​මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා නව ආසන වෙන්කිරීමක්: කොළඹට තවත් ආසනයක් හිමිවෙයි

0

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නව මැතිවරණ දිස්ත්‍රික් ආසන වෙන්කිරීමට අනුව, කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයට එක් අතිරේක පාර්ලිමේන්තු ආසනයක් හිමිවී ඇති අතර, බදුල්ල දිස්ත්‍රික්කයට එක් ආසනයක් අහිමි වී ඇත.
​මැතිවරණ කොමිෂන් සභාව අද (03) නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව, 2024 මහ මැතිවරණයේදී 18ක් වූ කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංඛ්‍යාව 19 දක්වා ඉහළ නංවා ඇත. එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන වෙන්කිරීම 9 සිට 8 දක්වා අඩුකර තිබේ.
​සසුරු අනික් මැතිවරණ දිස්ත්‍රික් 20 සඳහා වූ ආසන වෙන්කිරීමෙහි 2024 පාර්ලිමේන්තු මැතිවරණයට සැසඳීමේදී කිසිදු වෙනසක් සිදුකර නොමැත.
​2026 වර්ෂයේ ප්‍රධාන ඡන්දහිමි නාමලේඛනය සහ පළමු අතිරේක ලේඛනයට අනුව, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුළු ඡන්දදායකයින් සංඛ්‍යාව 1,75,34,397ක් (මිලියන 17.53ක්) වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
​මීට අනුව, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකම ආසන 19 බැගින් ලබාගනිමින් වැඩිම පාර්ලිමේන්තු නියෝජනයක් සහිත දිස්ත්‍රික්ක බවට පත්වෙයි. ඊළඟට කුරුණෑගල (15), මහනුවර (12) සහ කළුතර හා රත්නපුර (ආසන 11 බැගින්) පිළිවෙලින් පසුවේ.
​ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98(8) වගන්තියට අනුව මෙම ආසන වෙන්කිරීම තීරණය කර ඇති අතර, පසුගිය ඔක්තෝබර් 19 වන දින අංක 2511/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇති බව කොමිෂන් සභාව සඳහන් කරයි.
​ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය යටතේ දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික් 22න් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 196 දෙනෙකු තේරී පත්වන අතර, ජාතික ලැයිස්තුව මගින් මන්ත්‍රීවරුන් 29 දෙනෙකු පත්කරනු ලබයි. ඒ අනුව මුළු පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 225කි.
​මෙම සංශෝධිත ආසන වෙන්කිරීම වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතියට කිසිදු බලපෑමක් නොකරන අතර, ඉදිරියේදී බලාත්මක වන ඡන්දහිමි නාමලේඛනය යටතේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී පමණක් ක්‍රියාත්මක වන බව පෙන්වා දී ඇත.
​පසුගිය 2024 මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංඛ්‍යාව 19 සිට 18 දක්වා අඩු වූ අතර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා එක් ආසනය බැගින් හිමිවිය. වර්තමානයේ නිකුත් කර ඇති නව ආසන වෙන්කිරීම මගින් කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංඛ්‍යාව නැවතත් 19 දක්වා යථා තත්ත්වයට පත්කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed