ලංකාව වටා මුහුද රළු වෙයි: පැයට කිලෝමීටර් 70ක තද සුළං සහ වැසි ගැන රතු නිවේදනයක්!

0

​ශ්‍රී ලංකාව වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක අද (25) පැයට කිලෝමීටර් 70 දක්වා වූ තද සුළං, රළු මුහුදු තත්ත්වයක් සහ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
​උදෑසන 5.30ට නිකුත් කරන ලද නාවික කාලගුණ අනාවැකියට අනුව, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
​ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 30-40 පමණ වන නිරිතදිග සුළං, පැයට කිලෝමීටර් 50-60 දක්වා තද විය හැක.
​එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, පුත්තලමේ සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2-2.5 දක්වා ඉහළ යා හැක.
​ගිගුරුම් සහිත වැසි ඇති වන විට පැයට කිලෝමීටර් 60-70 දක්වා තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර, මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.
​මේ අතර, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, නැවත දැනුම්දෙන තුරු උත්තර අක්ෂාංශ 10°N-20°N සහ නැගෙනහිර දේශාංශ 80°E-95°E අතර ගැඹුරු මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *