​ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික දිනය නිමිත්තෙන් පැවැති විශේෂ සුහද හමුවට ඇමැති විජිත හේරත් එක්වෙයි!

0

ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ දිනය (International Day of Diplomats) සලකුණු කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික බලකායේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය (Dean of the Diplomatic Corps) සහ ඉන්දුනීසියානු ජනරජයේ තානාපතිනි, ඇගේ උත්තමාවී දෙවි ගුස්ටිනා තොබිං (Dewi Gustina Tobing) මහත්මිය විසින් සංවිධානය කරන ලද පවුලේ සුහද හමුවකට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2026 ඔක්තෝබර් 24 වන දින සහභාගී විය.
​කොළඹ පිහිටි ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේදී පැවැති මෙම හමුව සඳහා රාජ්‍යතාන්ත්‍රික බලකායේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මිත්‍රත්වය සහ සහෝදරත්වය තහවුරු කරගැනීමේ අරමුණින් එක්ව සිටියහ.
​ආරම්භක අදහස් දක්වමින් අමාත්‍ය හේරත් මහතා පෙන්වා දුන්නේ සාමය ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ජාතීන් අතර පාර්ශ්වීය අවබෝධය වර්ධනය කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික භූමිකාවේ පවතින වැදගත්කමයි. රාජ්‍යතාන්ත්‍රිකභාවය යනු එකිනෙකා අතර සබඳතා ගොඩනැගීම, මතභේද දුරුකිරීම සහ සංවාද සඳහා ඉඩකඩ නිර්මාණය කිරීම බව ඔහු සඳහන් කළේය.
​’දිට්වා’ (Cyclone Ditwah) චක්‍රවාතයෙන් සිදු වූ විනාශයෙන් පසුව ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් මිත්‍රශීලී රටවලට සහ ජාත්‍යන්තර සංවිධානවලට රජයේ කෘතඥතාව පළ කළ අමාත්‍යවරයා, එම සහයෝගය මගින් සැබෑ සහෝදරත්වය සහ හවුල් වගකීම පිළිඹිබු වන බව කියා සිටියේය.
​රාජ්‍යතාන්ත්‍රිකයින්ට සහාය දැක්වීමෙහිලා පවුල් ඉටුකරන වැදගත් කාර්යභාරය ද අගය කළ ඔහු, නිල සබඳතා සැබෑ, තිරසාර මිත්‍රත්වයන් බවට පත්වන විට රාජ්‍යතාන්ත්‍රිකභාවය වඩාත් ශක්තිමත් වන බව නිරීක්ෂණය කළේය.
​මෙම වැඩසටහනට සැහැල්ලු ව්‍යායාම, විනෝදජනක ක්‍රීඩා, ක්‍රීඩා තරග සහ කැරියෝකි (karaoke) ඇතුළත් වූ අතර, අනතුරුව දිවා ආහාරය ද පිරිනැමිණි. එමගින් රාජ්‍යතාන්ත්‍රිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සුහදශීලී හා සැහැල්ලු පරිසරයක සබඳතා ගොඩනගා ගැනීමට අවස්ථාව හිමි විය.
​මෙම හමුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් තානාපතිනි දෙවි ගුස්ටිනා තොබිං මහත්මියට සහ ඇගේ කණ්ඩායමට ස්තූතිය පුද කළ අමාත්‍ය හේරත් මහතා, ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ දිනය නිමිත්තෙන් රාජ්‍යතාන්ත්‍රිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සිය සුබ පැතුම් එක් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed