනවා. ගෘහ සේවිකාවක් ගද්දි හාම්පුතාල ඒජන්සියට ලක්ෂ 15ක් විතර ගෙවනවා.ඉතින් ඒ ගෘහ සේවිකාවන්ට අසාධාරණයක් වුණාම ඒජන්සි ඒවාට කතා කරන්නේ නෑ.

මේවා තමයි ලාංකිකයෝ විදියට කතා කරන්න ඕනේ ප්රශ්න.මේ⁣වා ඇත්ත සමාජ ප්රශ්න.අැයි මෙහෙම වෙන්නේ.බේරගන්න කියලා එ් මිනිස්සු ඉල්ලන එ්වා කාටවත් ඇහෙන්නේ නෑ.මාධ්ය මෙිවා දාන්නෙත් නෑ.මොන ආණ්ඩු ආවත් මේවට විසඳුම් දෙන්නේ නෑ.කවුරු ආවත් ලංකාවේ මිනිස්සුන්ව විකුණන් කන එකයි කරන්නේ.කොහොමහරි උඹල සල්ලි හොයලා ලංකාවට එවපං කියලා ආණ්ඩුව නිහඬව ඉන්නවා.

මේ අයම තමයි අතින් වියදම් කරගෙන ඇවිත් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නේ.දැන් ජනාධිපති වෙලා තමන්ට ඡන්දය දුන්න අය ගැන වගවීමක්වත් නෑ.

ඒ මිනිස්සු තමන්ගේ සල්ලිවලින් නිරෝධායනය වෙන්නම් කියලා කිව්වා.ගස් ගල් යට ඉන්නම් කියලා කිව්වා.ඒත් අහන්නේ නෑ කවුරුත්.

මේ ළගදී තරුණයන් වගයක් ගෙන්නලා තිබ්බා.හැබැයි එයාලගේ වීසා අවලංගු වෙලාවත් වෙන්න ළං වෙලාවත් නෑ.මේ වෙලාවේ ප්රමුඛතාවය දෙන්න ඕනේ වීසා අවලංගු වෙන අයටයි බරපතල ප්රශ්න තියෙන අයටයි.

සෞදි ඉඳන් මෙහෙට එන්න ටිකට් එකක් බුක් කරගන්න ලංකාවේ මුදලින් 130000ක් යනවා.පීසීආර් පරීක්ෂණයක් කරගන්න 65000ක් යනවා.රැකියා නැතිවෙලා අන්ත අසරණ වුණ ඒ මිනිස්සු කොහොමද මෙහෙම වියදම් දරන්නේ.

දැන් සීට් වෙන් කරන්නේ එක.සීට් එකක් අැර එකක් නිසා ශ්රී ලංකන් එකෙන් මැද සීට් එකටත් එක්ක අය කරනවා වගේ.එච්චර අසරණ වුණ මිනිස්සුන්ට ඇයි මෙහෙම කරන්නේ.මැදපෙරදිග 50 දෙනෙක් පමණ කොරෝනා නිසා මිය ගිහින් තියෙනවා.

සෞදිවල වෙන මොකුත් මෙහෙට ආරංචි වෙන්නේ නෑ.මිනිහෙක් මැරුණත් දැනගන්න විදියක් නැ පවුලේ අයටවත්.තමන්ගේ.කවුරුත් නැති දිහාවක මිනිස්සු මැරෙන එක වළක්වගන්න මොනවා හරි කරන්න ඕනේ.

ආණ්ඩුව මේ අයට නවතින්න තැනක්වත් හොයලා දෙන්න ඕනේ.ආණ්ඩුවට වගකීමක් තියෙනවා තමන්ගේ පුරවැසියන් ගැන.මේකට මැදිහත් වෙන්න ඕනේ.එහෙම නැත්නම් මොකටද ආණ්ඩුවක්.”

නිදහස උදෙසා කාන්තා ව්යාපාරයේ මැදිහත්වීම

මෙම ගැටළුට වහා මැදිහත් වෙන්නැයි ඉල්ලා එම සංවිධානය අද විරෝධතාවක් සංවිධානය කර තිබිණි.ඊට අමතරව විදේශ අමාත්යාංශ⁣ය සමග සාකච්ඡාවක්ද පැවැත්වීය.

කොරෝනා වසංගතය සමග බරපතළ අනතුරුදායක තත්ත්වයකට මුහුණ දී සිටින මැදපෙරදිග විවිධ රැකියාවල නිරත වන ශ්රී ලාංකිකයින් ලක්ෂ 12කට ආසන්න පිරිසක ගේ ජීවිත මේ මොහොතේ තව තවත් අර්බුදයකට ගොස් ඇතැයි එම සංවිධානය පෙන්වා දෙයි.

නිදහස උදෙසා කාන්තා ව්යාපාරය මේ සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදු කළ නමුත් ආණ්ඩුව තවමත් එයට අදාළ ක්රියාමාර්ගයක් නොගැනීම ගැටළු සහගත බව එම සංවිධානය කියයි.

විදෙස්ගතව මේ වන විට විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින ලාංකීය ශ්රමිකයන්ගේ පවුල්වල දෙමාපියන් සහ ඥාතීන් සමඟ අද විෂය භාර ඇමතිවරයා මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යොදා ගෙන තිබුණ ද ඇමතිවරයා සාකච්ඡාවට සම්බන්ධ නොවූ බව එම සංවිධානය පවසයි.

ඉන්පසුව අමාත්යංශ ලේකම්වරයා සාකච්ඡාවට සහභාගි වූ බවත් මැදපෙරදිග ජීවත් වන බොහෝ දෙනෙක් පත් වී ඇති තත්ත්වය පිළිබඳව අමාත්යාංශය සකසා තිබෙන ක්රමවේදය පිළිබඳව අපට සතුටු විය නොහැකි බව එම සංවිධානය පෙන්වා දෙයි.

විදේශ කටයුතු අමාත්යාංශයට හෝ අදාළ බලධාරීන්ට මේ වන විට කොරෝනා තත්ත්වයෙන් මියගිය පිරිස ,පීඩනය දරා ගැනීමට නොහැකිව සියදිවි හානි කරගත් පිරිස ,රැකියා අහිමි වූ පිරිස ,වීසා අවසන් වූ පිරිස ආදී වශයෙන් නිශ්චිත අවබෝධයක් නොමැති බව ද එම සංවිධානය ප්රකාශ කරයි.

මැතිවරණයක් ආසන්නයේ දී ජනතාව රවටමින් මැදපෙරදිග සේවය කරන ශ්රී ලාංකිකයින්ගේ ජීවිත ලංසු තබමින් පාලකයින් හැසිරෙන මේ ස්වභාවය පිළිබඳව අද දවසේ විරෝධය දැක්වූ බවත් මෙම ප්රශ්නයට පාලකයින් සාධනීය පිළිතුරක් නොදෙන්නේ නම් ඊට අදාළ වෙනත් ක්රියාමාර්ග ගැනීමට ද සූදානම් බවත් නිදහස උදෙසා කාන්තා ව්යාපාරය පවසයි.

එම සංවිධානය එදින පැවැත්වූ සාමකාමී විරෝධතාවයේ ඡායාරූප පහතින්…

-නිලුක සදුන් | medialk-

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *