නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් සහ කැනඩා මහ කොමසාරිස්වරිය අතර නිල හමුවක්!
ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ කැනඩා මහ කොමසාරිස්වරිය අතර නිල හමුවක්
ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා මහ කොමසාරිස් ඉසබෙල් මාටින් (Isabelle Martin) මහත්මිය අතර නිල රාජ්‍ය තාන්ත්‍රික හමුවක් පසුගියදා (නොවැම්බර් 23) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
මෙම හමුවේදී ආගමික නායකයින් සඳහා දෙවන භාෂාව ඉගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම සහ අවශ්‍යතාව පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු පෙන්වා දුන් අතර, ඒ සම්බන්ධයෙන් කැනඩා මහ කොමසාරිස්වරියගෙන් ඉතා ධනාත්මක ප්‍රතිචාරයක් හිමි වීම විශේෂත්වයකි.
එමෙන්ම, උතුර සහ දකුණ යා කරමින් ක්‍රියාත්මක කෙරෙන ජාතික සංහිඳියා වැඩසටහන් සහ මෙරට තුළ ජාතික සංහිඳියාව හා සමගිය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා වන ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
මීට පෙර තමන් ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී කැනඩා මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබා දුන් අඛණ්ඩ සහයෝගය කෘතඥපූර්වකව සිහිපත් කළ මුනීර් මුලෆ්ෆර් මහතා, ඉදිරියටත් මෙරට ආගමික හා සංස්කෘතික සංහිඳියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් එවැනිම සහයෝගයක් අපේක්ෂා කරන බව අවධාරණය කළේය. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් තහවුරු කරමින් මෙම නිල හමුව සාර්ථකව නිමාවට පත්විය.



